කායගතාසති වර්ගය
චෙතසාඵුටො යන මෙහි අපොඵරණ හා දිබ්බචක්‍ඛුඵරණ යන දෙයාකාර පැතිරවීමයි. එහි අපොකසිණයට සමවැදී ජලයෙන් පැතිරවීම ආපොඵරණ නමි. මෙසේ පැතිරවූ මහසමුදුරෙහි සියලුම සමුදුරට යන කුඩා නදීහු ඇතුළත් වූවෝම වෙත්. ආලෝකය වඩා දිවැසින් සියලු සාගරය දැකීම දිබ්බචක්‍ඛුඵරණ නමි. මෙසේ පැතිරවූ කල්හිද මහ සමුදුරෙහි සියලුම සමුදුරට යන කුඩානදීහු ඇතුළත් වූවෝම වෙති. අන්තොගධා තස්ස යනු ඒ භික්‍ෂුවගේ භාවනාවට ඇතුළත් වූවෝම වෙත්. විජ්ජාභාගියා යන මෙහි එක්ව යෙදීම් වශයෙන් විද්‍යාව ඇසුරු කෙරේනුයි විජ්ජභාගියා නමි. එහි විපස්සනා ඤාණය මනොමයිද්ධි ඤාණය හා ඡඅභිඤ්ඤා යන විද්‍යා අටයි. මුල් අර්‍ත්‍ථයෙන් ඒවායින් (ඒ විද්‍යාවන්ගෙන්) යුක්තවූ ධර්‍මයෝද විච්චාභාගිය නම් වෙත්. පසු අර්‍ත්‍ථයෙන් ඒවා අතුරෙන් යම්කිසි එක් විද්‍යාවක් විද්‍යාවයි. සෙස්ස විජ්ජාභාගියයි මෙසේ විදයාවද විද්‍යාසම්ප්‍රයුක්ත ධර්‍මද විජ්ජාභාගියෝමයි දතයුතුය.
මභතා සංවෙගාය යනු මහත් සංවේගය සඳහාය. මත්තෙහි පදදෙකෙහිද මේ ක්‍රමයමයි. මෙහිද මහාසංවේගය නම් විදර්‍ශනාවයි. මහා අර්‍ත්‍ථය නම් සතර මාර්‍ගයයි. මහායොගක්‍ඛෙම නම් සාමඤ්ඤඵල සතරයි. නැතහොත් මහාසංවේගය යනු විදර්‍ශනාව සමඟවූ මාර්‍ගයයි. මහා අර්‍ත්‍ථය නම් සාමඤඤ්ඵල සතරයි. මහායොගක්‍ඛෙම නම් නිවනයි. සතිසම්පජඤ්ඤාය යනු ස්මෘතියද ඥානයද සඳහායි. ඤාණදස්සනපටිලාභාය යනු දිබ්බචක්‍ඛු ඤාණය සඳහායි. දිට්ඨධම්මසුඛවිහාරාය යනු මේ ප්‍රත්‍යක්‍ෂවූ ආත්මභාවයෙහි සුවසේ විසීම සඳහායි. විජ්ජාවිමුත්තිඵලසච්ජිකිරියාය යනු විදයාවිමුක්තීන්ගේ ඵලය ප්‍රත්‍යවේක්‍ෂා කිරීම සඳහායි. මෙහිද විජ්ජා යනු මාර්‍ග ප්‍රඥාවයි. විමුත්ති යනු ඒ සමඟ වූ සෙසු ධර්‍මයෝයි. ඔවුන්ගේ ඵලය යනු අරහත්ඵලයයි. එය ප්‍රත්‍යක්‍ෂ කිරීම සඳහා යන අරුත්ය.
කායොපි පස්සම්හති යනු නාමකායද කරජකාය (මවුපියන් නිසා හටගත් ශරීරය) ද සංසිඳෙයි, සංසිඳුණු දාහය ඇත්තේ වෙයි. චිතක්කවිචාරාපි යනු මේ ධර්‍මයෝ ද්විතීයධ්‍යානයෙන් සංසිදෙත් නමි. මෙහි වනාහි ඕළාරික (රළු) සංසිඳීම සඳහා කියනලදී. කෙවලා යනු සියල්ලෝ, ඉතිරි නැතියන අරුත්ය. විජ්ජාභාගියා යනු විද්‍යාකොටඨාශයන්ට අයත්වූවෝයි. ඔවුහු යට බෙදා දක්වන ලද්දාහුමය.
අවිඡ්ඡා පහීයති යනු ස්ථාන අටක සංසාරමුලකවූ දැඩි අඳුරුබව ඇතිකරන්නාවූ මහා කලුවරක්වූ නොදැනීමක් දුරුවේය යනුයි. විජ්ජා උප්පජ්ජති යනු අරහත් මාර්‍ග විද්‍යාව උපදියි. අස්මිමානො පහීයති යනු මම වෙමැයි ගන්නා නවවිධවූ මානය දුරුවෙයි. අනුසයා යනු අනුසය සතයි. සංයොජනා යනු සංයොජන දහයයි.
පඤ්ඤාපභෙදාය යනු ප්‍රඥාවගේ ප්‍රභේදයන්ට පැමිණීම සඳහායි. අනුපාදා පරිනිබ්බානාය යනු ප්‍රත්‍යරහිත පරිනිර්‍වාණය පසක්කරනු සඳහායි.
