බක්කුල තෙරණුවෝ
සිවුවැන්නෙහි අප්පාබාධානං යනු ආබාධ රහිතවූවන් අතුරිනි. බක්කුලො යනු දෙකුලයෙක්හි වැඩුණු බැවින් මෙසේලද නම් ඇති තෙරණුවෝයි.
ඔහුගේ ප්‍රශ්න කර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි. මෙතෙම වනාහි අතීතයෙහි මෙයින් කල්ප ලක්‍ෂයක් අධිකකොට ඇති අසංඛ්‍යයකට මත්තෙහි අනොමදස්සි බුදුරජාණන්වහන්සේගේ ඉපදීමට කලින්ම බමුණු කුලයෙහි පිළිසිඳගෙන් වියට පැමිණ උගන්නාලද වේද ඇත්තේ වේදත්‍රයෙහි හරයක් නොදක්නේ පරලොව (යහපත) සඳහා සොයාන්නෙමැයි පර්‍වතපාදයක සෘෂි පැවිද්දෙන් පැවිදිව පංචාභිඥාඅෂ්ට සමාපත්ති ලාභීව ධ්‍යානක්‍රීඩාවෙන් කල්යැවීය. එසමයෙහි අනොමදස්සී බෝසතාණෝ සර්‍වඥතාඥානයට පත්ව ආර්‍ය්‍ය සමූහයා විසින් පිරිවරන ලද්දාහු චාරිකාවෙහි වඩිති. තවුසු තෙමේ තෙරුවන පහළවීයයි අසා ශාස්තෘන්වහන්සේ සමීපයට ගොස් දහම් අසා දෙසුම කෙළවර සරණයෙහි පිහිටියේ තමන්ගේ තැන (තවුස්බව) අත්හැරීමට නොහැකිවිය. හෙතෙම කලින්කලට ශාස්තෘන් දැකීම සඳහාද යයි. දහම්ද අසයි.
ඉක්බිති එක් කලෙක තථාගතයන්වහන්සේට උදරවාතයක් උපන්නේය. තවුසා ශාස්තෘන්වහන්සේ දැකීම සඳහා පැමිණියේ ශාස්තෘන්වහන්සේ ගිලන්සේකැයි අසා ‘ස්වාමීනි, කවර ආබාධයක්දැයි (අසා) උදරවාතයකැයි කීකල්හි මට පින් කිරීමට මේ කාලයයි පර්‍වතපාදයට ගොස් නොයෙක් ආකාර බෙහෙත් එක් කොට ‘මේ බෙහෙත ශාස්තෘන්ට එළවුව මැනවැ’යි උපස්ථායක තෙරුන්ට දුන්නේය. බෙහෙත යෙදීමත් සමගම උදරවාතය සංසිඳුනේය. හෙතෙම ශාස්තෘන්වහන්සේට පහසු කාලයෙහි ගොස් මෙසේ කීය: ‘ස්වාමීනි, මගේ බෙහෙතින් තථාගතයන්වහන්සේට යම් මේ පහසුවක් හටගත්තේද ඒ පින්කමේ විපාකයෙන් මට උපනුපන් භවයෙහි කිරිදෙව්නා පමණ වූ සුළුකලකටද ශරීරව්‍යාධියක් නම් නොවේවා!’ මෙය ඒ අත්බැව්හි ඔහුගේ පුණ්‍යකර්‍මයයි.
හෙතෙම එයින් චුතවූයේ බඹලොව ඉපිද එක් අසංඛ්‍යක් දෙව්මිනිසුන් අතර සැරිසරන්නේ පියුමුතුරා බුදුන්කල්හි හංසවතී නුවර කුලගෙයක පිළිසිඳ ගෙන එක්හික්‍ෂුවක අල්පාබාධවූවන් අතුරෙන් අගතැන්හි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම්කොට ඒ තනතුර පැතීය. හෙතෙම දිවිඇති තෙක් පින්කම් කොට දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නේ විපස්සී බුදුන්වහන්සේ පහළවීමට පෙරදීම බන්‍ධුමතී නගරයෙහි බමුණු කුලයෙහි උපන්නේ පෙර අයුරින්ම සෘෂි පැවිද්දෙන් පැවිදිව ධ්‍යානලාභීවී පර්‍වතපාදයක වාසයකරයි.
විපස්සී බෝසතුන්වහන්සේද සර්‍වඥතාඥානයට පත්ව අටසැට දහසක් භික්‍ෂු පිරිවර ඇත්තාහු බන්‍ධුමතිය ඇසුරු කොට පියමහරජුට සංග්‍රහ කරමින් ක්‍ෂෙමවූ මිගදායෙහි වාසය කරනසේක. ඉක්බිති මේ තවුස් තෙමේ බුදුන්වහන්සේ ලොව පහළවූ බව දැන අවුත් ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව අසා තිසරණයෙහි පිහිටියේය. තමාගේ (සෘෂි) පැවිද්ද අත්හැරීමට නොහැකිවිය. කලින් කලට ශාස්තෘන්වහන්සේගේ උපස්ථානයට යයි.
