උපාලි තෙරණුවෝ
සයවැන්නෙහි විනයධරානං යදිදං උපාලි යන්නෙන් විනයධාරි භික්ෂූන් අතරින් උපාලි තෙරණුවෝ අග්රයහයි දක්වනුලැබේ. තෙරුන්වහන්සේ වනාහි තථාගතයන්වහන්සේ සමීපයෙන්ම කමටහන් ගෙනවිදසුන්වඩා රහත්බවට පැමිණියහ. තථාගතයන්වහන්සේ සමීපයෙන්ම විනය පිටකය උගෙන භරුකච්ඡක වස්තුවද අජ්ජුක වස්තුවද කුමාරකාශ්යප වස්තුවද යන මේ වස්තු තුන සර්වඥතාඥානය සමඟ සසඳා ප්රකාශ කළහ. එබැවින් විනයධරයන් අතුරෙන් අග්රනම් වූහ.
ඔහුගේ ප්රශ්න කර්මයෙහි මේ පිළිවෙළ කථාවයි. පියුමුතුරා බුදුන් දවස මෙතෙමේ හංසවතියෙහි කුලගෙයක උපන්නේ එක්දිනක් බුදුන්වහන්සේගේ ධර්මකථාව අසමින් එක්භික්ෂුවක විනයධරයන් අතුරෙන් අග තනතුරෙහි තබන්නාවූ භාග්යවතුන්වහන්සේ දැක පින්දහම්කොට එම තනතුර පැතුවේය. හෙතෙම දිවි ඇතිතෙක් පින්කොට දෙව්මිනිසුන් තඅර සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි කපු (කරණවෑමි) ගෙයක පිළිසිඳගත්තේය. ඔහුට උපාලි දාරකයයි නම් තැබූහ. හෙතෙම වියපත්වූයේ ක්ෂත්රියයන් සයදෙනාගේ කරණවෑමියාවී තථාගතයන්වහන්සේ අනුපිය අඹවනයෙහි වසනකල්හි පැවිද්ද සඳහා නික්මෙන්නාවූ ඒ ක්ෂත්රියයන් සයදෙනා සමඟ නික්ම පැවිදිවූයේය. ඔහුගේ ප්රව්රජ්යා විධානය පෙළෙහි ආයේමය.
හෙතෙම පැවිදිව උපසපන් වුයේ ශාස්තෘන්වහන්සේ ලවා කමටහන් කියවා ගෙන ‘ස්වාමීනි, මට ආරණ්යවාසය අනුදැන වදාළමැනව’යි කීවේය. මහණ, ආරණ්යයෙහි වසන්නාවූ ඔබට එකම ධුතාංගයක් වැඩෙයි. ‘අප සමීපයෙහි වසන්නාවූ ඔබට වාසධුරයද ග්රන්ථධුරයද පිරෙන්නේය’යි වදාළසේක. තෙරණුවෝ ශාස්තෘවචනය පිළිගෙන විදර්ශනාවට කටයුතු කරන්නාහු නොබෝදිනකින්ම රහත්බවට පැමිණියහ. ඉක්බිති භාග්යවතුන්වහන්සේ තමන් වහන්සේම ඔහුට සියලු විනය පිටකය උගැන්වූසේක. හෙතම මෑත කාලයෙහි යට කියනලද වස්තු තුන විනිශ්චය කළේය. ශාස්තෘන්වහන්සේ එකිනෙකක් විනිශ්චය කළකල්හි සාධුකාර දී තුන්වස්තුවේම විනිශ්චයන් අෙර්ත්ථාත්පත්ති කොට තෙරණුවන් විනයධරයන් අතුරෙන් අගතැන්හි තැබූසේක.
නන්දක තෙරණුවෝ
සත්වැන්නෙහි, භික්ඛුනොවාදකානං යන්නෙහි මේ තෙරණුවෝ වනාහි ධර්මදේශනා කරමින් එකම කුළුගැන්වීමකදී භික්ෂුණීන් පන්සියයන් රහත්බවට පැමිණවූහ. එබැවින් භික්ෂුනීන්ට අවවාද කරන්නවුන් අතුරෙන් අග්රනම් වූහ.
