අනාථපිණ්ඩික
දෙවැන්නෙහි දායකානං යන්නෙන් දීමෙහි ඇලුනවුන් අතුරින් සුදත්තගෘහපති අනාථපිණ්ඩික තෙමේ අග්රයයි දැක්වෙයි. හෙතෙම වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නේ ශාස්තෘන්වහන්සේ ධර්මකථාව අසමින් එක් උපාසකයකු දෙන්නවුන් අතුරින් අගතනතුරෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවේය. හෙතෙම කල්ප ලක්ෂයක් දෙවිමිනිසුන් අතර සැරිසරා මේ බුද්ධොත්පාදයෙහි සැවතෙහි සුමන සිටුගේ ගෙහි උපන්නේය. ඔහුට සුදත්තයයි නම් කළාහුය.
හෙතෙම පසුකල්හි ගෘහවාසයෙහි පිහිටියේ දන්දෙන දානපතියෙක්වී ඒ ගුණයෙන්ම පතළාවූ නම් ඇත්තේ අනාථපිණ්ඩික නම් වූයේය. හෙතෙම ගැල් පන්සියයකින් බඩු රැගෙන රජගහනුවර තමන්ගේ හිතවත් යහළු සිටු කෙනකුගේ ගෙදර ගොස් එහිදී භාග්යවත්වූ බුදුරජාණන්වහන්සේ උපන්බව අසා බෙහෙවින් උදෑසන කාලයෙහි දේවතානුභාවයෙන් විවරවූ දොරටුවෙන් ශාස්තෘන්වහන්සේ වෙත එළඹ දහම් අසා සෝවාන් පෙලෙහි පිහිටා දෙවෙනි දිනයෙහි බුදුපාමොක් සඟනට මහදන්දී සැවතට පැමිණීම සඳහා ශාස්තෘන්වහන්සේගෙන් පිළිණගෙන අතරමග පන්සාළිස් යොදුන් මගෙහි ලක්ෂය ලක්ෂය බැගින් දී යොදුනෙන් යොදුනවූ විහාරයන් කරවා ජේතවනය කෝටිගණන් ඇතිරීමෙන් අටළොස් කෙළකින් මිලදී ගෙන අටළොස් කෙළකින් විහාරය කරවා නිමවූ කල්හි සිවුපිරිසට පෙරබතෙහි හා පසුබතෙහි කැමති පරිදි දන් දෙමින් අටළොස් කෙළකින් විහාර පූජාව නිම කරවූයේය. විහාරපූජාව නවමසකින් නිමාවට ගියේය. පස් මසකිනැයි ඇතැම්හු කියත්. තෙමසෙහි වනාහි සියලු ආචාර්ය්යවරුන්ගේ විවාදයක් නැත.
මෙසේ සිවුපණස් කෙළක් ධනය විසඳ නිබඳවම ගෙහි මෙබඳු දන් පැවැත්වීය. දිනපතා සලාක බත් පන්සියයක් වෙයි. පක්ෂයකට අයත්වන බත් පන්සියයකි. සලාක කැඳදීම් පන්සියයකි. පක්ෂයකට අයත්වන කැඳදීම් පන්සියයකි. නිතිබත් පන්සියයකි. ආගන්තුක බත් පන්සියයකි. ගමිකබත් පන්සියයකි. ගිලානුපස්ථායක බත් පන්සියයකි. පන්සියයක් අසුන් නිවසෙහි නිබඳ පනවන ලද්දේම වෙයි. ඉක්බිති පසුකාලයෙහි භාග්යවතුන්වහන්සේ ජේතවනයෙහි වැඩවස සේක් උවසුවන් පිළිවෙළින් තනතුරුවල තබමින් ඔහු දායකයන් අතුරින් අගතැන්හි තැබූසේක.
