7-8. ආහුනෙය්‍ය ආදි සූත්‍ර වර්ණනා
සත්වැන්නෙහි සම්මාදිට්ඨිකො යනු ඇති සැටියෙන් දකියි, අටවැන්නෙහි අධිකරණසමුප්පාදවුපසමකුසලො යන සතර අධිකරණයන්ගේ මුලෙන් මුල ගෙන සංසිඳීමෙන් හටගැනීම සංසිඳවීමෙහි දක්ෂයෙක් වෙයි.
9. උපාලි සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි දුරභිසම්හවානි යනු හටගැනීමට දුෂ්කර වූ ඉවසිය නොහැකිවූයි, අල්පෙශාක්‍යයන් විසින් බැස ගැන්මට නොහැකියි කියන ලද්දේ වෙයි. අරඤ්ඤෙ වනපත්‍ථානි යනු වනපෙත් දයි, ආරණ්‍යකාංගය ඉපදවීමෙන් අරණ්‍යයි (වනයි), ගම්කෙළවර ඉක්මවා මිනිසුන්ට සමීපස්ථාන නොවන බැවින් වනපෙත්ය. පන්තානි යනු පර්‍ය්‍යන්තයෝයි, ඉතා දුරවූයි. දුක්කරං පචිවෙකං යනු කායවිවේකය දුෂ්කරය, දුරභිරමං යනු සිත් ඇලවීමට සුකර නොවේ, එකන්තෙ යනු හුදෙකලා බවෙහියි, කුමක් දක්වයිද? කායවිවේකය කළ කල්හි ද එහි සිත ඇලවිමට දුෂ්කරය. මේ ලෝකය දෙදෙනා දෙදෙනා බැගින් සතුටුවන්නේ වෙයි. හරන්ති මඤ්ඤෙ යනු ගෙනයන්නකු මෙන් කන්නකු මෙනි. මනො යනු සිතයි. සමාධිං අලභමානස්ස යනු උපචාර සමාධිය හෝ අප්පනාසමාධිය හෝ නොලබන්නාගේයි, (මෙයින්) කුමක් දක්වයිද? මෙබඳු වු භික්ෂුවගේ සිත තණපත් මුව ආදී හඬින් ද නොයෙක් බියකරු දෙයින් ද විසිර යතියි හඟියි, සංසීදිස්සති යනු කාම විතර්‍කයන්ගෙන් ගිලා බසියි, උප්පිලවිස්සති යනු ව්‍යාපාද විහිංසා විතර්‍කයන්ගෙන් උඩට උලුප්පවන්නේය,
කණ්ණසන්‍ධොපිකං යනු කණ දෙවීමෙන් ක්‍රීඩා කළයුතුයි, පිට්ඨසන්‍ධොපිකං යනු පිට දෙවීමෙන් ක්‍රීඩාකළ යුතුයි, එහි දිය සොඬින ගෙන දෙකන්හි වත්කිරීම කණ්ණසන්‍ධොපික නමි. පිටට වත්කිරීම පිට්ඨිසන්‍ධොපික නමි. ගාධං වින්‍දති යනු පිටක් ලබයි, කො වාහං කො ච හත්‍ථිනාගො යනු මම කවරෙක්ද ඇතා කවරෙක්ද? මම ද තිරිසන්ගිය කෙනෙකි, මෙතෙමේ ද (එසේය) මගේ ද මොහුගේ ද සිවුපාය, අපි දෙදෙනාම සමසම නොවෙමුද?
වඞ්කකං යනු කුඩා දරුවන්ගේ ක්‍රීඩාව සඳහා වූ කුඩා නඟුලයි, ඝටිකං යනු දිග දණ්ඩකින් කෙටි දණ්ඩකට ගැසීමේ ක්‍රීඩාවයි, මොක්‍ඛචිකං යනු පෙරළෙන ක්‍රීඩාවකි, අහසෙහි දණ්ඩක් අල්ලාගෙන හිස බිම තබා උඩුයටි වශයෙන් පෙරළෙන ක්‍රීඩාවකැයි කියන ලද්දේ වෙයි. විඞ්ගුලකං යනු තල් කොල ආදියෙන් කළ සුළං බලයෙන් කැරකෙන චක්‍රයකි. පත්තාළ්හකං යනු කොල නැළියයි කියනු ලැබේ. ඒ සැළි ආදියෙන් මනිමින් ක්‍රීඩා කරති. රථකං යනු කුඩා රියකි, ධනුකං කුඩා දුන්නක්මය.
, ඉධ ඛො පන වො යනු මෙහි වො යනු නිපාත මාත්‍රයකි, මෙහි වනාහි යන අරුත්ය, ඉඞ්ඝ ත්‍වං උපාලි සඞ්ඝෙ විහරාහි යනු මෙහි ඉඞ්ඝ යනු මෙහෙයවීම් අර්‍ත්‍ථයෙහි නිපාතයෙකි, එයින් තෙරුන් සඟ මැද විසීම සඳහා මෙහෙයවයි. ඔහුගේ අරණ්‍යවාසය නොඅනුදනියි, කුමක් හෙයින්ද? අරණ්‍ය සේනාසනයෙහි වසන්නාවූ ඔහුට වාසධුරයම සපිරෙන්නේය. ග්‍රන්‍ථධූරය නොවේ. සඟමැද වසමින් ධුර දෙකම පුරා රහත්බවට පැමිණෙන්නේය. විනය පිටකයෙහි ද ප්‍රමුඛයෙක් වන්නේය. ඉක්බිති මම ඔහුගේ පෙර පැතුමත් පෙර අදිටනත් විසඳා මේ භික්ෂුව විනයධරයන් අතුරෙහි අගතැන තබන්නෙමැයි මෙකරුණ දකිමින් ශාස්තෲන් වහන්සේ තෙරුන්ට අරණ්‍යවාසය නොඅනුදත් සේක. දසවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය.
