අටවැන්නෙහි අක්කොසකපරිභාසකො අරියූපවාදී සබ්රහ්මචාරීනං යන මෙහි ‘සබ්රහ්මචාරී’ පදය අක්කොසක පරිභාසක පදයන් සමඟ යෙදිය යුතුය. අක්කොසකො සබ්රහ්මචාරීනං පරිභාසකො සබ්රහ්මචාරීනං යනුවෙනි. ආර්ය්යයන්ගේ ගුණය නසන්නෙමැයි පරිජි ඇවැතකින් උපවාද නඟන්නා අරියූපවාදී නම් වෙයි. සද්ධම්මස්ස න වොදානයන්ති යනු ශික්ෂාත්රය සංඛ්යාත වූ ශාසන ධර්මයෝ මොහුගේ පවිත්රත්වයට නොයති. රොගොතඞ්කං යනු මෙහි රෝගයම දුෂ්කර ජීවිතයක් ඇතිකරවන බැවින් ආතඞ්කයි දතයුතුය.
9. කොකාලික සූත්ර වර්ණනාව
නවවැන්නෙහි කොකාලිකො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි යනු මේ කෝකාලික කවරෙක්ද? කුමක් හෙයින් එළැඹියේද? කොකාලික රටෙහි කොකාලික නගරයෙහි කොකාලික සිටුගේ පුත්වූ මෙතෙම පැවිදිව පියා විසින් කරවන ලද වෙහෙරෙහි චූලකොකාලික නමින් වෙසෙයි. දේවදත්ත පාක්ෂිකයෙක් නොවේ. හෙතෙම මහා කොකාලික නම් වූ බමුණු පුතෙකි. භාග්යවතුන් වහන්සේ සැවතෙහි වසන කල්හි අගසවු දෙනම පන්සියයක් පමණ හික්ෂූන් සමග දනවු සැරිසරන්නාහු එළැඹෙන වස් විසීම සඳහා විවේක විසීමෙන් වෙසෙනු කැමැත්තෝ ඒ (පිරිවර) භික්ෂූන් පිටත් කොට යවා තමන්ගේ පාසිවුරු ගෙන දනව්වෙහි ඒ නුවරට පැමිණ විහාරයට ගියාහුය. එහිදී ඔවුනට කොකාලික තෙමේ වත් සැපයීය. උන්වහන්සේලා ද ඔහු සමඟ සතුටු වී “ඇවැත්නි අපි මෙහි තෙමසක් වෙසෙන්නෙමු. අප ගැන කිසිවකුට නොදන්වන්නැයි පිළිණ ගෙන විසුවාහුය. වැස පවාරණ දිනයෙහි පවරා ඇවැත්නි, අපි යමුයි කොකාලිකට දැක්වූහ. කොකාලික තෙමේ ඇවැත්නි, අද එකදවසක් වැස හෙට වඩිනු මැනවැයි කියා දෙවැනි දිනයෙහි නුවරට පිවිස මිනිසුන්ට ඇවැත්නි, අගසව් දෙනම මෙහි පැමිණ වසනවිට නොදන්නහුය. කිසිවෙක් උන්වහන්සේලා ප්රත්යයෙන් ආරාධනය නොකරයි පැවසීය. “ස්වාමීනි තෙරවරු කොහිද? කුමක් හෙයින් අපට නොදැන්වුවහුදැ”යි මිනිස්සු ඇසූහ. “ඇවැත්නි, දැන්වීමෙන් කවර වැඩෙක්ද? භික්ෂූන් දෙනමක් ථෙරාසනයෙහි හිඳින විට ඔවුහු අගසව්වෝයි නොදක්නහුද?” ඒ මිනිස්සු වහා රැස්ව ගිතෙල් පැනි ආදිය මෙන්ම සිවුරු පිළි ද රැස්කළාහුය.
