9. පඨමාරියවාස සූත්ර වර්ණනාව
නවවැන්නෙහි අරියවාසා යනු ආර්ය්යයෝ මෙහි විසූහ, වසත්, වසන්නාහුයි අරියවාසා නමි. යදරියා යනු යම් වාසයක ආර්ය්යයෝයි.
10. දෙවෙනි ආරියවාස සූත්ර වර්ණනාව
යම් හෙයකින් කුරුරට වැසි භික්ෂූහු ගැඹුරු නුවණ ඇත්තෝ (ධර්මයට අනුව) කටයුතු කරන්නෝ සුදුසු දෙයෙහි යෙදෙන්නෝ වෙත්ද එහෙයින් ඔවුනට යම්සේ දීඝනිකායාදියෙහි මහානිදාන ආදී සූත්ර කියන ලද්දේ ද එසේ මේ ගැඹුරු වූ ඉතා සියුම්වු තිලකුණු ගැබ්වූ දසවැනි සූත්රය එහිදීම වදාළ සේක. එහි පඤ්චඞ්ගවිප්පහීනො යනු අංග පසකින් වෙන්වී රහතන් වහන්සේ විසූහ. වසති, වසන්නෝය, එහෙයින් මෙය පසඟින් වෙන් වූ බැවින් ආර්ය්යාගේ වාසයයි කියනලදි. සියලු තැන්හි මේ ක්රමයයි. එවං ඛො භික්ඛවෙ භික්ඛු ජළඞ්ගසමන්නාගතො හොති යනු අංග සයක් ඇති උපේක්ෂාවෙන් යුක්තවූයේ වෙයි. අංග සයින් යුක්ත උපේක්ෂා ධර්මයෝ නම් කවරහුද යත්? ඥානාදිය ඥානයයි කීකල්හි ක්රියා වශයෙන් ඥාන සම්ප්රයුක්ත සිත් සතරක් ලැබෙයි. සතතවිහාර යයි කී කල්හි මහාසිත් අටයි, ඇලීම් ද්වෙශ කිරීම් නැතැයි කීකල්හි සිත් දහයක් ලැබෙයි. සොම්නස ඇසුරු කිරීම් වශයෙන් ලැබෙයි. සතාරක්ඛෙන චෙතසා යනු ක්ෂීණාශ්රවයන් වහන්සේගේ තිදොරෙහි හැම කල්හි සිහිය ආරක්ෂා කෘත්යය ඉටු කරයි. එහෙයින්ම හැසිරෙන්නාවූ ද සිටින්නාවූ ද නිදන්නාවූ ද නොදන්නාවූ ද ඔහුට නිබඳව සන්සුන් වූ ඥානදර්ශනය එළඹසිටියේ වේයයි කියනු ලැබේ.
පුථුසමණබ්රාහ්මණානං යනු බොහෝවූ මහණ බමුණන්ගේයි, මෙහිද සමණා යන පැවිද්දට එළඹියාහුයි, බ්රාහ්මණා යනු භො වාදීහුයි, පුථුපච්චෙකසච්චානි යනු බොහෝවූ වෙන් වෙන් සත්යයෝයි, මේ දර්ශනයම සත්යය මේ දර්ශනයම සත්යය යනුවෙන් මෙසේ පෞද්ගලිකව ගන්නාලද බොහෝ සත්යයෝ යන අරුත්ය. නුණ්ණානි යනු ගෙනහැර පෑවාවූයි, පනුණ්ණානි යනු මනාව ගෙනහැර පෑවාවූයි, වන්තානි අත්හරනා ලද්දාවූයි, මුත්තානි යනු සිඳින ලද බැඳීම් ඇතිකළාවූයි, පහීනානි යනු අත්හරනා ලද්දාවූයි, පථිනිස්සට්ඨානි යනු යම් සේ නැවත සිත නොනංවත්ද එසේ අත්හරනා ලද්දාවූයි, මේ සියල්ලම ගන්නාලද ගැනීම් අත්හළ බවට අපරනාමයෝයි.
සමවයසට්ඨෙසනො යනු මෙහි අවය යනු නොඅඩුවූයි, සට්ඨා යනු අත්හරනා ලදයි, මනාව නොඅඩුව අත්හළ බලාපොරොත්තු ඇත්තේ යනු අරුත්ය. රාගා චිත්තං විමුත්තං යනාදියෙන් මාර්ගයේ කෘත්ය නිෂ්පත්තිය කියන ලදි. රාගො මෙ පහීනො යනාදියෙන් ප්රත්යවෙක්ෂණයේ ඵලය කියන ලදි. සෙස්ස සියලු තන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.
දෙවැනිවූ නාථකරණවර්ගයයි.
