අසුභසඤ්ඤාං භාවෙති යනු උද්ධමාතකආදීවූ දස අසුභාරම්මණයන්හි උපන්නාවූ ප්රථමධ්යානයෙන් යුක්ත සංඥාව අසුභසඤ්ඤායයි කියනුලැබේ. එය වඩයි. දියුණු කරයි. වර්ධනය කරයි. නූපන් අසුභ සංඥාව උපදවයි. උපන් අසුභ සංඥාව ආරක්ෂා කරයි. යනාර්ත්ථයි. දශ අශූභයන්ගේ සියලු භාවනාක්රමය විසුද්ධිමග්ගයෙහිදී විස්තර කරනලදී. මරණසඤ්ඤං භාවෙති යනු සම්මුති මරණය ක්ෂණික මරණය, සමුචේඡද මරණය යන ත්රිවිධ වූම මරණය අරමුණුකොට උපදින සංඥාව වඩයි. නූපන් සංඥාව උපදවයි. උපන් සංඥාව ආරක්ෂා කරයි යන අර්ත්ථයයි. යට කියනලද ලක්ෂණ ඇති මරණසතියම මෙහි මරණසඤ්ඤායයි කියනලදී. එය වඩයි. දියුණු කරයි. වධර්නය කරයි යන අර්ත්ථයයි. මෙහි භාවනාක්රමය විසුද්ධිමග්ගයේදී විස්තර කරන ලද්දේමය. ආහාරෙ පටික්කුලසඤ්ඤං භාවෙති යනු අසිත (කනලද) පීත (බොනලද ආදී ප්රභේද ඇති කබලිංකාර (පිඬු වශයෙන් අනුභව කරන) ආහාරයෙහි ගමනපටිකකූල ආදීවූ පටිකකූල නවය මෙනෙහි කරන්නාට උපදින සංඥාව වඩයි දියුණු කරයි වර්ධනය කරයි යන අර්ත්ථයි. එහිද භාවනාක්රමය විසුද්ධි මග්ගයෙහි විස්තර කරන ලද්දේමය. සබ්බලොකෙ අනභිරතසඤ්ඤං භාවෙති යනු සියලුම ත්රෛධාතුකවූ ලෝකයෙහි නොඇලුණු සංඥාව, උකටලී සංඥාව වඩයි යන අරුත්ය. අනිච්චසඤ්ඤං භාවෙති යනු පංච උපාදන ස්කන්ධයන්ගේ හටගැනීම විනාශය, වෙනස්වීම ඇතුළත් කොට ඇත්තාවූ පංචස්කන්ධයන්හි අනිත්යයි උපදින සංඥාව වඩයි. අනිචේච දුක්ඛසඤ්ඤං භාවති යනු අනිත්යවූ ස්කන්ධ පංචකයෙහි පෙළීම් සංඛ්යාතවූ දුක්ඛලක්ෂණය ඇතුළත්වන දුකයයි උපදින සංඥාව වඩයි. දුක්ඛේ අනත්තසඤ්ඤං භාවෙති යනු පෙළීම් අරුතින් දුක්වූ ස්කන්ධපංචකයෙහි තමන්වසඟයෙහි නොපවත්නා ආකාර සංඛ්යාතවූ අනාත්ම ලක්ෂණය ඇතුළත් කොට ඇති අනාත්මයයි උපදින සංඥාව වඩයි පභානසඤ්ඤං භාවෙති යනු පස් අාකර ප්රභානය අරමුණු කොට උපදින සංඥාව වඩයි. විරාගසඤ්ඤං භාවෙති යනු පස් ආකාරවූම විරාගය අරමුණු කොට උපදින සංඥාව වඩයි. නිරොධසඤ්ඤං භාවෙති යනු සංස්කාර නිරෝධය අරමුණු කොටගෙන උපදින සංඥාවවඩයි. නිවන අරමුණුකොට උපදින සංඥාව නමැයිද කියත්. මෙහිද සබ්බලොකෙ අනභිරතසඤ්ඤා, අනිච්චසඤ්ඤා, අනිච්චේදුක්ඛසඤ්ඤා යන මේ සංඥා තුනෙන් බලවත් විදර්ශනාව කියනලදී. යළි අනිත්යසංඥාව වඩයි යනාදීවූ දස සංඥාවන්ගෙන් විදර්ශනාසමාරම්භයම කියනලදී.
බුද්ධානුස්සතිං යනාදිය කියනලද අරුත් ඇත්තේමය.
පටමජ්ක්ධානසහගතං යනු ප්රථමධ්යානය සමඟ ගිය, පැවති, ප්රථමධ්යානයෙන් යුක්තවූ යන අරුත්ය.
