ජම්බුදීපපෙය්‍යාලය
සිවුවෙනි වර්ගයෙහි පළමුසූත්‍රයෙහි ජම්බුදීපෙ යනු දඹගසින් පැනුණු ප්‍රකටවුණු දිවයිනයි, ජම්බුදීපයයි. මේ දිවයින හඟවන්නාවූ යොදුන් සියයක් උස්වූ, පණස් යොදුන් ශාඛා ඇති, යොදුන් පසළොසක් වටවූ කඳ ඇති හිමවතෙහි හටගත් කල්පයක් පවත්නා මහාජම්බුනම්වූ ගසෙක් ඇත. ඒ ගස නිසා මේ දිවයින ජම්බුදීපයයි කියනු ලැබේ. යම් සේ මේ දිවයිනෙහි දඹගස කල්පයක් පවතින්නේද එසේ අපරගොයානයෙහි කඳම්බ (කොළොම්) ගසඳ උතුරුකුරු දිවයිනෙහි කප්රුකද පූර්‍ව විදෙහයෙහි මහරි ගසද, අසුරයන්ගේ චිත්තපාටලී ගසද සුපර්‍ණයන්ගේ ඉඹුල් ගසද දෙවියන්ගේ පරසතු ගසද යන මේවා කල්පයක් පවතින්නේමය.
‘පළොල්, හිඹුල්, දඹ, දෙවියන්ගේ පරසතු, කොළොම් හා කප්රුකද සත්වෙනිවූ මහරි ගසද වේ.’
ආරාමරාමණෙය්‍යකං යනු වෙලුවන ජීවකම්බවන ජේතවන පුබ්බාරාම වැනිවූ මල්වතු පලතුරු වතුවල රමණීයබවයි. මේ දඹදිවෙහි එය අල්ප මාත්‍රය, මඳය බොහෝ නොවේයයි අර්‍ත්‍ථයි. සෙසු පදයන්හිද මේ ක්‍රමයමැයි. මෙහි වනාහි වනරාමණෙය්‍යකං යනු නාවන සල්වන සපුවන ආදියට සමානවූ වඞකපර්‍වත හිමාලයපර්‍වත ප්‍රදේශදියෙහි ආරණ්‍යවන දතයුතුයි. භූමිරාමණෙය්‍යකං යනු දෙව්රම් පොකුණ හා ගග්ගරා පොකුණ වැනිවූ වට සතරැස් දිග අැද ආදී හැඩය ඇති පොකුණුවලට පිවිසෙන තැන දතයුතුය. උක්කුලවිකුලං යනු උස්වූ ඉවුරු ඇත්තාවූ හා පහත්වූ ඉවුරු ඇතියි. එහි උස්වූ ඉවුර උඩට නතුවූ තැනයි පහත්වූ ඉවුර පහතට නැමුණු තැනයි. නදීවිදුග්ගං යනු ගංගාවන්හි බිඳුණු තැනයි. එය යාමට අපහසු බැවින් නදීවිදුග්ගයයි කියනුලැබේ. ඛාණුකණ්ටකාධානං යනු එහි උපන්නාවූද ගෙනෙනු ලබන්නාවූද කණු කටුආදිය පිහිටි තැනයි. පබ්බතවිසමං යන පර්‍වත විෂමස්ථානයයි. යෙ ඔදකා යනු යමක් දියෙහි හටගනියිද ඒවාම බොහෝ වෙයි. මෙයින් (දඹදිවින්) ස්වර්‍ණභූමිය යොදුන් සත් සියයක් පමණ වෙයි. එක් සුළඟකින් යන නැවක සත් දිනක් යයි. ඉක්බිති එක් කලෙක මෙසේ යන නැවක් සත්දිනක්ම ගඟ සුළියෙහි මසුපිටෙන්ම ගියේය. මෙසේ ජලයෙහි උපන්නවුන්ගේ බොහෝබව දතයුතුය.
යම්සේ මහවිලක එකම උපුල් පදුරක් වේද එහි කොළ සතරක්ද මැද එක් උපුල් පොහොට්ටුවක්ද වේද, එසේම සිවුදිවයින කොළසතර මෙනි. මහාමේරු පර්‍වතය මැදවූ උපුල් පොහොට්ටුව මෙනි. ජලයෙන් වටවූ අවකාශය සෙසු ජලය මෙනි. එහි මහත්බව සෘද්ධිමතුන්ට ප්‍රකටය. අහසින් යන්නාවූ ඔවුනට සතර මහා දිවයින කොළ සතර මෙන් හැඟෙයි. මැද උපුල් පොහොට්ටුව මෙන් මහාමේරු පර්‍වතයයි. සෙසු ජලය මෙන් දියෙන් වටවූ අවකාශයයි. මෙසේ මහත් ජලයෙහි උපන් බැවින් දියෙහි හටගත්තෝම බොහෝයයි දතයුත්තාහ.
