සොභිතතෙරණුවෝ
පස්වැන්නෙහි පුබ්බේනිවාසං අනුස්සරන්තානං යනු පෙර විසූ කඳ පිළිවෙළ සිහිකිරීමෙහි සමතුන් අතුරෙන් සෝභිත තෙරණුවෝ අග්රයහයි දක්වනුලැබේ. හෙතෙම වනාහි පෙරවිසීම අනුපිළිවෙළින් සිහිකරමින් කල්ප පන්සියයක් අඤ්ඤීභවයෙහි අචිත්තක ප්රතිසන්ධිය අහසෙහි පියවර දක්වන්නාක් මෙන් නය (ක්රම) වශයෙන් ගත්තේය. එබැවින් පෙරවිසූ කඳ පිළිවෙළ සිහිකරන්නවුන් අතුරෙන් අග්රනම් වුයේය.
ඔහුගේ ප්රශ්නකර්මයෙහි මේ පිළිවෙළ කථාවයි. මෙතෙමේත් පියුමුතුරා බුදුන් දවස හංසවතී නුවරෙහි කුලගෙයක පිළිසිඳ ගෙන වියපත් වුයේ බුදුන්වහන්සේගේ ධර්මය අසමින් එක්භික්ෂුවක පෙරවිසීම් පිළිබඳ නුවණ ලැබූවන් අතුරින් අගතනතුරෙහි තබන බුදුන්වහන්සේ දැක පින්දහම්කොට ඒ තනතුර පැතුවේය. හෙතෙම දිවි ඇතිතෙක් පින්කම්කොට දෙව්මිනිසුන් අතුරෙහි සැරිසරන්නේ මේ බුද්ධොත්පාදයෙහි සැවැත් නුවරෙහි බමුණුකුලයක උපන්නේය. ඔහුට සෝභිතයයි නම් කළාහුය.
හෙතෙම පසුකලෙක බුදුන්වහන්සේගේ ධර්මය අසා ලබනලද සැදැහැඇත්තේ පැවිදිව විදසුන් වඩා රහත්බව ලබා පෙරවිසූ කඳපිළිවෙළ පිළිබඳ දැනුමෙහි පුරුදු කරනලද වසඟතාව ඇත්තේවිය. හෙතෙම අනුපිළිවෙළින් තමන්ගේ උපන් තැන් සිහි කරන්නේ අසංඥී භවයෙහි අචිත්තක ප්රතිසන්ධිය දක්වා පිළිසිඳ ගැනීම් දුටුවේය. එයින් අනතුරුව අතරතුර කල්ප පන්සියයක පුවත් නොදැක අවසානයෙහි චුතිය දැක මේ කිමෙක්දැයි සිහිකරන්නේ නය වශයෙන් අසංඥීභවය වන්නේයයි නිෂ්ටාවට ගියේය. ශාස්තෘන්වහන්සේ මේ කාරණය අෙර්ත්ථාත්පත්ති කොට තෙරුන් පෙරවිසූ කඳපිළිවෙළ සිහිකරන්නන් අතුරින් අගතැන්හි තැබූසේක.
උපාලි තෙරණුවෝ
සයවැන්නෙහි විනයධරානං යදිදං උපාලි යන්නෙන් විනයධාරි භික්ෂූන් අතරින් උපාලි තෙරණුවෝ අග්රයහයි දක්වනුලැබේ. තෙරුන්වහන්සේ වනාහි තථාගතයන්වහන්සේ සමීපයෙන්ම කමටහන් ගෙනවිදසුන්වඩා රහත්බවට පැමිණියහ. තථාගතයන්වහන්සේ සමීපයෙන්ම විනය පිටකය උගෙන භරුකච්ඡක වස්තුවද අජ්ජුක වස්තුවද කුමාරකාශ්යප වස්තුවද යන මේ වස්තු තුන සර්වඥතාඥානය සමඟ සසඳා ප්රකාශ කළහ. එබැවින් විනයධරයන් අතුරෙන් අග්රනම් වූහ.
ඔහුගේ ප්රශ්න කර්මයෙහි මේ පිළිවෙළ කථාවයි. පියුමුතුරා බුදුන් දවස මෙතෙමේ හංසවතියෙහි කුලගෙයක උපන්නේ එක්දිනක් බුදුන්වහන්සේගේ ධර්මකථාව අසමින් එක්භික්ෂුවක විනයධරයන් අතුරෙන් අග තනතුරෙහි තබන්නාවූ භාග්යවතුන්වහන්සේ දැක පින්දහම්කොට එම තනතුර පැතුවේය. හෙතෙම දිවි ඇතිතෙක් පින්කොට දෙව්මිනිසුන් තඅර සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි කපු (කරණවෑමි) ගෙයක පිළිසිඳගත්තේය. ඔහුට උපාලි දාරකයයි නම් තැබූහ. හෙතෙම වියපත්වූයේ ක්ෂත්රියයන් සයදෙනාගේ කරණවෑමියාවී තථාගතයන්වහන්සේ අනුපිය අඹවනයෙහි වසනකල්හි පැවිද්ද සඳහා නික්මෙන්නාවූ ඒ ක්ෂත්රියයන් සයදෙනා සමඟ නික්ම පැවිදිවූයේය. ඔහුගේ ප්රව්රජ්යා විධානය පෙළෙහි ආයේමය.
හෙතෙම පැවිදිව උපසපන් වුයේ ශාස්තෘන්වහන්සේ ලවා කමටහන් කියවා ගෙන ‘ස්වාමීනි, මට ආරණ්යවාසය අනුදැන වදාළමැනව’යි කීවේය. මහණ, ආරණ්යයෙහි වසන්නාවූ ඔබට එකම ධුතාංගයක් වැඩෙයි. ‘අප සමීපයෙහි වසන්නාවූ ඔබට වාසධුරයද ග්රන්ථධුරයද පිරෙන්නේය’යි වදාළසේක. තෙරණුවෝ ශාස්තෘවචනය පිළිගෙන විදර්ශනාවට කටයුතු කරන්නාහු නොබෝදිනකින්ම රහත්බවට පැමිණියහ. ඉක්බිති භාග්යවතුන්වහන්සේ තමන් වහන්සේම ඔහුට සියලු විනය පිටකය උගැන්වූසේක. හෙතම මෑත කාලයෙහි යට කියනලද වස්තු තුන විනිශ්චය කළේය. ශාස්තෘන්වහන්සේ එකිනෙකක් විනිශ්චය කළකල්හි සාධුකාර දී තුන්වස්තුවේම විනිශ්චයන් අෙර්ත්ථාත්පත්ති කොට තෙරණුවන් විනයධරයන් අතුරෙන් අගතැන්හි තැබූසේක.