උපඤ්ඤාත සූත්රය
පස්වැන්නෙහි ද්වින්නාහං යනු දෙදිනකි. උපඤ්ඤාසිං යනු එළඹ ගුණය දැනගත්තේය. වටහා ගත්තේය, අවබෝධ කළේය යන අර්ත්ථයි. දැන් ඒ ධර්මයන් දක්වමින් යාච අසන්තුට්ඨිතා යනාදිය පැවසූසේක. මේ ධර්මදෙක නිසා ශාස්තෘන්වහන්සේ සර්වඥතාඥානයට පත්සේක. එබැවින් එහි බලය දක්වමින් මෙසේ පැවසූසේක. එහි ‘ක්ුසලධර්මයන්හි අසතුටු බව’ යන මෙයින් මෙය ප්රකටකරයි. මම ධ්යානමාත්රයකින් හෝ අවභාසනිමිත්තමාත්රයකින් හෝ අසතුටුවී රහත්මගම ඉපදවූයෙමි. යම්තාක් එය නූපන්නේද ඒතාක් සතුටුවූයේ නොවෙමි. බවුන් වැඩීමෙහිදිද උකටලී නොවී නොපසුබටවම බවුන්වැඩීම කෙළෙමි යන මේ අර්ත්ථය දක්වමින් යාච අප්පටිවානිතා යනාදිය පැවසූසේක. එහි අප්පටිවානිතා යනු පසු නොබැසීමයි. නොපසුබටවීමයි. අප්පටිවානී සුදාහං භික්ඛවෙ පදහාමි යන මෙහි සුදං යනු නිපාතමාත්රයකි. ‘මහණෙනි, මම නොපසුබැසීමෙහි සිටියෙමි. බෝසත්කල්හි සර්වඥතා ඥානය පතමින් ප්රධන් වීර්ය්යය කෙළෙමි යන මෙය මෙහි අදහසයි.
දැන් යම්සේ මෙතුමා විසින් ඒ ප්රධන් වීර්ය්යය කරනලද්දේද එය දක්වමින් කාමං තචො ච යනාදිය පැවසූසේක. එහි යන්තං යන මෙයින් ලැබියයුතු ගුණසමූහය දක්වයි. පුරිසත්ථාමෙන යනාදියෙහි පුරුෂයාගේ ඥාන ශක්තිය, ඥානවීර්ය, හා ඥානපරාක්රමයද කියනලදී. සන්ථානං යනු පිහිටුවීම, නැවැත්ම, පසුබැසීම, සංසිඳීමයයි අර්ත්ථයි. මෙපමණකින් මෙයින් සතර අංගයකින් යුක්තවූ විර්ය අධිෂ්ඨානය කියන ලද්දේ නමි. මෙහිද කාමං තචො යනු එක් අංගයකි. අට්ඨි යනුද තවත් අංගයකි. මංසලොහිතං යනුද එක් අංගයකි. මේ සතර අංගයෝයි. පුරිසත්ථාමෙන (පුරුෂවීර්යයෙන්) යනාදිය බලවත් වීර්ය සඳහාවූ වෙනත් නම්ය. මෙසේ මුලින් සඳහන් කළ සතරින් යුක්තවී මෙසේ අධිෂ්ඨාන කරනලද වීර්යය චතුරංග සමන්වාගත වීර්යාධිෂ්ඨානය නමැයි දතයුතුය. මෙපමණකින් මෙතුමා විසින් බෝධිපර්ය්යංකයේහිදී තමාගේ පැමිණියයුතු ප්රතිපදාව කියනලදී.
දැන් ඒ ප්රතිපදාවෙන් ලබනලද ගුණය කීමට තස්ස මයහං භික්ඛවෙ (මහණෙනි. ඒ මට) යනාදිය පැවසූසේක. එහි අප්පමාදාධිගතා යනු සිහියෙන් නොවෙන්ව විසීම් සංඛ්යාත අප්රමාදයෙන් ලබනලදී. නිදාගෙන පමාවූවහු විසින් නොලබනලදී. බොධි යනු සිවුමග නුවණ හා සියල්දත් නුවණයි. මෙයි නිදාගෙන පමාවුවහු විසින් ලැබීමට නොහැක. එහෙයින් බෝධිය අප්රමාදයෙන් ලබනලදැයි කියනලදී. අනුත්තරො යොගක්ඛෙමො යනු හුදෙක් බෝධිය පමණක් නොව අර්හත්ඵලනිර්වාණ සංඛ්යාතවූ අනුත්තර යොගක්ෂෙමයද අප්රමාදීව ලබන ලද්දේමය.