3. මහා වර්ගය
1. සිංහනාද සූත්ර වර්ණනාව
තෙවැනි වර්ගයෙහි පළමු සූත්රයෙහි විසමගතෙ යනු විසමතැන්හි - ගොදුරුවල ගියාවූයි, සඞ්ඝාතං ආපාදෙසිං යනු වධයට පමුණුවන්නෙමි, ඔහුගේ බලවත් තෙද ඇති බැවින් කුඩා සතුන් කෙරෙහි අනුකම්පාව වෙයි. එහෙයින් යමෙක් පිළිසතුරු බවෙහි සිටීමට හැකිවෙත්. දුබල වූ යමෙක් පලායනු කැමැත්තෝ වෙත්ද ඔවුහු පලායන්නාහුයයි සිංහ නාදය නඟාම ගොදුරු සඳහා පිටත්වෙයි. තථාගතස්සෙතං අධිවචනං යනු ඉදින් ඉවසනසුලු බවින් සිංහයා (වේද), තථාගතයන් වහන්සේ ඉටුනිටු හැම දෙයක්ම උසුලති. සියලු පරවාදීන් මැඬීමෙන් වනසත්. ඉදමස්ස සීහනාදස්මිං යනු මේ ඔහුගේ සිංහනාදයයි.
තථාගතබලානි යනු අන්යයන්ගෙන් අසාධාරණ වූ තථාගතයන් වහන්සේගේ බලයෝයි, යම්සේ පෙර බුදුවරුන්ගේ බලයෝ පුණ්යසම්පත්තියෙන් ආවාහුද එන්සේ ආවාවූ බලයෝ යන අර්ත්ථයි. එහි කායබලය, ඤාණ බලයයි තථාගතයන් වහන්සේගේ බලය දෙවැදෑරුම් වෙයි. ඒ අතුරෙන් කායබලය ඇත්කුල අනුසෙරෙන් දතයුතුය. පැරැන්නන් විසින් මෙය කියන ලදි:
කාලාවක, ගඞ්ගෙය්ය, පණ්ඩර, තම්බ, පිඞ්ගල, ගන්ධ, මඞ්ගල, හෙම, උපොසථ, ඡද්දන්ත යන මේ දසදෙනායි.
මේ ඇත්කුල දහයයි. එහි කාලාවක යනු ස්වාභාවික ඇත්කුලයයි දැක්විය යුතුය. පුරුෂයන් දස දෙනෙකුගේ කායබලය එක් කාලාවක ඇතෙකුගේ ඇත. කාලාවක ඇතුන් දස දෙනෙකුගේ බලය එක් ගඞ්ගෙය්ය ඇතෙකුට ඇත. ගඞ්ගෙය්ය දසදෙනකුගේ බලය එක් පණ්ඩර ඇතෙකුට ඇත. පණ්ඩර ඇතුන් දසදෙනකුගේ බලය එක් තම්බ ඇතකුට ඇත. තම්බ ඇතුන් දසදෙනකුගේ බලය පිඞ්ගල එක් ඇතකුට ඇත. පිඞ්ගල ඇතුන් දසදෙනකුගේ බලය එක් ගන්ධ ඇතකුට ඇත. ගන්ධ ඇතුන් දස දෙනකුගේ බලය එක් උපොසථ ඇතකුට ඇත. උපොසථ ඇතුන් දසදෙනකුගේ බලය එක් ඡද්දන්ත ඇතකුට ඇත. ඡද්දන්ත ඇතුන් දසදෙනකුගේ බලය එක් තථාගතවරයකුගේ වෙයි. මෙයම නාරායන සංඛ්යාත බලයයි කියනු ලැබේ. ස්වාභාවික ඇතුන්ගේ ගණනින් කෝටි දහසක ද පුරුෂ සංඛ්යාවෙන් පුරුෂ කෝටි දසදහසක ද බලය එක් තථාගතවරයකුගේ වෙයි. මෙය වනාහි තථාගතයන් වහන්සේගේ කායබලයයි.
ඤාණබලය පෙළෙහි ආවේය. දසබල ඥානය මජ්ඣිම නිකායෙහි ආයේයි. චතු වෛශාරද්යඥානය අටපිරිස්හි නොසැලෙන නුවණ, යොනිසතර පිරිසිඳ දැනීමේ නුවණ හා ගති පස පිරිසිඳ දැනීමේ නුවණ සංයුත්ත නිකායෙහි ආයේයි. තෙසැත්තෑ නුවණ සත්සැත්තෑ නුවණ දැයි මෙසේ නොයෙක් වෙනත් ඥාන ද ඥානබලය නමි. මෙහි ද ඥානබලයම අදහස් කරන ලදි. ඥානය වනාහි නොසැලෙන අරුතින් ද දරා සිටින අරුතින් ද බලයයි කියනලදි.