දෙවැනි සූත්‍රාදියෙහි අඤ්ඤත්‍ර මනුසේසහි යනු මෙහි මිනිසුන් හැර සතර අපාය අදහස් කරනලදී.
මජ්ක්‍ධිමෙසු ජනපදෙසු යනු පෙරදිගෙහි කජංගල නම්වූ නියම්ගමයි. එයින් මෑත මහාසාලයෝයි. එයින් පසු මෙහා මැද පසල් දනවුය. පෙර දකුණු අනුදිශාවෙහි සලලවතී නම්වූ ගඟය. එයින්පසු මෙහා මැඳ පසල් දනවුය. දකුණු දිගෙහි සෙතකණ්ණික නම්වූ නියම්ගමයි. එයින් පසු මෙහාමැද පසල් දනවුය. පැසුළු දිගෙහි ථූන නම්වූ බමුණු ගමයි. එයින් පසු මෙහා මැද පසල් දනවුය. උතුරුදිගෙහි උසීරුද්ධවජ නම් වූ පර්‍වතයයි. එයින් පසු මෙහා මැද පසල්දනවුය. මෙසේ සීමාවූ ජනපදයෙහි යන අර්‍ත්‍ථයි. මේ ජනපදය වනාහි මිහිඟු බෙරයක හැඩය ඇත්තේයි. කෙළින් කිසිතැනක අසූ යොදුනක් වෙයි. කිසිතැනක සියක් යොදුනක් ඇත්තෙයි. කිසි තැනක යොදුන් දෙසීයක් ඇත්තේයි. මැදින් යොදුන් තුන් සියයක් ඇත්තේයි. කෙළවර වටින් නවසියයක් පමණ යොදුන් ඇත්තේ වෙයි. මෙපමණවූතන්හි බුදු පසේබුදුවරු මහසව්වෝ බුදුඋවටැන් කරන්නෝ, බුදුමව, බුදුපියා, සක්විති රජ යන මේ සත්වයෝ උපදිති. තවද ඇසුරු කොට ඇසුරුකොට මධ්‍යමදේශය ලැබෙයි. සියලු දඹදිවම මධ්‍යමදේශය නමි. සෙසු දිවයින් පසල් දනවුය. තම්බපණ්ණි දිවයිනෙහි (ලංකාවෙහි) අනුරාධපුරය මධ්‍යම දේශය නමි. සෙස්ස පසල් දනවුයයි මෙසේ ක්‍රමය දතයුතුයි.
පඤ්ඤාවනේතා අජළා අනෙළමුගා යනු මෙහි කම්මස්සකත පඤ්ඤා ක්‍ධානපඤ්ඤ විපස්සනා පඤ්ඤ මග්ගපඤ්ඤ ඵලපඤ්ඤා යන මේවායින් යුක්තවූවාහු ප්‍රඥාවන්තයෝ නමි. නොමුලාවූවෝ අජළා නම් වෙත්. යමෙකුන්ගේ මුවෙන් කෙළ නොගලයිද ඔවුහු අනෙළමුගා නම් වෙත්, කෙළතොළු නොවූ නිදොස් මුව ඇත්තාහුයි අර්‍ත්‍ථයි පටිබලා යනු සමර්‍ත්‍ථයෝයි. කායබලයෙන් මෙන්ම ඤාණබලයෙන්ද යුක්තවූවෝයි. අත්‍ථමඤ්ඤාතුං යනු අර්‍ත්‍ථ අනර්‍ත්‍ථ කාරණ අකාරණ දැනීමටයි. දුප්පඤ්ඤා යනු ඥානය නැති ප්‍රඥාව නැති අයයි. ජළා යනු මෝඩ මුළාවූ අයයි.
අරියෙන පඤ්ඤාචක්‍ඛුනා යනු විදර්‍ශනා සහිත මාර්‍ගයෙනුයි. අවිජ්ජාගතා යනු අවිද්‍යා අන්‍ධකාරයෙන් යුක්තවූවාහුයි.
යෙ ලභන්ති තථාගතං දස්සනාය යනු යමෙක් තථාගතයන්ගේ ගුණය දැන ථාගතයන්වහන්සේ චක්‍ඛු විඤ්ඤාණයෙන් දකීමට ලබත්.
තථාගතප්පචෙදිතං යනු තථාගතයන්වහ්නසේ විසින් දන්නාලද පවසපවසා කියනලද යනුයි. ස්වණාය යනු ශොත්‍ර විඥානයාගෙන් ඇසීමටයි.
ධාරෙන්ති යනු නොමුළාවෙත් (අමතක නොවෙත්)
ධතානං ධම්මානං අත්‍ථං උපපරික්‍ඛන්ති යනු ප්‍රගුණවු පෙළෙහි අර්‍ත්‍ථ අනර්‍ත්‍ථ විමසත්.