දැන් තමන් විසින් ලබනලද ගුණයන්හි බික්සඟන සමාදන් කරවමින් තුමේහ චෙපි භික්ඛවෙ යනාදිය පැවසූසේක. එහි යස්සත්ථාය යනු යමක් සඳහා, යමකට එළඹ විසීමට කැමැතිව යන අර්ත්ථයි. තදනුත්තරං යනු ඒ ශ්රෙෂ්ඨවූ දෙයයි. බ්රහ්මචරියපරියොසානං යනු මාර්ග බ්රහ්මචර්යාවේ අවසානයවූ ආර්යඵලයයි. අභිඤ්ඤා සච්ඡික්වා යනු අභිඥාවෙන්, උත්තම ප්රඥාවෙන් ප්රත්යක්ෂකොටයි. උප්සම්පජ්ජ විහරිස්සථ යනු ලැබ පැමිණ වාසයකරවු යනුයි. තස්මා යනු යම්හෙයකින් නොපසුබස්නා උත්සාහය නම්වූ මෙය බොහෝ උපකාර ඇත්තේද උතුම් අර්ත්ථ ඉටුකරන්නේද, එහෙයිනි.
සඤ්ඤොජනීය සූත්රය
සයවෙනි සූත්රයෙහි සංයොජනීයෙසු ධම්මේසු යනු දස සංයෝජනයන්ට ප්රත්යයවූ ත්රෛභූමික ධර්මයන්හියි. අස්සාදානුපස්සිතා යනු ආස්වාද වශයෙන් දක්නාලද, බලනබව යන අර්ත්ථයි. නිබ්බිදානුපස්සිතා යනු නිර්වෙද වශයෙන් උකටලීවිම්වශයෙන් බලනබවයි. ජාතියා යනු ස්කන්ධයන්ගේ හටගැනීමෙනි. ජරාය යනු ස්කන්ධයන් මුහුකුරා යාමෙනි. මරණතො යනු ස්කන්ධයන්ගේ බිඳීමෙනි. විනාශවීමෙනි. සොකෙහි යනු ඇතළත පසුතැවිලි වීම ලක්ෂණ කොට ඇති ශෝකයෙනි. පරිදෙවෙහි යනු එය ඇසුරු කොට විලාපකීම් ලක්ෂණකොට ඇති හැඬීමෙනි, දුක්ඛෙහි යනු කය පෙළෙන දුකෙනි. දොමනස්සෙහි යනු සිත තවන දොම්නසිනි. උපායාසෙහි යනු දැඩි ආයාසය (වෙහෙස) ලක්ෂණකොට ඇති උපායාසයෙනි. දුක්ඛසමා යනු සියලු සංසාර දුකෙනි. පජහති යනු මාර්ගයෙන් දුරුකරයි. පහාය යන මෙහි වනාහි ඵලලක්ෂණය කියනලදී. මේ සූත්රයෙහි සසර සහ නිවන කියනලදී.
කණ්හ සූත්රය
සත්වැනි සූත්රයෙහි කණ්හා යනු කළුපැහැය නිසා කළුවූයේ නොවෙයි. කළුබවට (පවිටුබවට) පමුණුවන්නේනුයි හටගැනීමෙන් පවිටුබැවින් කණ්හා නමි. ස්වකීය කෘත්යයෙන් හෝ සියලු අකුශල ධර්මයෝ කෘෂ්ණයෝමය. ඔවුන්ගේ උපතින් සිත පැහැසර නොවෙයි. අභිරිකං යනු ලජ්ජා නැති බවයි. අනොත්තප්පං යනු (පවට) බිය නැති බවයි.
සුක්ක සූත්රය
අටවැන්නෙහි සුක්කා යන පැහැයෙන් සුදුබවින් සුදුනොවේ. සුදුබවට (පිවිතුරු බවට) පමුණුවත්නුයි සුදුයි. ස්වකීය කෘත්යයෙන් හෝ සියලු කුශලධර්මයෝ සුදුමය. ඔවුන්ගේ උපතින් සිත පැහැසර වෙයි. හිරි චඔත්තපපං ච යනු මෙහි පවින් පිළිකුල් කරන ලක්ෂණය හිරියි. බියවන බව ඔත්තප්පයයි. මෙහි යමක් විස්තර වශයෙන් කිවයුතු ද එය විසුද්ධිමග්ගයෙහි කියනලද්දේමය.
චරියා සූත්රය
නව වැන්නෙහි ලොකං පාලෙනති යනු ලෝකය දරත් පිහිටුවත් රකිති යනුයි. නයිධ පඤ්ඤායෙථ මාතා යනු මේ ලෝකයෙහි ජනනය කරන මව මේ මගේ මවයයි ගරු කිරීම් වශයෙන් නොපැනෙයි. ඉතිරි පදයන්හිද මේ ක්රමයමයි. සමේහදං යනු මිශ්රවීම හෝ සීමා බිඳීමයි. යථා අජෙළකා යනාදියෙහි මේ සත්වයෝ මේ මගේ මවය හෝ නැන්දාය හෝයි ගරුකිරීම් වශයෙන් නොදනිත්. යම් වස්තුවක් නිසා උපන්නාහුද එහිම වරදවා හැසිරෙත්. එබැවින් උපමාවක් එළවමින් එළුබැටලුවන් මෙනැයි ආදිය පැවසීය.