පස්වැනි උපාලි වර්‍ගයයි.
දෙවැනි පණ්ණාසකය නිමියේයි.
3. තෙවන පණ්ණාසකය
1. සමණසඤ්ඤා වර්ගය
1. සමණසඤ්ඤා සූත්‍ර වර්ණනාව
තෙවැනි පණ්ණාසකයෙහි පළමු සූත්‍රයෙහි සමණසඤ්ඤා යනු මහණුන්ට උපදින සංඥාවයි, සත්තතකාරී යනු නිතර කරන්නාවූයි, අව්‍යාපජ්ඣො යනු දුක්නැත්තේයි, ඉදමත්‍ථන්තිස්ස හොති යනු මෙය අර්‍ත්‍ථයය, මෙය ප්‍රත්‍යය යැයි මෙසේ ඔහුට ජීවිත පිරිකර කෙරෙහි වෙයි. ප්‍රත්‍යවේක්ෂා කරන ලද පරිභොගය වළදතියි අරුත්ය. දෙවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය,
3. මිච්ඡත්ත සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි විරාධනා හොති යනු ස්වර්‍ගයෙන් ද මාර්‍ගයෙන් ද මෙහි වැළකීමක් (වැළහීමක්) වෙයි. නො ආරාධනා යනු සම්පාදනයක් නොවේ. සපිරීමක් නොවේ (හැකිවේයයි පවතියි).
4. බීජ සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි යථාදිට්ඨි සමත්තං සමාදිණ්ණං යනු දෘෂ්ටියට අනුරූපව සපුරන ලදි. ගන්නා ලදි, සියල්ල ගන්නා ලදි, චෙතනා යනු තිදොරෙහි උපන් චේතනාවම ගන්නා ලදි. පත්‍ථනා යනු මෙසේ වන්නේයයි මෙසේ ඇති කල්හි පැතුමයි. පණිධි යනු දෙවියෙක් හෝ වන්නෙමි. දෙවියන්ගෙන් අනෙකෙක් හෝ වන්නෙමියි සිත පිහිටුවීමයි. සඞ්ඛාරා යනු එක්ව යෙදුණු සංස්කාරයෝයි.
5. විජ්ජා සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි, ඉදිරියෙහි හැසිරෙන අරුතින් පුබ්බඞ්ගමා නමි, අන්‍වදෙව යනු එය ඵහුබඳින්නාවූමයි,
6. නිජ්ජර සූත්‍ර වර්ණනාව
සවැන්නෙහි, නිජ්ජරවත්‍ථුනි යනු දිරායාමට හේතුයි, මිච්ඡාදිට්ඨි නිජ්ජිණ්ණා හොති යනු මේ මිත්‍ථ්‍යාදෘෂ්ටිය යට විදර්‍ශනාවෙන් ද දිරාපත් වූයේමය. කුමක් හෙයින් යළි ගන්නා ලද්දේ ද යත්? සම්පූර්‍ණයෙන් විනාශ නොවූ බැවිනි. විදර්‍ශනාවෙන් මඳක් ගෙවී ගියේයි, සම්පූර්‍ණයෙන් වැනසුනේ නොවෙයි. මාර්‍ගය ඉපිද එය සහමුලින් වනසයි. යළි නැඟී සිටීමට නොදෙයි. එහෙයින් නැවත ගන්නා ලදී. මෙසේ සියලු පදයන්හි යෙදිය යුතුය. (මෙහිද සම්මා විමුත්තිය හේතුවෙන් සිවුසැට දහම්) වැඩීම සපිරීමට යයි. කවර සිවු සැටක්ද? සොතාපත්ති මාර්‍ගක්‍ෂණයෙහි අධිෂ්ඨාන අර්‍ත්‍ථයෙන් සද්ධින්‍ද්‍රිය සපිරෙයි. (දැඩිව ගැනීම් අර්‍ත්‍ථයෙන්) විරියින්‍ද්‍රිය එළඹසිටීමේ අර්‍ත්‍ථයෙන් සතිඉන්‍ද්‍රිය නොවිසිරීමේ අරුතින් සද්ධින්‍ද්‍රිය දැකීමේ අරුතින් පඤ්ඤින්‍ද්‍රිය දැනීමේ අරුතින් මනින්‍ද්‍රිය ගලායාමේ අරුතින් සොමනස්ස ඉන්‍ද්‍රිය පැවති සන්තතියට අධිපතිවීමේ අරුතින් ජීවිතින්‍ද්‍රිය සපිරෙයි. අරහත් ඵලක්‍ෂණයෙහි අධිෂ්ඨාන අර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධා ඉන්‍ද්‍රිය -පෙ- පවතින සන්තතියට අධිපති වීමේ අරුතින් ජීවිතින්‍ද්‍රිය සපුරයි. මෙසේ සිවුමග සිවුපෙලෙහි අට අට වී සිවුසැට දහම් සම්පූර්‍ණ බව යයි.