තෙවන වර්ගය
තෙවැනි වර්‍ගයෙහි පළමුසූත්‍රයෙහි මිච්ඡාදිට්ඨිකො යනු වැරදි දෘෂ්ටි ඇත්තේයි. විපරීතදස්සනො යනු ඒ මිත්‍ථාදෘෂ්ටියෙන්ම විපරීතවූ දැකීම් ඇත්තෙයි. සද්ධම්මා උට්ඨාපෙත්‍වා යනු දශකුශලකර්‍මපථධර්‍මයන්ගෙන් නඟාසිටුවායි. අසද්ධම්මෙ පතිට්ඨාපෙති යනු දශඅකුසල කර්‍මපථ සංඛ්‍යාතවූ අසද්ධර්‍මයෙහි පිහිටවන්නේයි. එකපුග්ගලො යන්නෙහි ෂට්ශාස්තෘන් සමඟ දෙව්දත් මෙන්ම එබඳු අන්‍යයෝද දතයුත්තාහ.
දෙවැන්නෙහි සම්මාදිට්ඨිකො යනු මනා දෘෂ්ටි ඇත්තේයි. අවිපරිතදස්සනො යනු ඒ සම්‍යක් දෘෂ්ටියෙන්ම නොවිකලවූ දැකීම් ඇත්තේයි. අසද්ධම්මා යනු දශඅකුශල කර්‍මපථයන්ගෙනුයි. සද්ධම්මෙ යනු දශකුශල කර්‍මපථ සංඛ්‍යාතවූ සද්ධර්‍මයෙහියි. එකපුග්ගලො යනු මෙහි බුදුන් නූපන් කල්හි සක්විති රජ, සර්‍වඥ බෝධිසත්‍ව තෙමේ මේ ආදීහු ලබත්, බුදුන් උපන්කල්හි බුදුරජාණන්වහන්සේද ශ්‍රාවකයෝද වෙත්.
තෙවැන්නෙහි මිච්ඡාදිට්ඨිපරමානි යනු මිත්‍ථ්‍යා දෘෂ්ටිය මොවුන්ට පරමකොට ඇත්තේනුයි මිචඡාදිට්ට පරමානි නම් වේ. ආනන්තර්ය කර්‍මපස මහා සාවද්‍ය නම් වෙයි. ඔවුනතුරෙනුදු මිච්ඡාදිට්ටියම අතිශයින් සාවදයය යන අදහසයි. කුමක් හෙයින්ද යත් ඔවුනට සීමාවක් ඇත. ආනන්තර්ය කර්‍ම සතර නිරයෙහි උපදවතැයි කියන ලදී. සංඝභේද කර්‍මයද නිරයෙහි කල්පයක් සිටින්නේම වෙයි. මෙසේ ඔවුනට සීමාවක් ඇත. කෙළවරක් පෙනෙයි. නියත මිත්‍ථ්‍යාදෘෂ්ටියට පරිච්ඡේයක් නැත. එය සංසාරවෘත්තයේ මුලය. එයින් යුක්තවූවහුට භවයෙන් නැඟීසිටීමක් නැත. යමෙක් ඔහුට කන්දිය යුතුයයි හඟිත්ද වැරදි මගට යොමුකරවයි. එයින්ද යුක්තවූවහුට ස්වර්‍ගයද නැත. මාර්‍ගයද නැත. කල්ප විනාශයෙහිදී මහජනයා බඹලොව උපන්කල්හි නියත මිත්‍ථ්‍යාදෘෂ්ටිකයා එහි නොඉපිද පිටිසක්වළ උපදියි. කිම පිටිසක්වළ නොදැවෙයිද? දැවෙයි. එය දැවෙන කල්හිද මෙතෙම අහසෙහි එක් අවකාශයක පැසේමයයි කියත්.
සිවුවැන්නෙහි මක්‍ඛලී යනු මා ඛලී යන වචනය ඇසුරුකොට ලබන ලද නම් ඇති තීර්ථංකර තෙමේයි. නදීමුඛෙ යනු නදීන් දෙකක් එකතුවන තැනයි. මෙය දේශනාමාත්‍රයක්මය. කදුරැලි දෙකක දෙදියකද එක්වන තැනයි. මුහුදේ කලපුවේද මුහුදේ නදියකදැයි යන මේවායේද යම් කිසිවක එක්වූ තැනකි. වෙනත් එබඳුවූද දියය. ඛිපං යනු කෙමිනයි. ඔඩ්ඩෙය්‍ය අටවන්නේයි. මිනිස්සු බටවලින් හෝ උක්වලින් හෝ උණවලින් හෝ පෙඟූ ඉරටුවලින් හෝ කළ එකක් දෙකක් හෝ තුනක් කළ ගන්වන (තැබිය හැකි) පමණවූ කෙමියක් කොට මුවවිට යොතින් බැඳ ගං මුව දොරට ගෙන ගොස් දෙපසෙහි කණුවක කොටා යොත්වලින් එහි බඳිත්, එය සඳහා මෙය කියනලදී. එහි පිවිසි කුඩමස්සාටද ගැලවීමක් නැත. අනයාය යනු අවැඩටයි. ව්‍යසනාය යනු විනාශයටයි. මක්‍ඛලී මොඝපුරිසො යනු මේ මක්‍ඛලිගොසාල නම්වූ හිස්මිනිසායි. මනුස්සබිපං මඤ්ඤෙ ලොකෙ උප්පන්නො යනු මහජනයාගේ ස්වර්‍ගමොක්‍ෂ ගමන් මාර්‍ගයෙහි එහි යාම වැළැක්වීම සඳහාවූ මිනිස් කෙමිනක්මෙන් ලොව උපන්නෙකියි.
පස්‍වැන්න ආදියෙහිද දුරුක්‍ඛාතෙ භික්‍ඛවෙ ධම්මවිනයෙ යනු නරකට කියනලද ධර්‍මවිනය නම් (බුදුසසුනෙන්) බාහිරවූ ශාසනයයි. එහි ශාස්තෘවරයාද අසර්‍වඥ වෙයි. ධර්‍මයද නරකට දෙසනලද්දේය. පිරිසද වැරදියට පිළිපන්නේය. යො ච සමාදපෙති යනු යම් ආචාර්‍ය්‍යවූ පුද්ගලයෙක් පිළිගන්වයිද යනුයි. යංච සමාදපෙති යනු අතවැස්සන්ට යමක් පිළිගන්වයිද යනුයි. යොච සමාදපිතො තථත්තාය පටිපජ්ජති යනු යම් අතවැස්සෙක් ආචාර්‍ය්‍යයන් විසින් පිළිගන්වනලද්දේ ඔහුගේ වචනය (ඉටු) කරන්නේ එ(එබඳු) බවට පිළිපදියි. බහුං අපුඤ්ඤං පසවන්ති යනු පිළිගන්වන්නාද පරපණ නැසීම් ආදියෙහි පාදසියයක් පිළිගන්වනනේ ඒ සියල්ලන්ටම අකුශලයෙන් සමානවූම අකුශලයක් පමුණුවයි. එහෙයින් ඒ සියල්ලෝ බොහෝ පව් උපදවතියි කියනලදී.