6. ආහුනෙය්‍ය සූත්‍ර වර්ණනාව
සවැන්නෙහි ගොත්‍රභූ යනු මුදුන්පත් විදසුන් ඇත්තේ නිවන අරමුණු කොට ඇති ගොත්‍රභූ ඤාණයෙන් යුක්තවූයේයි,
7. ප්‍රථම නාථකරණ සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි සනාථා යනු ඥාතීන් සහිතව බොහෝ ඥාති වර්‍ගයන් ඇත්තෝ වී වසවු. නාථභාවය කරත්නුයි නාථකරණා නමි, තමන්ගේ සනාථබව කරන්නෝ පිහිට ඇතිකරන්නෝයි අරුත්ය. කල්‍යාණමිත්තො යනාදියෙහි සීලාදී ගුණයෙන් යුක්ත වූ කල්‍යාණ මිත්‍රයෝ මොහුටනුයි කල්‍යාණමිත්තො නමි. ඔවුහුම ඔහුට සිටීම් හිඳීම් ආදියෙන් එක්ව පැවැත්මෙන් සහායයෝ වෙත්නුයි කල්‍යාණසහායො නමි. සිතින් මෙන්ම කයින් ද කලණමිතුරන් කෙරෙහිම ඇදවීම ඇත්තේ යොමුවීම ඇත්තේනුයි කල්‍යාණසම්පවඞ්කො නමි. සුවචො හොති යනු සුවසේ කිවයුත්තේ වෙයි, සුවසේ අනුශාසනා කළ හැක්කේ වෙයි, ඛමො යනු දැඩිවූ රළුවූ කර්‍කශවූ දෙයින් කියන ලද්දේ ඉවසයි, නොකිපෙයි, පදක්‍ඛිණග්ගාහී අනුසාසනිං යනු යම්සේ අවවාද කරනු ලබන ඇතමෙක් වමින් ගනියි. ඉවතලයි, හෝ නොඇසුනේ මෙන් යයි, මෙසේ නොකොට ස්වාමීනි ඔවදන් දෙනු මැනව අනුශාසනා කළමැනවි නුඹවහන්සේලා ඔවදන් නොදෙන කල්හි අන් කවරෙක් අවවාද කරත්දැයි පැදකුණු කිරීමෙන් (ගෞරවයෙන්) ගනියි.
උච්චාවචානි යනු උසස් පහත්වූයි, කිං කරණීයානි යනු කුමක් කරම්දැයි මෙසේ කියා කළයුතු කටයුතුයි, එහි උසස් කර්‍මනම් සිවුරුකිරීම, පඬු පෙවීම, සැයෙහි සුණු පිරියම් කිරීම, පොහොය ගෙවල් සෑගෙවල් බෝගෙවල්වල කළයුතු කටයුතුයයි මේ ආදියයි. පහත් කර්‍ම නම් පාදෙවීම මැඩීමාදී කුඩා කටයුතුයි, තත්‍රෑපායාය යනු එහි එළැඹීම සඳහායි. අලංකාතුං යනු කිරීමට සමත්වූවෙක් වෙයි. අලං සංවිධාතුං යනු විමසීමෙහි සමත්වූයේයි,
ධර්‍මයෙහි මොහුගේ කැමැත්තයි සෙනහසයි යන්නෙන් ධම්මකාමො නමි, ත්‍රිපිටක බුද්ධ වචනයට ප්‍රියකරයි යන අරුත්ය. පියසමුදාහාරො යනු අනුන් කියන කල්හි සකස්ව අසයි, තෙමේත් අනුන්ට දෙසනු කැමැත්තේ වේයි අරුත්ය. අභිධම්මෙ අභිවිනයෙ යනු මෙහි ධර්‍මය, අභිධර්‍මය විනය අභිවනය යන චතුෂ්කය දතයුතුය. එහි ධම්මො යනු සූත්‍ර පිටකයයි, අභිධම්මො යනු ප්‍රකරණ සතයි, විනයො යනු උභතොවිභඞ්ගයයි, අභිවිනයො යනු ඛන්‍ධකපරිවාරයෝයි, නැතහොත් සූත්‍ර පිටකයත් අභිධර්‍මපිටකයත් ධර්‍මයයි, මාර්‍ගඵල අභිධර්‍මයයි, සියලු විනය පිටකය විනයයි, කෙලෙස් සංසිඳුවීම අභිවිනයයි. මෙසේ මෙහි සියලු ධර්‍මයෙහි අභිධර්‍මයෙහි විනයෙහි අභිවිනයෙහි උදාරවූ ප්‍රමුදිතබවක් වේයයි අර්‍ත්‍ථයි. කුසලෙසු ධම්මෙසු යනු කරණ විභක්ති අර්‍ත්‍ථයෙහි සත්තමියයි, චාතුර්භූමික වූ කුශලකර්‍ම කිරීමෙන් ඔවුන් අවබෝධ කිරීම සඳහා බහා නොතැබු වගකීම් ඇත්තේයි අර්‍ත්‍ථයි.
