3. 1. 2. 1
දෙවෙනි වර්ගයෙහි පළමුවෙනි සූත්රයෙහි ඤාතකො යනු දන්නාලද්දේ ප්රකටවූයේයි. අනනුලොමිකෙ යනු සසුනට අනුලොම් නොවේනුයි අනනුලොමික නමි. ඒ අනුලොම් නොවූ දෙයෙහියි. පරපණ නැසීම් ආදී කාය දුශ්චරිතයෙහියි. මෙය රළුවූයේ හෝ වෙයි. මෙබඳු දෙයෙහි සමාදන් කරවීමට නොහැකිය. දිශාවන් නැමදීමට සුදුසුය. භූතබලි කිරීමට සුදුසුයයි මෙබඳු දෙයෙහි සමාදන් කරවයි. ගන්වවයි. වාග්කර්මයෙහිද බොරුකීම් ආදිය රළුය. තමන්සතුදෙය අනුන්ට නොදෙනු කැමැත්තෙකු නැතැයි මේ බොරුව කීමට වටීයයි මෙබඳු දෙයෙහි සමාදන් කරවයි. මනොකර්මයෙහිද අභිධ්යාදිය රළුය. කමටහන වරදවා (මුළාකොට) කියන්නේ අනුලොම් නොවන ධර්මයන්හි සමාදන්කරවයි නමි, දක්ඛිණ විහාරවාසී තෙරුන් මෙනි. එක් උපස්ථායක ඇමති පුත්රයෙක් ඒ තෙරුන් වෙත එළඹ මෛත්රිය කරන්නහු විසින් පළමුව කවර පුද්ගලයන් කෙරෙහි මෛත්රිය කළයුතුදැයි විචාළේය. තෙරණුවෝ සභාගවිසභාග (සමාන පක්ෂයෙහි හා අසමාන පක්ෂයෙහි) පුද්ගලයන් නොවිමසා ප්රිය පුද්ගලයකු කෙරෙහියයි පැවසූහ. ඔහුට බිරිය ප්රිය වෙයි, මනාපවෙයි. හෙතෙම ඇය අරභයා මෛත්රිය කරන්නේ උමතුබවට පැමිණියේය. කෙසේ නම් මෙතෙමේ බහුජනාභිතාය පටිපන්නො හොති යනු මෙබඳුවුවහුගේ සද්ධිවිහාරික (එක්ව වසනඅය) ආදීහුද උපස්ථායකාදීද ඔවුන්ගේ ආරක්ෂක දෙවතාවන් ආදිකොට ඒ ඒ අයගේ මිතුරන්වූ බඹලොව තෙක්වූ සෙසු දෙවියෝද මේ භික්ෂුව නොදැන නොකරන්නේයයි (සිතා) ඔහු විසින් කරනලද්දම කරත්. මෙසේ මෙතෙම බොහෝ දෙනාට අභිත සඳහා පිළිපන්නේවෙයි.
යහපත් පක්ෂයෙහි පරපණ නැසීමෙන් වැළකීම් ආදීන්ගේදවශයෙන් කායකර්මවාක්කර්මයෝ දතයුත්තාහ. කමටහන මුළානොකොට කියන්නේ අනුලොම් ධර්මයෙහි සමාදන් කරවන්නේ නමි. කොලිත විහාරවාසී චතුනිකායික තිස්ස තෙරණුවන්මෙනි. ඔහුගේ දෙටු සොහොයුරු දත්තාභය නම් තෙරණුවෝ පෝතලිය වෙහෙරෙහි වසන්නෝ එක් රෝගයක් හටගත් කල්හි කනිටු සොයුරා කැඳවා (මෙසේ) පැවසූහ: ‘ඇවැත්නි, මට සැහැල්ලු කොට එක් කමටහනක් කියව’ය යනුවෙනි. ‘ස්වාමීනි, අන් කමටහනකින් කවර වැඩක්ද කබලිංකාරාහාරය සැලකිල්ලට ගැනීමට වටී’යයි කීවේය. ‘ඇවැත්නි, මෙය කවර අ අර්ත්ථයක් ඇත්තේ වේද?’ ‘ස්වාමීනි, කබලිංකාරාහාරය උපදා රූපයකි. එක් උපාදාරූපයක් දුටුකල්හි තෙවිසි උපාදාරූපයෝ ප්රකට වෙත්.’ හෙතෙම ‘ඇවැත්නි, මෙපමණක් වටනේය’යි ඔහු යවා කබලිංකාරාහාරය නුවණින් සලකා උපාදාරූපය සලකා විවර්තනය කොට රහත්බවට පැමිණියේය. ඉක්බිති ඒ තෙරුන් විහාරයෙන් පිටතට නොනික්මෙන්දිම යළි කැඳවා ‘ඇවැත්නි, මට මහා පිහිටක්වූයේ වෙහි’යි කනිටු තෙරුන්ට තමන් ලැබූ ගුණය සැළකළේය. බහුජනහිතාය යනු මොහුගේද සද්ධිවිහාරිකාදීහු මෙතෙම නොදැන නොරකන්නේයයි සිතා ඔහු විසින් කරන ලද්දම කරති. එසේම උපස්ථායකාදීහු ඔවුන්ගේ ආරක්ෂක දෙවියෝ ඔවුන්ගේ මිත්රවූ භූම්යස්ථ දෙවියෝ ඔවුන්ගේ යහළුවූ ආකාශස්ථ දෙවියෝදැයි බඹලොව උපන්දෙවියන් දක්වා ඔහුවිසින් කරනලද්දම කරතියි බොහෝ දෙනාට හිතසුව සඳහා පිළිපන්නේ නම්වෙයි.