“අගසව්වෝ අතිශයින්ම අපිස්යහ. වචනයෙන් දන්වා උපන් ලාභය නොයිවසන්නාහුය. නොයිවසමින් ආවාසික භික්ෂුවට දෙවයි කියති”යි කෝකාලික සිතුවේය. ඒ ලැබූ දෙය ගෙන්වාගෙන තෙරුන් සමීපයට ගියේය, තෙරවරු දෙනම මේ ප්රත්යයෝ කෝකාලිකටත් අපටත් කැප නොවෙතියි පිළිකෙවු කොට වැඩියාහුය. කෝකාලික තෙමේ, “කෙසේ නම් තමනුත් නොගෙන මට ද නොදෙවා යන්නහුදැයි වෛර ඉපදවීය. උන්වහන්සේලා ද භාග්යවතුන් සමීපයට ගොස් උන්වහන්සේ වැඳ යළි තමන්ගේ පිරිස රැගෙන දනවු සැරිසරමින් අනුපිළිවෙලින් ඒ රටෙහි ඒ නුවරටම පෙරළා පැමිණියාහුය. නුවරු තෙරුන් හැඳිනගෙන පිරිකර සහිත දන් පිළියෙල කොට නුවර මැද මණ්ඩපයක් තනවා දන් දුන්නාහුය. ථෙරවරුන්ට පිරිකර ද පිළිගැන්වූහුය. කොකාලික තෙමේ එය දැක, “මොවුහු පෙර අපිස් වූවෝ වුහ. දැත් පවිටු ආසා ඇත්තෝ වූහ. පෙර ද අපිස් වූවන් සතුටුවූවන් විවේකයෙහි යෙදුනන් සමානවූවාහුමැයි හඟිමි”යි (සිතා) තෙරුන් වෙත එළඹ, ඇවැත්නි, නුඹ වහන්සේලා පෙර අපිස්වූවන් මෙන් (සිට) දැන් පවිටු භික්ෂූහු වූවාහුදැයි පවසා මුල්තැනෙහිම මොවුන්ගේ පිහිට බිඳින්නෙමැයි ඉක්මණින් නික්ම භාග්යවතුන් වහන්සේ වෙත එළැඹියේය. මේ කොකාලික තෙමේ මෙකරුණින්ම එළැඹියේය යන මෙය දතයුතුය.
භාග්යවතුන් වහන්සේ වහ වහා එන්නාවූ ඔහු දැක මෙනෙහි කරන සේක්, මෙතෙම අගසව්වන්ට දොස් නඟනු කැමැත්තෙන් ආයේය, ඔහු වළක්වන්නට හැක්කේද? වළක්වන්නට නොහැකැයි දැක අපරාධ කොට පැමිණියේ ඒකාන්තයෙන් පදුම නිරයෙහි උපදින්නේ යයි දත්සේක. එසේ දැක, සැරියුත් - මුගලන් දෙදෙනා කෙරෙහි ද ගරහන්නකු අසා නොවැලැක්වීදැයි (නැඟෙන) වචනය දුරුකිරීමට ද ආර්ය්යෙපවාදය මහා සාවද්ය බව දැක්වීමට ද “එසේ නොකියව”යි තෙවරක් වැළැක්වූ සේක. එහි මා හෙවං යනු මෙසේ නොකියව යනුයි, සද්ධායිකො යනු සැදැහැයෙන් ආගම කරන්නේ ප්රසාද දනවන්නේ හෝ ඇදහියයුතු වචන ඇත්තේ හෝයි, පච්චයිකො යනු විශ්වාස කටයුතු වචන ඇත්තේයි,
පක්කාමි යනු කර්මබලයෙන් චෝදනා කරනු ලබන්නේ ගියේය, අවකාශ ලද කර්ම මැඬලිය නොහැක. අචිරපක්කන්තස්ස යනු කෙසක් පමණකුදු ඉඩ නොහැර සියල් සිරුර ඇටබිඳ නැඟුණු ගඩුවලින් පැතිරී ගියේය. බුද්ධානුභාවයෙන් එබඳුවූ කර්මයක් බුදුවරුන්ගේ ඉදිරියෙහි විපාක දීමට නොහැකි බැවින් පෙනෙන සීමාව අත්හළ කෙණෙහි (විපාක) දෙයි. එහෙයින් ඔහු ගොස් නොබෝ විටකින් ගඩු නැඟිණි, කළායමත්තියො යනු කඩල පමණවූයි, බෙලුවලාටුක මත්තියො යනු තුරුණු බෙලි (ගෙඩි) පමණවූයි, පභිජ්ජිංසු යනු බිඳුනාහුය, ඒවා බුන්කල සියල්සිරුර කොස්ගෙඩියක් මෙන් විය. හෙතෙම පැසවූ සිරුරෙන් ජේතවන දොර කොටුවෙහි විෂ ගිලන ලද මසකු මෙන් කෙසෙල්පත්වල වැදහොත්තේය. ඉක්බිති දහම් ඇසීම සඳහා පැමිණි පැමිණි මිනිස්සු, කොකාලිකට නින්දා වේවා! අයුත්තක් කළේය. තමාගේ මුව නිසා දුක්කරදවලට පත්වූයේ”යැයි කීවාහුය. ඔවුන්ගේ කීම අසා රැකවල් දේවතාවෝ නින්දා කළාහුය. රැකවල් දෙවියන්ගෙන් අසා මත්තෙහි දෙවියෝයි මේ ක්රමයෙන් අකනිටා භවන තෙක් එකම නින්දා කිරීමක් උපණ.