8. දුතිය නාථකරණ සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි ථෙරානුකම්පිතස්ස යනු තෙරවරුන් විසින් අවවාද අනුශාසනා දීමෙන් නංවනලද හිතවත් බව පැතිරීමෙන් අනුකම්පා කරනලද්දහුගේයි.
9. පඨමාරියවාස සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි අරියවාසා යනු ආර්‍ය්‍යයෝ මෙහි විසූහ, වසත්, වසන්නාහුයි අරියවාසා නමි. යදරියා යනු යම් වාසයක ආර්‍ය්‍යයෝයි.
10. දෙවෙනි ආරියවාස සූත්‍ර වර්ණනාව
යම් හෙයකින් කුරුරට වැසි භික්ෂූහු ගැඹුරු නුවණ ඇත්තෝ (ධර්‍මයට අනුව) කටයුතු කරන්නෝ සුදුසු දෙයෙහි යෙදෙන්නෝ වෙත්ද එහෙයින් ඔවුනට යම්සේ දීඝනිකායාදියෙහි මහානිදාන ආදී සූත්‍ර කියන ලද්දේ ද එසේ මේ ගැඹුරු වූ ඉතා සියුම්වු තිලකුණු ගැබ්වූ දසවැනි සූත්‍රය එහිදීම වදාළ සේක. එහි පඤ්චඞ්ගවිප්පහීනො යනු අංග පසකින් වෙන්වී රහතන් වහන්සේ විසූහ. වසති, වසන්නෝය, එහෙයින් මෙය පසඟින් වෙන් වූ බැවින් ආර්‍ය්‍යාගේ වාසයයි කියනලදි. සියලු තැන්හි මේ ක්‍රමයයි. එවං ඛො භික්ඛවෙ භික්ඛු ජළඞ්ගසමන්නාගතො හොති යනු අංග සයක් ඇති උපේක්ෂාවෙන් යුක්තවූයේ වෙයි. අංග සයින් යුක්ත උපේක්ෂා ධර්‍මයෝ නම් කවරහුද යත්? ඥානාදිය ඥානයයි කීකල්හි ක්‍රියා වශයෙන් ඥාන සම්ප්‍රයුක්ත සිත් සතරක් ලැබෙයි. සතතවිහාර යයි කී කල්හි මහාසිත් අටයි, ඇලීම් ද්වෙශ කිරීම් නැතැයි කීකල්හි සිත් දහයක් ලැබෙයි. සොම්නස ඇසුරු කිරීම් වශයෙන් ලැබෙයි. සතාරක්‍ඛෙන චෙතසා යනු ක්ෂීණාශ්‍රවයන් වහන්සේගේ තිදොරෙහි හැම කල්හි සිහිය ආරක්ෂා කෘත්‍යය ඉටු කරයි. එහෙයින්ම හැසිරෙන්නාවූ ද සිටින්නාවූ ද නිදන්නාවූ ද නොදන්නාවූ ද ඔහුට නිබඳව සන්සුන් වූ ඥානදර්‍ශනය එළඹසිටියේ වේයයි කියනු ලැබේ.
පුථුසමණබ්‍රාහ්මණානං යනු බොහෝවූ මහණ බමුණන්ගේයි, මෙහිද සමණා යන පැවිද්දට එළඹියාහුයි, බ්‍රාහ්මණා යනු භො වාදීහුයි, පුථුපච්චෙකසච්චානි යනු බොහෝවූ වෙන් වෙන් සත්‍යයෝයි, මේ දර්‍ශනයම සත්‍යය මේ දර්‍ශනයම සත්‍යය යනුවෙන් මෙසේ පෞද්ගලිකව ගන්නාලද බොහෝ සත්‍යයෝ යන අරුත්ය. නුණ්ණානි යනු ගෙනහැර පෑවාවූයි, පනුණ්ණානි යනු මනාව ගෙනහැර පෑවාවූයි, වන්තානි අත්හරනා ලද්දාවූයි, මුත්තානි යනු සිඳින ලද බැඳීම් ඇතිකළාවූයි, පහීනානි යනු අත්හරනා ලද්දාවූයි, පථිනිස්සට්ඨානි යනු යම් සේ නැවත සිත නොනංවත්ද එසේ අත්හරනා ලද්දාවූයි, මේ සියල්ලම ගන්නාලද ගැනීම් අත්හළ බවට අපරනාමයෝයි.
සමවයසට්ඨෙසනො යනු මෙහි අවය යනු නොඅඩුවූයි, සට්ඨා යනු අත්හරනා ලදයි, මනාව නොඅඩුව අත්හළ බලාපොරොත්තු ඇත්තේ යනු අරුත්ය. රාගා චිත්තං විමුත්තං යනාදියෙන් මාර්‍ගයේ කෘත්‍ය නිෂ්පත්තිය කියන ලදි. රාගො මෙ පහීනො යනාදියෙන් ප්‍රත්‍යවෙක්ෂණයේ ඵලය කියන ලදි. සෙස්ස සියලු තන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.