මිච්ඡාදිට්ඨියා භික්‍ඛවෙ සමන්නාගතා සත්තා යනු මෙහි ඇතැමි මිත්‍යාදෘෂ්ටියක් ස්වර්‍ගය වළහන්නේද මාර්‍ගය වළහන්නේද වෙයි. ඇතැම් දෘෂ්ටියක් මාර්‍ගය වළහන්නේම ස්වර්‍ගය වළහන්නේ නොවෙයි. ඇතැම් මිථ්‍යාදෘෂ්ටියක් ස්වර්‍ගය නොවළහන්නේ ද මාර්‍ගය නොවළහන්නේද වෙයි. එයි අහෙතුක දෘෂ්ටිය, අකිරිය දෘෂ්ටිය, නාස්තිකදෘෂ්ටිය, යන මේ තුන් ආකාර දෘෂ්ටිය ස්වර්‍ගය වළහන්නේද මාර්‍ගය වළහන්නේද වෙයි. දශවස්තුක වූ අන්තග්‍රාහී මිත්‍ථ්‍යා දෘෂ්ටිය මාර්‍ගය වළහන්නේම වෙයි. ස්වර්‍ගය නොවළහන්නේද මාර්‍ගය නොවළහන්නේද වෙයි. මේ නියමය ප්‍රතික්‍ෂෙප කොට මේ සූත්‍රයෙහි මිච්ඡාදිට්ඨියා භික්‍ඛවෙ සමන්නාගතා’ යන වචනයෙන් යටත්පිරිසෙයින් විංශතිවස්තුක මිත්‍ථ්‍යාදෘෂටියගෙන ස්වර්‍ගය එළවීමට සමත් මිත්‍ථ්‍යාදෘෂ්ටියක් නම් නැත. ඒකාන්තයෙන් නිරයෙහිම ගිල්වන්නේයයි කියනලදී. යම්සේ වනාහි දියෙහි හෙලන ලද මුං මෑ ප්‍රමාණවූද ගල් කැබැලිත්ත පාවන්නේ නම් නොවේ. ඒකාන්තයෙන් යටටම පිවිසෙයි. මෙසේම යටත් පිරිසෙයින් සත්කාය දෘෂ්ටියද ස්වර්‍ගයට එළඹවීමට සමත් වන්නේ නම් නැත. ඒකාන්තයෙන් අපායයන්හිම ගිල්වන්නේයයි කියනලදී.
සම්මාදිටඨියා සමන්නාගතා යනු මෙහි කම්මාසස්කත සම්මාදිට්ඨි, ක්‍ධානසම්මාදිට්ඨි, විපස්සනා සම්මාදිට්ඨි, මග්ගසම්මාදිට්ඨි, ඵලසම්මාදිට්ඨි, ක්‍ධානසම්මාදිට්ඨි, විපස්සනා සම්මාදිට්ඨි, මග්ගසම්මාදිට්ඨි, ඵලසම්මාදිට්ඨි යනුවෙන් සම්‍යක්දෘෂ්ටිය පස්ආකාරය. එහි කම්මස්සකත සම්මාදිට්ඨිය සම්පත්ති භවය අදියි (කැඳවයි.) ක්‍ධානසම්මාදිට්ඨිය රූපාරූප භවයන්හි ප්‍රතිසන්‍ධිය දෙයි. මග්ගසම්මාදිට්ඨිය සංසාරවෘතය විනාශකරයි. ඵලසම්මාදිට්ඨිය භවය මැඬලයි. විපස්සනා සම්මාදිට්ඨිය කුමක් කෙරේද? එයද ප්‍රතිසන්‍ධිය නොඅදියි. ත්‍රපිටක චූලාභය තෙරුන්වහන්සේ ‘ඇවැත්නි, ඉදින් විපස්සනා සම්මාදිට්ටිය වඩනා ලද්දේ ඉහාත්මයෙහිම රහත්බවට පැමිණවීමට හැකිය යන මෙය මැනවි. ඉදින් නොහැකි වුවහොත් භවසතෙක්හි දෙතැ’යි කීහ. මෙසේ මේ ලෞකික ලෝකෝත්තර සම්‍යක්දෘෂ්ටිය කියනලදී. මෙහි වනාහි ලෞකිකවූ භවය ඇති කරන සම්‍යක් දෘෂ්ටියම දත යුතුය.