3. 1. 2. 2
දෙවැන්නෙහි ඛත්තියස්ස යනු උපතින් ක්ෂත්රියයාගේය. මුද්ධාවසිත්තස්ස යනු රාජ්යාභිෂේකයෙන් හයිස්මුදුනෙහි අභිෂේක කරනලද්දහුගේය. සාරාණීයානි හොන්ති යනු සිහිකළයුතුවූවාහු අමතකනොකළයුතුවූවාහු වෙත්. ජාතො යනු උපන්නාවූයි. යාවජීවං සාරාණියං යනු කුඩාකල්හි දැනීමට නොහැක. පසුකළෙක මාපියාදීන් හෝ නෑයන් විසින් හෝ ඥාතීන් විසින් හෝ දාසාදීන් විසින් හෝ නුඹ අසුවල් දනව්වෙහි අසුවල් නුවරෙහි අසුවල් දිනයෙහි අසුවල් නැකතෙහි උපන්නෙහියයි කියනලදකල අසා එතැන්පටන් දිවිඇතිතෙක් සිහිකරයි. අමතක නොකරයි. එහෙයින් දිවිඇතිතෙක් සිහිකටයුතුවූයේයයි කියනලදී
මහණෙනි, මේ දෙවැනි අභිෂේකස්ථානයනම් රජුට බෙහෙවින් සතුට ඇතිකරන්නෙවෙයි. එබැවින් ඔහුට දිවිඇතිතෙක් සිහිකටයුතු දෙයකි. යුදයෙන් ජයගත් තැන්හිද මේ ක්රමයමයි. මෙහි වනාහි සඞ්ගාමං යනු යුද්ධයයි. අභිවිජිනිත්වා යනු දිනා, සතුරන් මැඬය. තමෙව සඞ්ගාමසීසං යනු ඒ සංග්රාමස්ථානයමයි. අජ්ක්ධවසති යනු මැඩපවත්වා වෙසෙයි.
දැන් යම්හෙයකින් සම්බුදුන්වහන්සේට රජුගේ උපන් තැන් ආදියෙන් කළයුතු වැඩක් නැත්ද මේ සසුනෙහි ඊට සමානවූ පුද්ගලයන් තිදෙනකු දැක්වීමට මෙකරුණ ගෙනෙනලදී. එබැවින් ඔවුන් දක්වනසේක් මහණෙනි එසේම යනාදිය වදාළසේක. එහි අනගාරියං පබ්බජිතො හොති යන මෙහි චතුපාරිශුද්ධි ශීලයද පැවිද්ද ඇසුරුකොට ඇත්තක්මයයි දතයුතුය. සාරාණියං හොති යනු මම අසුවල් රටෙහි අසුවල් දනව්වෙහි අසුවල් විහාරයෙහි අසුවල් මලුවෙහි අසුවල් දිවාස්ථානයෙහි අසුවල් සක්මණෙහි අසුවල් ගසමුල පැවිදිවූයෙමැයි මෙසේ දිවි ඇතිතෙක් සිහිකටයුත්තේම වෙයි. අමතක නොකළ යුතුය.