අච්ඡරාසඞ්ඝාත වර්ගය
අච්ඡරාසංඝාතමත්තම්පි යන මේ සූත්රය යන මේ සූත්රය අග්ගික්ඛන්ඛොපම සූත්ර අර්ත්ථොත්පත්තියෙහිම කියනලදී. අර්පණාවට නැඟුණු මෛත්රයට විපාක කථාවක් නැත. එහි අර්ත්ථොත්පත්තියෙහිම මේ දේශනාව ඇරඹිණැයි දතයුතුය. එහි පඨමං යනු සංඛ්යානුපූර්වතාවෙන් මෙය පළමුවැනිය, පළමුව සමවදීයයි පළමු නමැයි විභංගයෙහි කියනලදී. ක්ධානං යනු ධ්යාන නම් ද්විවිධය. ආරම්මණූපනිජක්ධාන, ලක්ඛණූපනිජක්ධාන වශයෙනි. එහි ආරම්මණුපනිජක්ධානය නම් අෂ්ටසමාපත්තීහුයි. ඒවා වනාහි පඨවිකසිණාදී අරමුණුවලට නැවත නැවත ධ්යානකිරීම හේතුවෙන් ආරම්මණපනිජක්ධානයයි කියනුලැබෙයි. ලක්ඛණුපනිජක්ඛාන යනු විදර්ශනාමාර්ගඵලයෝයි. විදර්ශනාව වනාහි අනිත්යාදි වශයෙන් සංස්කාර ලක්ෂණය නැවත නැවත සිහිපත්කිරීම (ධ්යාන වැඩීම) හේතුවෙන් ලක්ඛණුපනිජක්ධාන නම් වෙයි. විදර්ශනාවට ලක්ඛණූපනිජක්ධාන කෘත්යය මාර්ගයෙන් සිද්ධවේයයි මාර්ගය ලක්ඛණුපනිජක්ධානයයි. ඵලය සුඤ්ඤත අනිමිත්ත අප්පණිහිත ලක්ෂණ ඇති නිර්වාණයෙහිම උපනිජක්ධානය වනබැවින් ලක්ඛණුපනිජක්ධානයයි කියනුලැබේ. එහි මේ අර්ත්ථයෙහි ආරම්මණුපනිජ්ක්ධානය අදහස් කරනලදී. කො පන වාදො යෙ නං බහුලීකරොන්ති යනු යමෙක් ඒ ප්රථමධ්යානය බොහෝ සෙයින් කරත්ද නැවත නැවත කරත්ද ඔවුන් කෙරෙහි කිවයුත්තක්ම නැත. මෙහි සෙස්සයට කියනලද ක්රමයෙන්ම දතයුතුයි.
දුතියං ආදියෙහිද ගණනානුක්රමයෙන් දෙවැනිය ආදී නයින් අර්ත්ථය දතයුතුය.
මෙත්තං යනු සියලු සතුන් කෙරෙහි හිතවත්බව පැතිරීමයි. චෙතොවිමුත්තිං යනු චිත්තවිමුක්තියයි. මෙහි අර්පණාවට පැමිණි මෛත්රියම අදහස් කරනලදී. කරුණා ආදියෙහිද මෙම ක්රමයමයි. මේ සතර බ්රහමවිහාරයෝ වට්ටවෙති, වට්ටපාදයෝ වෙති. විපස්සනාපාදයෝ වෙත්. දිට්ඨධම්මසුඛවිහරණයෝ වෙත්, අභිඥාපාදයෝ හෝ නිරෝධපාදයෝ හෝ වෙත්. ලෝකෝත්තර නොවෙත්. කුමක් හෙයින්දයත්? සත්වයෝ අරමුණුකොට ඇතිබැවිනි.
කායෙ කායානුපස්සී යනු ආනාපාන පබ්බ, ඉරියාපථපබ්බ චතුසම්පජඤ්ඤපබ්බ පටිකකූලමනසිකාරපබ්බ ධාතුමනසිකාරපබ්බ, නවසීවථිකාපබ්බ අධ්යාත්ම පරිකර්ම වශයෙන් නීලකසින සතර යන මේ අටළොස් වැදැරුම් කයෙහි එම කයම ප්රඥාවෙන් බලන්නේයි. විහරති යනු ඉරියව් පවත්වයි, පවතියි මෙයින්, අටළොස් ආකාරය කායානුපස්සනා සතිපට්ඨාන භාවනාව වඩන මේ භික්ෂුවගේ ඉරියව් කියන ලද්දේ වෙයි. ආතාපි යනු ඒ කියනලද ආකාර ඇති සතිපට්ඨානභාවනාව වඩන වීර්යයෙන් වීර්ය්යවත්වූයේයි. සම්පජානො යනු කායානුපස්සනා සතිපට්ඨානයාගේ අටළොස් ආකාරවූ පරිග්රහණ ප්රඥාවෙන් මනාව දන්නේයි. සතිමා යනු කායානුපස්සනා සතිපට්ඨානයාගේ අටළොස් ආකාරවූ පරිග්රාහක සමෘතියෙන් යුක්ත වූයේයි. විනෙය්ය ලොකෙ අභිජක්ධා දොමනස්සං යනු ඒ කාය (ශරීර) සංඛ්යාතවූ ලොකයෙහි පඤචකාමගුණයන්ට අයත් තෘෂ්ණාවද ප්රතිඝසම්ප්රයුක්තවූ දොම්නසද දුරුකොට යටපත් කොට කයෙහි කය අනුව බලමින් වෙසේයයි කියනලද්දේ වෙයි. මෙපමණකින් කායානුපස්සනා වශයෙන් හුදුරූප (ස්කන්ධය) මෙනෙහි කිරීමම කියනලදැයි දතයුතුයි.