චිත්තගහපති
තෙවැනනෙහි ධම්මකථිකානං යන්නෙන් ධර්මකථික උපාසකයන් අතුරින් චිත්තගෘහපති තෙමේ අග්රයයි දැක්වෙයි. හෙතෙම වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නේ පසුකලෙක දහම් අසමින් එක් උවසුවකු ධර්මකථිකයන් අතුරින් අගතන්හි තබන්නාවූ භාග්යවතුන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවේය. හෙතෙම කල්ප ලක්ෂයක් දෙව්මිනිසුන් අතර සැරිසරා කාශ්යප බුදුන් කල මුවවැද්දකුගේ නිවසෙහි උපන්නේ පසුකලෙක වනයෙහි වැඩකිරීමට හැකි කල්හි එක්දිනක් වැසිවසින විට මුවන් මැරීම සඳහා අවි රැගෙන වනයට ගොස් මුවන් සොයාබලන්නේ නොක (ඉබේ සැදුණු) පවර්ත ගුහාවක හිසපටන් පාංශුකූලය පොරවා ගල්තලයක හුන්නාවූ එක් භික්ෂුවක දැක එක් ආර්ය්යයෙක් මහණදම් කරමින් හුන්නේ වනැයි හැඟීම් උපදවා වේගයෙන් ගෙර ගොස් එක් උදුනක ඊයේ ගෙනා මස්ද එක් උදුනක බත්ද පිසවා පිඬු හැසිරෙන භික්ෂූන් දැක උන්වහන්සේලාගේ පාත්රය ගෙන පනවනලද අසුන්හි හිඳුවා භික්ෂාව පිළිගන්වා ආර්ය්යයන් වළඳවවුයයි අනිකකුට අණවා ඒ බත බඳුනක බහා පත්වලින් මුව බැද බඳුන රැගෙන යන්නේ අතරමඟ නොයෙක් ආකාර මල් නෙලා පාත්ර ගොටුවෙන් ගෙන තෙරුන් හුන්තැනට ගොස් බඳුන බහා එක්තැනක තබා ‘ස්වාමීනි මට සංග්රහ කරනු මැනවැ’යි කියා තෙරුන්ගේ පාත්රය රැගෙන බත් පුරවා තෙරුන්ගේ අතෙහි පිහිටුවා ඒ මුසුවූ මල්වලින් තෙරුන් පුදා එකත්පසෙක සිටියේ යම්සේ මේ රසවත් පිණ්ඩපාතය සමඟ මල්පූජාව සිත සතුටු කරවූයේද එසේ මා උපනුපන් තන්හි පඬුරු දහස් ගණන්ද පැමිණේවා! පස් පැහැති මල් වැසිද වසීවා’යි පැවසීය.
තෙරුන්වහන්සේ ඔහුගේ උපනිශ්රය දැක දෙතිස් ආකාර කමටහන කියා දුන්නේය. හෙතෙම දිවි ඇති තෙක් කුසල් කොට දෙව්ලොව උපන්නේය. උපන් තැන දණක් පමණවූ සීමාවෙන් දිවමල් වැස්සක් වැස්සේය. තෙමේත් අන් දේවතාවුන්ට වඩා වැඩිමනත් රූපයෙන් යුක්ත වූයේය. හෙතෙම එක් බුද්ධාන්තරයක් දෙව්මිනිසුන් අතර සැරිසරා මේ බුද්ධෝත්පාදයෙහි මගධ රට මච්ඡිකාසණ්ඩනගරයෙහි සිටුකුලයෙහි උපන්නේය. ඔහු උපන් කල්හිම සියලු නුවරෙහි දණක් පමණවූ සීමාවෙන් පස්වණක්මල් වැසි වැස්සේය. ඉක්බිති ඔහුගේ මව්පියෝ අපගේ පුතා තමන්ම තමන්ගේ නම රැගෙන ආයේසි ඔහුගේ උපන් දිනයෙහිම සියලු නුවර පස් පැහැති මලින් විසිතුරු වූයේ චිත්තකුමාරයි නම් කළාහුය.