උන්වහන්සේගේ ප්රශ්න කර්මයෙහි මේ පිළිවෙළ කථාවයි මුන්වහන්සේතේ පියුමුතුරා බුදුන් සමයෙහි හංසවතී නුවර කුලගෙයක උපන්නාහු ශාස්තෘන්වහන්සේගේ ධර්මකථාව අසමින් එක් භික්ෂුවක භික්ෂුනීන්ට අවවාද දෙන්නවුන් අතුරෙන් අග තනතුරෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්කම් කොට එම තනතුර පැතූහ. හෙතෙම දිවිතෙක් කුසල්කොට දෙවිමිනිසුන් අතුරෙන් සැරිසරන්නේ මේ බුද්ධොත්පාදයෙහි සැවතෙහි කුලගෙයක පිළිසිඳගෙන වියපත්වූයේ ශාස්තෘන්වහන්සේගේ ධර්මදේශනය අසා ලැබූ සැදැහැ ඇත්තේ ශාස්තෘන් සමීපයෙහි පැවිදිව විදසුන් වඩා රහත්බවට පැමිණ පෙරවිසූ කඳ පිළිවෙළ පිළිබඳ ඥානයෙහි පුරුදුකළ වසඟ බව ඇත්තේ විය. හෙතෙම සිවුපිරිස එක්වූ කල්හි සියල්ලවුන්ගේ සිත් ගෙන කථා කිරීමට හැක්කේනුයි ධර්මකථික නන්දක නම් වූයේය. තථාගතයන් වහන්සේද රෝහිනී නදීතෙරෙහි චුම්බටක සටනෙහිදී නික්ම පැවිදිවූ පන්සියයක් ක්ෂත්රිය කුමාරවරුන්ට උකටලීබවක් ඇතිවු කල්හි ඒ භික්ෂූන් ගෙන කුණාල විලට ගොස් කුණාල ජාතක කථාවෙන් ඔවුන්ගේ සංවේගීබව දැන චතුරාර්ය්යසත්යය පවසා සෝවාන් පෙලෙහි පිහිටවූසේක. මෑත කාලයෙහි මහාසමය සූත්රය පවසා අග්රඵලයවූ අර්භත්වයෙහි පිහිටවූසේක. ඒ තෙරවරුන්ගේ පැරණි භාර්ය්යවෝ අපි දැන් මෙහි කුමක් කරන්නෙමුදැ’යි කියා සියල්ලෝම එක්සිත්ව මහාප්රජාතපති ගොතමිය වෙත එළඹ පැවිද්ද ඉල්ලූවාහුය. ඒ පන්සියයම තෙරණියගේ සමීපයෙහි පැවිද්ද ද උපසම්පදාවද ලැබූහ. ගතවූ අනතුරු ජාතියෙහි ඒ සියල්ලෝම රාජාත්ම භාවයෙහි සිටි නන්දකස්ථවිරයන්ගේ භාර්ය්යාවරු වූහ.
එසමයෙහි ශාස්තෘන් වහන්සේ භික්ෂූහු භික්ෂූණීන්ට අවවාද කෙරෙත්වායි පැවසූ සේක. තෙරණුවෝ තම වාරය පැමිණි කල්හි ඔවුන්ගේ පෙර ආත්ම භාවයෙහි තමන්ගේ පාදපරිචාරිකාභාවය දැන මෙසේ සිතූහ. ‘මේ භික්ෂුණී සංඝයා මධ්යයෙහි හිඳිමින් උපමාද කරුණුද ගෙනහැර දක්වමින් ධර්මය කියන්නාවූ මා දැක වෙනත් පූර්වෙනිවාසාඥානලාභී භික්ෂුවක් මෙකරුණ බලා ‘ආයුෂ්මත් නන්දක තෙර අද දක්වාත් අතොවුර නොහරියි. ආයුෂ්මතුන් අතොවුර විසින් පිරිවරණ ලද්දේ හොබනේයයි කියන්නේ වන්නේය’ එබැවින් තෙමේ නොගොස් අන් භික්ෂුවක යැවීය. ඒ පන්සියයක් භික්ෂූණීහු තෙරුන්ගේම අවවාදය බලාපොරොත්තු වෙත්. මෙකරුණින් භාග්යවතුන් වහන්සේ තම වාරය පැමිණි කල්හි අනෙකකු නොයවා තෙමේම ගොස් භික්ෂුණී සංඝයාට අවවාද කරව’යි තෙරුන්ට පැවසූ සේක. හෙතෙම ශාස්තෘන්වහන්සේගේ කථාව යටපත් කිරිමට නොහැකි වන්නේ තම වාරය පැමිණිකල්හි තුදුස්වකෙහි භික්ෂුණී සංඝයාට අවවාද දී ඒ සියලුම භිකෂුණීන් ෂඩ් ආයතනයන් පිළිබදඳවූ ධර්මදේශනාවෙන් සෝවාන් පෙලෙහි පිහිටවීය.