9. පඨම කථාවත්ථු සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි තිරච්ඡානං කථං යනු අනිර්‍ය්‍යානික (විමුක්තියට යොමුනොවූ) බැවින් මෙකී ස්වර්‍ගමොක්‍ෂ මාර්‍ගයන්ට සරස් බවට පත් කථාවයි, එහි රජුන් අරභයා මහාසම්මතය, මන්‍ධාතුය, ධර්‍මාශෝකය මෙසේ මහානුභාවයයි ආදී ක්‍රමයෙන් පැවති කථා රාජකථා යි, චොරකථා ආදියෙහි මේ ක්‍රමයයි, ඔවුනතුරෙන් අසුවල් රජු මනා රුවැත්තේය, දැකුම්කලු යයි ආදී ක්‍රමයෙන් ගෘහාශ්‍රිත කථාව තිරිසන් කථාව වෙයි. එය ද මෙසේ මහානුභාව තැනැත්තේ විනාශයට ගියේයයි මෙසේ පැවැති කථාව කර්‍මස්ථාන බවෙහි සිටියි. සොරුන් අතුරෙහි ද මූලදෙව තෙමේ මෙසේ ඇත්තෙකි, මෙඝමාල තෙමේ මෙසේ ආනුභාව ඇත්තෙකියි වූ ගෘහාශ්‍රිත කථාව තිරිසන් කථාවයි, යුද්ධයන්හි ද මහාභාරත යුද්ධාදියෙහි අසුවලා විසින් අසුවලා මෙසේ මරණ ලදි. මෙසේ විදින ලදියි පැහැදීම් වශයෙන් වූ කථාව තිරච්ඡාන කථායි. ඔවුහු ද විනාශයට ගියහයි මෙසේ පැවති කථාව සියලු තැන්හි කර්‍මස්ථානයම වෙයි. තවද ආහාරාදියෙහි මෙසේ පැහැපත් රසවත් පහස සහිත ආහාරයක් කෑවෙමු. වැළඳුවෙමු. බීවෙමුයි කාමාස්වාද වශයෙන් කීමට නොවටියි, අර්‍ත්‍ථවත් කොට මෙසේ වර්‍ණ ආදියෙන් යුක්ත කෑමබීම. ඇඳුම්, යහන්, මල්දම්, සුවඳ සිල්වතුන්ට දුන්නෙමු, සෑ පුද කෙළෙමුයි කීමට වටියි.
ඥාතිකථා ආදියෙහි ද අපගේ නෑයෝ සූරයෝය, දක්‍ෂයෝයැයි හෝ පෙර අපි මෙසේ විසිතුරු යානයන්ගෙන් හැසුරුනෙමුයි හෝ ආස්වාද වශයෙන් කීමට නොවටියි, අර්‍ත්‍ථ සහිත කොට ඒ අපගේ නෑයෝ ද විනාශයට ගියහයි හෝ පෙර අපි මෙසේ පාවහන් සඞ්ඝයාට දුනිමුයි හෝ කිවයුතුය. ගම් පිළිබඳ කථාව ද සුභික්‍ෂ දුර්භික්‍ෂ ආදි වශයෙන්ම අසුවල් ගම්වැසියෝ ශූරයෝය, සමර්‍ත්‍ථයෝ යි හෝ මෙසේ ආස්වාද වශයෙන්ම නොවටියි. අර්‍ත්‍ථසහිත කොට සියලූ විනාශයට ගියාහුයි කීමට වටියි. නියම් දනවු කථාවන්හි ද මේ ක්‍රමයමයි.
ස්ත්‍රීකථා ද පැහැය සටහන් ආදිය නිසා රසවිඳීම් වශයෙන් නොවටියි, සැදැහැවත්ය, (සසුනෙහි) පැහැදුනාය. (එබඳු තැනැත්තිය ද) මිය ගියාය වැනසුනායයි මෙසේ වටියි. සූරයන් පිළිබඳ කථාව ද නන්‍දිමිත්‍ර නම් යෝධයා සූරයෙක් වීයයි රසවිඳීම් වශයෙන් නොවටියි. සැදැහැවත් වූයේය. (එහෙත්) විනාශයට ගියේයයි එසේ වටියි. සුරාකථං යනු පෙළෙහි (එන පරිදි) නොයෙක් ආකාර මද්‍ය කථාව ආස්වාද වශයෙන් කීමට නොවටියි. ආදීනව වශයෙන් කීමට වටියි. විසිඛාකථා (වීථින් පිළිබඳ කථාව) ද අසුවල් වීදිය මනාව පිහිටුවා ඇත. නොමනාව පිහිටුවා ඇතැයි ආස්වාද වශයෙන් නොවටියි. මනාව තිබිණ, විනාශයට ගියේයයි කීමට වටියි. කුම්හට්ඨානකථා යනු දිය කළකථා, දිය තොටු පිළිබඳ කථායි කියනු ලැබේ. කුම්හදාසි කථා හෝ වේ. දියගෙන යන දැස්ස නැටීමට ගැයීමට දක්‍ෂයයි ආස්වාද වශයෙන් කීමට නොවටියි. සැදැහැවත්ය. පහත්ය ආදී ක්‍රමයෙන් වටියි.
පුබ්බපෙතකථා යනු අතීත ඥාතීන් පිළිබඳ කථාවයි. එහි විනිශ්චය වර්‍තමාන ඥාතිකථාව සමානම වෙයි. නානත්තකථා යනු මුල් හා පැසුළු කථාවන්ගෙන් මිදී ඉතිරිවූ නොයෙක් ස්වභාවය ඇති තිරිසන් කථායි, ලොකක්‍ඛායිකා නම් මෙලොව කවරකු විසින් මවන ලද්දේ ද, අසුවලා විසින් මවන ලදි. කවුඩා සුදුය. ඇටසුදු බැවිනි, ලේ රතු බැවින් කොක්කු රතුය මෙබඳු ලොකායතික විතණ්ඩ සල්ලාප කථාවයි, සමුද්දක්‍ඛායිකා යනු කෙසේ නම් සයුර සාගරය වූයේ ද, සගර දෙවියා විසින් කණින ලද නිසා සාගරයයි. හස්තමුද්‍රාවෙන් දන්වන ලද බැවින් සමුදුරය. මෙබඳු වූ අර්‍ත්‍ථරහිත කථාවයි. භවො යනු වෘද්ධියයි (වැඩිවීමයි) අභවො යනු හානියයි. මෙසේ භවයි මෙසේ අභවයි යනුවෙන් එන යම් ඒ අර්‍ත්‍ථරහිත කථාව ඉති භවාභවකථා නමි.
තෙජසා තෙජං යනු තමන්ගේ තෙදින් ඔවුන්ගේ තෙදයි, පරියාදියෙය්‍යථා යනු ගෙවා, ගෙන සිටින්නේය. මේ එහි කථා වස්තුවයි. එක් පිණ්ඩපාතික භික්ෂුවක් මහ තෙරුන්ගෙන් ස්වාමීනි තෙදින් තෙද ගෙවා ගන්නාවූ භික්ෂුහු කුමක් කරත්දැයි විමසීය. “ඇවැත්නි කිසිවකු තම වශඟයෙහි තබා යටින් උඩටම යයි’ යි තෙරණුවෝ කීහ
10. දුතිය කථාවත්ථු සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි පාසංසානි ඨානානි පැසසුම ගෙන එන කරුණුයි. සෙස්ස සියලු තැන පැහැදිලි අරුත් ඇත්තේමය.