හෙතෙම මෑතකාලයෙහි ගිහිගෙහි පිහිටියේ පියාගේ ඇවෑමෙන් එනුවරෙහි සිටු තනතුරට පැමිණියෙයි. එසමයෙහි පස්වග තෙරුන්ට අයත් වන මහානාම තෙරුන්වහන්සේ මච්ඡිකාසණ්ඩ නුවරට පැමිණියහ. චිත්තගහපති තෙමේ උන්වහන්සේගේ ඉරියව්වෙහි පැහැද පාත්රය රැගෙන ගෙට පමුණුවා පිණ්ඩපාතයෙන් ගරුසරු කොට කරනලද බත්කිස ඇති තෙරුන්වහන්සේ අම්බාටකාරාම නම්වූ උයනට පමුණුවා එහි උන්වහන්සේට විසීමට තැනක් කරවා නිබඳව තමන්ගේ ගෙහි පිණ්ඩපාතය ගෙන විසීම සඳහා පිළිණ ගත්තේය. තෙරුන්වහන්සේද ඔහුගේ හේතුසම්පත් දැක දහම්දෙසන්නාහු ආයතන සයට බෙදා දැක්වීමම දෙසූහ. චිත්තගාහපති තෙමේ පෙර භවයෙහි යටපත් කළ සංස්කාර ඇති බැවින් නොබෝ දිනකින්ම අනාගාමි ඵලයට පැමිණියේය. ඉක්බිති එක්දිනක් ඉසිදත්ත තෙරුන්වහන්සේ එහි ගොස් වාසය කරන්නාහු සිටු නිවසෙහි බත්කිස අවසන්හි පැන විසඳීමට නොහැකිවන්නාවූ ආයුෂ්මත් තෙරුන්වහන්සේ විසින් ඇරයුම් කරන ලද්දාහු උපාසක තැනගේ පැන විසඳා ඔහු විසින් පෙර ගිහියහළු බව දත්කල්හි දැන් මෙහි නොවිසිය යුතුයයි කැමති පරිද්දෙන් පිටත් වී ගියහ. යළි එක් දිනක් සිටු ගෘහපති තෙමේ සෘද්ධිප්රාතිහාර්ය්ය කිරීම පිණිස මහානාම තෙරුන්ගෙන් ඉල්ලීය. උන්වහන්සේත් ඔහුට තෙජොසමාපත්ති ප්රාතිහාර්ය්යය දක්වා දැන් මෙහි විසීම නොයුතුයයි රිසිලෙසින් පිටත්ව ගියහ.
ඉක්බිති එක් දිනක් අගසව්දෙනම භික්ෂූන්දහසක් පිරිවර කොට ඇත්තාහු අම්බාටකාරාමයට වැඩියහ. සිටුගෘහපතිතෙමේ උන්වහන්සේලාට මහත්සත්කාර පිළියෙළ කළේය. සුධම්ම තෙරුන්වහන්සේ එය නොයිවසන්නාහු සිටාණන්ට තලගුලිවාදයෙන් නින්දාකොට ඔහු විසින් පිටමං කරනලද්දාහු ශාස්තෘන්වහන්සේ සමීපයට ගොස් අවවාද ලැබ උන්වහන්සේගේ අවවාදයෙහි පිහිටියාහු චිත්තගෘහපති ක්ෂමා කරවා ඒ අම්බාටකාරාමයෙහිම වසමින් විදසුන් වඩා රහත්බවට පැමිණියහ. එකල්හි උපාසක තෙමේ, ‘මම භාග්යවතුන්වහන්සේ නොදැකම බොහෝ කලක් ගෙවීමි, භාග්යවතුන්වහන්සේ සමීපයට යන්නාහු විසින් හිස් අතින් යාම නොයුතුය’යි සිතා ගැල් පන්සියයකින් තෙල් මීපැණි ආදිය රැගෙන යමෙක් භාග්යවතුන්වහන්සේ දකිනු කැමැත්තෝද ඔවුහු මා සමඟ එත්වායි නුවරෙහි බෙර හසුරුවා මිනිසුන් දෙදෙහසක් විසින් පිරිවරන ලද්දේ භාග්යවතුන්වහන්සේ දැක්මට පිටත්විය. තිස්යොදුන් මගෙහි දෙවියෝ පඬුරු එළවූවාහුය. හෙතෙම ශාස්තෘන්වහන්සේ සමීපයට ගොස් පසඟ පිහිටුවීමෙන් ශාස්තෘන්වහන්සේට වැන්දේය. එකෙණෙහි අහසින් පස්වණක් මල්වලින් මල් වැස්සක් වැස්සේය.