සද්ධින්ද්රියං භවෙති යනු ප්රථමධ්යානය සමඟ එක්කොට ශ්රද්ධා ඉන්ද්රිය වඩයි, දියුණු කරයි. වර්ධනය කරයි. සියලු තන්හි මෙම ක්රමයයි.
කායගතාසති වර්ගය
චෙතසාඵුටො යන මෙහි අපොඵරණ හා දිබ්බචක්ඛුඵරණ යන දෙයාකාර පැතිරවීමයි. එහි අපොකසිණයට සමවැදී ජලයෙන් පැතිරවීම ආපොඵරණ නමි. මෙසේ පැතිරවූ මහසමුදුරෙහි සියලුම සමුදුරට යන කුඩා නදීහු ඇතුළත් වූවෝම වෙත්. ආලෝකය වඩා දිවැසින් සියලු සාගරය දැකීම දිබ්බචක්ඛුඵරණ නමි. මෙසේ පැතිරවූ කල්හිද මහ සමුදුරෙහි සියලුම සමුදුරට යන කුඩානදීහු ඇතුළත් වූවෝම වෙති. අන්තොගධා තස්ස යනු ඒ භික්ෂුවගේ භාවනාවට ඇතුළත් වූවෝම වෙත්. විජ්ජාභාගියා යන මෙහි එක්ව යෙදීම් වශයෙන් විද්යාව ඇසුරු කෙරේනුයි විජ්ජභාගියා නමි. එහි විපස්සනා ඤාණය මනොමයිද්ධි ඤාණය හා ඡඅභිඤ්ඤා යන විද්යා අටයි. මුල් අර්ත්ථයෙන් ඒවායින් (ඒ විද්යාවන්ගෙන්) යුක්තවූ ධර්මයෝද විච්චාභාගිය නම් වෙත්. පසු අර්ත්ථයෙන් ඒවා අතුරෙන් යම්කිසි එක් විද්යාවක් විද්යාවයි. සෙස්ස විජ්ජාභාගියයි මෙසේ විදයාවද විද්යාසම්ප්රයුක්ත ධර්මද විජ්ජාභාගියෝමයි දතයුතුය.
මභතා සංවෙගාය යනු මහත් සංවේගය සඳහාය. මත්තෙහි පදදෙකෙහිද මේ ක්රමයමයි. මෙහිද මහාසංවේගය නම් විදර්ශනාවයි. මහා අර්ත්ථය නම් සතර මාර්ගයයි. මහායොගක්ඛෙම නම් සාමඤ්ඤඵල සතරයි. නැතහොත් මහාසංවේගය යනු විදර්ශනාව සමඟවූ මාර්ගයයි. මහා අර්ත්ථය නම් සාමඤඤ්ඵල සතරයි. මහායොගක්ඛෙම නම් නිවනයි. සතිසම්පජඤ්ඤාය යනු ස්මෘතියද ඥානයද සඳහායි. ඤාණදස්සනපටිලාභාය යනු දිබ්බචක්ඛු ඤාණය සඳහායි. දිට්ඨධම්මසුඛවිහාරාය යනු මේ ප්රත්යක්ෂවූ ආත්මභාවයෙහි සුවසේ විසීම සඳහායි. විජ්ජාවිමුත්තිඵලසච්ජිකිරියාය යනු විදයාවිමුක්තීන්ගේ ඵලය ප්රත්යවේක්ෂා කිරීම සඳහායි. මෙහිද විජ්ජා යනු මාර්ග ප්රඥාවයි. විමුත්ති යනු ඒ සමඟ වූ සෙසු ධර්මයෝයි. ඔවුන්ගේ ඵලය යනු අරහත්ඵලයයි. එය ප්රත්යක්ෂ කිරීම සඳහා යන අරුත්ය.
කායොපි පස්සම්හති යනු නාමකායද කරජකාය (මවුපියන් නිසා හටගත් ශරීරය) ද සංසිඳෙයි, සංසිඳුණු දාහය ඇත්තේ වෙයි. චිතක්කවිචාරාපි යනු මේ ධර්මයෝ ද්විතීයධ්යානයෙන් සංසිදෙත් නමි. මෙහි වනාහි ඕළාරික (රළු) සංසිඳීම සඳහා කියනලදී. කෙවලා යනු සියල්ලෝ, ඉතිරි නැතියන අරුත්ය. විජ්ජාභාගියා යනු විද්යාකොටඨාශයන්ට අයත්වූවෝයි. ඔවුහු යට බෙදා දක්වන ලද්දාහුමය.