යං චෙව කායකම්මං යථාදිට්ඨ සමතතං සමාදින්නං යන මෙහි යථාදිට්ඨ යනු යම් මේ දෘෂ්ටියක් වේද ඊට අනුරූපවයි. සමත්තං යනු සම්පූර්ණවූයි. සමාදින්නං යනු ගන්නාලද යනුයි. ඒ මෙය දෘෂ්ටියට අනුරූපව සිටි කායකර්‍මයය. දෘෂ්ටිය සමඟ උපන් කාකර්‍මයය, දෘෂ්ටියට අනුලොම්වූ කාය කර්‍මයයයි ත්‍රිවිධ වෙයි. එහි පරපණ නසන, නොදුන් දෙය ගන්නා, මිත්‍ථ්‍යාචාරයෙහි යෙදෙන ‘එය හේතුකොටගෙන පාපයක් නැත. පාපයක පැමිණීමක් නැතැයි මෙබදු ලබ්ධි ඇත්තහුගේ ප්‍රාණාතිපාත අදින්නාදාන මිත්‍ථ්‍යාචාර සංඛ්‍යාතවූ යම් කායකර්‍මයක් වේද එය දෘෂ්ටියට අනුරූපව සිටි කායකර්‍මය නමි. පරපණ නසන, නොදුන්දෙය ගන්නා, මිථ්‍යාචාරයෙහි යෙදෙන තැනැත්තාගේ මේ හේතුකොටගෙන පවක් නැත. පවේ පැමිණිමක් නැතැයි යන මේ දෘෂ්ටිය මේ දැක්ම සමඟ හටගත් කාය කර්‍මය දිට්ඨිසහජාත කාය කර්‍මය නමි. එයින් පිරුණු, සමාදන්වූ, ගන්නාලද සිතෙහි මුල්බැසගත් යමක්වේද එය දිට්ඨානුලෝමිකකායකර්‍මය නමි. වාක් කර්‍මාදියෙහිද මේ ක්‍රමයමැයි. යම් සේ වනාහි මෙහි පරපණ නසන, නොදුන් දෙය ගන්නා මිත්‍ථ්‍යාචාරයෙහි යෙදෙන්නහුට එය හේතුකොටගෙන පාපයක් නැත යන යෝජනාව කරනලද්දේද එසේ වාක්කර්‍මමනොකර්‍මයන්හි බොරුකියන, කේලාම් කියන රළු වචන කියන හිස්වචන දොඩන දැඩිලෝභය ඇති කෝපවූ සිත් ඇති මිත්‍ථ්‍යාදෘෂ්ටිකයාටද එය හේතුකොටගෙන පවක් නැත යන යෝජනාව කළ යුතුය.
යාච චෙතනා ආදියෙහි දෘෂ්ටිය සමඟ එකට උපන් චෙතනාවම චෙතනා නමි. දෘෂ්ටිය සමඟ එක්ව උපන් ප්‍රර්‍ත්‍ථනාවම නාවම පත්‍ථනා නමි. චේතනා ප්‍රර්‍ත්‍ථනා වශයෙන් සිත පිහිටුවීම පණිධි නමි. මේ චේතනාදීන් සමඟ යුක්තවූ ස්පර්‍ශාදිය සංඛාර නමි. දිට්ඨිහි භික්‍ඛවෙ පාපිකා යනු යම්හෙයකින් ඒ පුද්ගලයාගේ දෘෂ්ටිය පවිටු ලාමක වේද යනුයි. නික්‍ඛිතතං යනු රොපණය කරනලද්දේයි. උපාදියති යනු ගනියි. කටුකත්තාය යන මෙය මුලින් කියනලද්දේටම පර්‍ය්‍යාය වචනයි.