අනෙකධාතුපටිවෙධො හොති යනු අටළොස් ධාතූන්ගේ ලක්‍ෂණාවබෝධය වෙයි. නානාධාතුපටිවෙධො හොති යනු ඒ අටළොස් ධාතූන්ගේම විවිධත්වයෙන් ලක්‍ෂණ පටිවෙධය වෙයි. අනෙකධාතුපටිසම්හිදා හොති යන මෙයින් ධාතුප්‍රභේද ඥානය කියනලදී. ධාතුප්‍රභේදඥානයනම් මෙම ධාතුවේ උත්සන්න බව නිසා මේ නම වේයයි දැනගන්නා ප්‍රඥාවයි. මේ ධාතුප්‍රභදඥානය සියලු ශ්‍රාවකයන්ටම නොවෙයි. බුදුවරුන්ටම ඉතිරියක්නැතිවම වෙයි. එය සම්බුදුන්වහන්සේ විසින් සර්‍වප්‍රකාරයෙන් නොකියන ලදී. කුමක් හෙයින්ද යත්? එය කීකල්හි අර්‍ත්‍ථයක් නැති බැවිනි.
පඤ්ඤාපටිලාභාය යන ආදී සොළොස් පදයේ පටිසම්හිදා මග්ගයේදී’ ‘සත්පුරුසයන් ඇසුරු කිරීම, සද්ධාර්‍මශවණය, යොනිසොමනසිකාරය, ධම්මානධම්මපටිපත්තිය යන මේ ධර්‍මසතර මහණෙනි, වඩනලද්දේ වැඩිදියුණු කරනලද්දේ ප්‍රඥා ප්‍රතිලාභය සඳහා පවතියි. -පෙ- තියුණු වැටහීම සඳහා පවතී’යයි මෙසේ මාතෘකා තබා විස්තර කරනලද්දේමය. මෙයද කියනලදී:
‘ප්‍රඥා ප්‍රතිලාභය සඳහා පවතී යනු කවර නම් ප්‍රඥා ප්‍රතිලායක්ද යත්? සතර මාර්‍ග ඥානයන්ගේ, සතර ඵලඥානයන්ගේ, සතර පටිසම්හිදා ඥානයන්ගේ, සවැදැරුම් අභිඥාඥානයන්ගේ තෙසැත්තෑ ඥානයන්ගේ සත්සැත්තෑඥානයන්ගේ ලාභය, ප්‍රතිලාභය, පැමිණීම, සමාපත්තිය, ස්පර්‍ශකිරීම, පසක් කිරීම, එළැඹීම, ප්‍රඥාප්‍රතිලාභය සඳහා පවතීයන මේ ප්‍රඥා ප්‍රතිලාභයයි.
‘ප්‍රඥාවගේ වැඩීම සඳහා පවතින් යන්නෙන් කවරනම් ප්‍රඥාවැඩීමක්ද යත්? ශෛක්‍ෂයන් සත්දෙනාගේද කල්‍යාණ පෘථග්ජනයාගේද ප්‍රඥාව වැඩෙයි. රහතන්වහන්සේගේ වැඩුණු ප්‍රඥාවේ වැඩීම වෙයි. ප්‍රඥාවර්‍ධනය සඳහා පවතී යන්නෙහි මේ ප්‍රඥා වැඩීමයි.
‘ප්‍රඥාවේ විපුලත්වය සඳහා පවතිත්’ යැයිකවර ප්‍රඥා විපුලත්වයක්දයත්? ශෛක්‍ෂයන් සත්දෙනාගේද පෘථග්ජන කල්‍යාණයාගේද ප්‍රඥාව විපුලත්වයට යයි. රහතන්වහන්සේගේ ප්‍රඥාව විපුලත්වයට ගියේයි. ප්‍රඥාවේ විපුලත්වය සඳහා පවතිත් යන්නෙහි මේ ප්‍රඥාවිපුලත්වයයි.
‘මහාපඤ්ඤතාය සංවත්තන්ති’ මහාප්‍රඥා ඇතිබව සඳහා පවතින් යන්නෙහි කවර මහා ප්‍රඥාවක්ද යත්? මහත් අර්ථයන් පරීක්ෂා කෙරේනුයි මහාපඤ්ඤ නමි. මහත් ධර්‍මයන් -පො- මහත් නිරුක්තීන්, මහත් ප්‍රතිභානයන් මහත් ශීලස්කන්‍ධයන් මහත් සමාධී ප්‍රඥා විමුක්ති විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයන් මහත් ස්ථානාස්ථානයන් මහාවිහාරසම්පත්තීන් මහත් ආර්‍ය්‍යසත්‍යයන් මහත් සතිපට්ඨානයන් සම්‍යක් ප්‍රධානයන් සාද්ධිපාදයන් මහත් ඉන්‍ද්‍රියයන් මහත් බලයන් මහත් බෝධ්‍යංගයන්, මහත්වූ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය, මහත් ශ්‍රමණඵලයන් මහා අභිඥාවන් මහත් පරමාර්‍ත්‍ථයවූ නිර්‍වාණය පරීක්‍ෂා කොට දනීනුයි මහාපඤ්ඤ නමි. මහාප්‍රඥා ඇතිබව සඳහා පවතිත්යන්නෙහි මේ මහාප්‍රඥාවයි.