වෙදනාසු වෙදනානුපස්සී යනු සුඛාදී ප්රභේද ඇති වේදනාවන්හි ‘සුඛ වේදනාවක් විඳින්නේ සුඛවේදනාවක් විඳිමියි දනියි දුක්ඛවෙදනාවක් අදුක්ඛමසුඛවේදනාවක් - ආමිෂසහිතවූ සුඛවේදනාවක් - හෝ ආමිෂරහිතවූ සුඛවේදනාවක් හෝ - ආමිෂ සහිතවූ දුක්ඛවෙදනාවක් හෝ - ආමිෂ රහිතවූ දුක්ඛ වේදනාවක් හෝ - ආමිෂ සහිතවූ අදුක්ඛමසුඛ වූ වේදනාවක් හෝ - ආමිෂ රහිතවූ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ - විඳිමින් ආමිෂ රහිතවූ අදුක්ඛමසුඛ වේදනාවක් විඳිමියි දනියි’ මෙසේ කියනලද නවවිධවූ වේදනානුපස්සනා සතිපට්ඨානයාගේ භාවනා පරිග්රහිකයන්ගේ වීර්ය ප්රඥා සති වශයෙන් අර්ත්ථය දතයුතුයි. මෙහි ලොකො යනු ඒ වේදනාවම දතයුතුයි.
චිත්තධර්මයන්හිද මේ ක්රමයමයි. මෙහි වනාහි චිත්තෙ චිත්තානුපස්සී යනු ‘රාග සහිතවූ සිත රාගසහිත සිතයයි දැනගනී’ මෙසේ විස්තර කරනලද සොළොස් ආකාර සිතෙහි ඒ සිතම ච්ත්තපරිග්රාහිකවූ අනුපස්සනාවෙන් සිහිකරන්නේ යනු අර්ත්ථයයි. ධම්මෙසු ධම්මානුපස්සී යනු පංචනීවරණ, පංචඋපාදානක්ඛන්ධ, ආධ්යාත්මික බාහිර ආයතනසය, බොධංග සත ආර්ය්යසත්ය සතරයයි මෙසේ කොටස් වශයෙන් පස් ආකාරයයි. කියනලද ධර්මයන්හි ධර්මපරිග්රාහක අනුපස්සනාවෙන් ඒ ධර්මයන් සිහිකරන්නේයි අර්ත්ථයි. මෙහි වනාහි වේදනානුපසසනා සතිපට්ටානයෙහිද චිත්තානුපස්සනා සතිපට්ඨානයෙහිද හුදු අරූප (ස්කන්ධ)ය සිහිකිරීමම කියනලදී. ධම්මානුපස්සනා සති පට්ඨානයෙහි රූප අරූප සිහිකිරීමයි. මේ ලෞකික ලෝකොත්තර වශයෙන් මිශ්රවූම මේ සතර සතිපට්ඨාන කියනලදැයි දතයුතුය.
අනුප්පන්නානං යනු නුපන්නවුන්ගේයි. පාපකානං යනු ලාමකවූවන්ගේයි. අකුසලානං ධම්මානං යනු අදක්ෂතාවෙන් (අකුසල බවින්) හටගත් ලෝභාදී ධර්මයන්ගේයි. අනූප්පාදාය යනු නොඉපදවීම සඳහායි. ඡන්දං ජනෙති යනු කරනු කැමති කුසලය පිළිබඳ කැමැත්ත උපදවයි. වායමති යනු ප්රයෝගය උත්සාහය කරයි. විරියං ආරහති යනු කායිකවූ හා චෛතසිකවූ වීර්ය කරයි. චිත්තං පග්ගණ්හාති යනු ඒ සමඟ උපන් වීර්ය්යයෙන්ම සිත ඔසවයි. චිත්තං පග්ගණහාති යනු ඒ සමඟ උපන් වීර්ය්යයෙන්ම සිත ඔසවයි. පදහති යනු පධන් වීර්යය කරයි.
උප්පන්නානං යනු හටගත්තවුන්ගේ උපන්නවුන්ගේයි. කුසලානං ධම්මානං යනු දක්ෂතාවෙන් හටගත් අලෝභාදී ධර්මයන්ගේයි. ඨිතියා යනු සිටීම (පැවැතීම) සඳහායි. අසම්මොසාය යනු නොමුළා බව සඳහායි. භීය්යොභාවාය යනු නැවත නැවත බව සඳහාය. වෙපුල්ලාය යනු බොහෝ බව සඳහායි. භාවනාය යනු වැඩීම සඳහායි. පරිපූරියා යනු සම්පූර්ණකරනු සඳහායි. මේ වනාහි සතර සම්යක් ප්රධානවීර්යයේ එක් පදයකට අයත්වූ අර්ත්ථමතුකොට දැක්වීමයි.