පෙර මේ අඹ පැහැයෙන් සුවඳින් හා රසින් යුක්තවිය. ඒ පූජාවම ලබමින් කෙසේ නම් අඹ අමිහිරි පලවූයේද?
දධිවාහනය, ඔබේ අඹගස කොසඹ ගස් පිරිවර කොට ඇත්තේය. මුලෙන් මුල එකට ගැටී අතැ. අතු අතු සමඟ එක්ව ඇත්තේය. ඒ අමිහිරි දෙය සමඟ එක්වීමෙන් අඹගස අමිහිරි පල ඇත්තේයි
යනුවෙන් ආ තැන්හි මෙන් මෙහිද කටුකං යනු තිත්තරස ඇත්තේයි දතයුතුය. අසාතත්තාය යනු අමිහිරිබවටය.
මේ බීජෝපම සූත්‍රයෙහි දිට්ඨියනු නියත මිත්‍ථ්‍යාදෘෂ්ටිය ගන්නාලදැයි පොරාණක ස්ථවිරවරු කීහ. එය ප්‍රතික්‍ෂෙප කොට සියලු දෙසැටක් දෘෂ්ටිගතයන් ගන්නාලදැයි කියනලදී. අනතුරු සූත්‍රයෙහි පරපණ නැසීමෙන් වෙන්වූ ‘නුදුන්දෙය ගැනීමෙන් වෙන්වූ’ මිත්‍ථ්‍යාචාරයෙන් වෙන්වූ පුද්ගලයාට එය හේතකොටගෙන පිණක් නැතැයි ආදී ක්‍රමයෙන් දෘෂ්ටියට අනුරූපව සිටි කායකර්‍මාදීන් යොදා දතයුතුයි. මෙහි වනාහි සම්‍යක් දෘෂ්ටිය සමඟ උපන් සිත පිහිටුවීමට ප්‍රර්‍ත්‍ථනාවයයි දතයුතුය. මෙහි ලෞකික ලෝකෝත්තරවූ සම්‍යක්දෘෂ්ටියම කියනලදී. සෙස්ස සියලු තන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.
දෙවන වර්‍ගයයි.
තෙවන වර්ගය
තෙවැනි වර්‍ගයෙහි පළමුසූත්‍රයෙහි මිච්ඡාදිට්ඨිකො යනු වැරදි දෘෂ්ටි ඇත්තේයි. විපරීතදස්සනො යනු ඒ මිත්‍ථාදෘෂ්ටියෙන්ම විපරීතවූ දැකීම් ඇත්තෙයි. සද්ධම්මා උට්ඨාපෙත්‍වා යනු දශකුශලකර්‍මපථධර්‍මයන්ගෙන් නඟාසිටුවායි. අසද්ධම්මෙ පතිට්ඨාපෙති යනු දශඅකුසල කර්‍මපථ සංඛ්‍යාතවූ අසද්ධර්‍මයෙහි පිහිටවන්නේයි. එකපුග්ගලො යන්නෙහි ෂට්ශාස්තෘන් සමඟ දෙව්දත් මෙන්ම එබඳු අන්‍යයෝද දතයුත්තාහ.
දෙවැන්නෙහි සම්මාදිට්ඨිකො යනු මනා දෘෂ්ටි ඇත්තේයි. අවිපරිතදස්සනො යනු ඒ සම්‍යක් දෘෂ්ටියෙන්ම නොවිකලවූ දැකීම් ඇත්තේයි. අසද්ධම්මා යනු දශඅකුශල කර්‍මපථයන්ගෙනුයි. සද්ධම්මෙ යනු දශකුශල කර්‍මපථ සංඛ්‍යාතවූ සද්ධර්‍මයෙහියි. එකපුග්ගලො යනු මෙහි බුදුන් නූපන් කල්හි සක්විති රජ, සර්‍වඥ බෝධිසත්‍ව තෙමේ මේ ආදීහු ලබත්, බුදුන් උපන්කල්හි බුදුරජාණන්වහන්සේද ශ්‍රාවකයෝද වෙත්.