ඉක්බිති එක් කලෙක ශාස්තෘන්වහන්සේද දෙඅගසව්වන්ද හැර හිමවතෙහි පිපුණු විෂවෘක්‍ෂයන්ගේ වාතය පැහැසීමෙන් සෙසු භික්‍ෂුන්ට මන්‍ථක නම්වූ රෝගයක් හටගත්තේය. තවුසා ශාස්තෘ උපස්ථානයට පැමිණියේ හිසසිට පොරවා වැද හොවින භික්‍ෂූන් දැක ‘ස්වාමීනි, කිම භික්‍ෂූසංඝයාට අපහසුවක්දැයි විචාළේය. ‘තෘණපුෂ්පක නම්වූ රෝගයයකි. ඇවැත්නි’යි (පැවසූහ) තවුසා සිතීය. ‘බික්සඟනට ශරීරවතාවත්කොට පින් උපදවන්නට මේ මට කාලයයි.’ (සිතා) තමන්ගේ ආනුභාවයෙන් නොයෙක් බෙහෙත් කඩා සංයෝග කොට දුන්නේය. සියලු භික්‍ෂුන්ගේම රෝගය එකෙණෙහිම සංසිදුනේය.
හෙතෙමේත් දිවි ඇති තෙක් සිට බඹලොව ඉපිද අනූඑක් කපක් දෙව්මිනිසුන් අතර සැරිසරන්නේ කාශ්‍යප බුදුන්ගේ කාලයෙහි බරණැස කුලගෙයක උපන්නේ ගිහිගෙහි වසමින් ‘මා වසන ගෙය දුබලය. ප්‍රත්‍යන්තයට ගොස් ද්‍රව්‍ය සමූහයක් ගෙනවුත් ගෙයක් කරමැයි වඩුවන් සමඟ යන්නේ අතරමඟ එක් දිරාගිය මහවෙහෙරක් දැක ‘මගේ ගෙහි වැඩ තිබියේවා. එය මා සමඟ නොයන්නේය. යම් කිසිවක් කොට යන (තැනට) වැඩම කල් ඇතිවම කළයුතුය’යි සිතා ඒ වඩුවන් ලවාම ගෙන්වාගෙන ඒ වෙහෙරෙහි පොහොය ගෙයක් කරවූයේය. බොජුන්හලක්, ගිනිහලක්, දිගුසක්මනක්, ගිනිහල්ගෙයක්, කැසිකිළියක්, වැසිකිළියක් හා රෝහලක්ද කරවූයේය. යම් කිසිවක් භික්‍ෂු සංඝයාට උපභෝග පරිභෝග වස්තු හා බෙහෙත් නම් වේද සියල්ල පිළියෙළකොට තැබීය.
හෙතෙම දිවි ඇති තෙක් කුසල් කොට එක් බුද්ධාන්තරයක් දෙව්මිනිසුන් අතර සැරිසරන්නේ අපගේ බුදුන්වහන්සේගේ පහළවීමට පෙරටුවම කොසබෑනුවර සිටුගෙයක පිළිසිඳ ගත්තේය. ඔහු පිළිසිඳගත් දිනයෙහි පටන් ඒ සිටුකුලය ලාභායෙන් යසසින් අතැන්පත්වූයේය. ඉක්බිති ඔහුගේ මව පුතු වදා (මෙසේ) සිතුවාය: මේ දරුවා පින් ඇත්තෙකි. කරනලද පැතුම් ඇත්තෙකි. යම්පමණ කලක් නීරෝගීව දීර්‍ඝායුෂ්කවී සිටීද එපමණ කලක් අපට සැපත් දෙන්නෙක් වන්නේය. උපන් දිනයේදීම මහා යමුනා නදියෙහි නහවනලද දරුවෝ නීරෝග වෙත්යයි (සිතා) නැහැවීම සඳහා ඒ දරුවා යැවූවාය. පස්වැනි දිනයෙහි හිසනහවා නදියෙහි කෙළිපිණිස ඔහුව යැවීයයි මධයම භාණ්ඩකයෝ (කියති.) එහිදී කිරීමට දරුවා දියයට දැමීම් උඩට ගැනීම් වශයෙන් ක්‍රීඩාකරවද්දී එක් මත්ස්‍යයෙක් දරුවා දැක මට මේ කෑමකැයි හඟින්නේ මුව අයාගෙන එළඹියේය. කිරීමව දරුවා අතහැර පළා ගියාය. මත්ස්‍යයා ඔහුව ගිල්ලේය. පින්වත් සත්ව තෙමේ දුකට නොපැමිණියේය. යහන්ගැබකට පිවිස වැදහොත්තේ මෙන්විය. මත්ස්‍යයා දරුවාගේ තේජසින් දැවුණු තලියක් ගිල දැවෙන්නකු මෙන් වේගයෙන් තිස් යොදුනක් ගොස් බරණැස් නුවර වැසි මසුන් අල්වන්නකුගේ දැලට පිවිසියේය. මහාමත්ස්‍යායෝ නම් දැලෙහි බැඳුනාහු මරනු ලබන්නේ මැරෙත්. මේ මතස්‍යයා වනාහි දරුවාගේ තෙදින් දැලෙන් ඉවතට ගනුලද්දේම මළේය. මසුන් අල්වන්නෝද මළමසු ලැබ පළා විකුණති. මේ මාළුවා වනාහි දරුවාගේ තෙදින් නොපළාම සියල්ල කදින් ගෙනගොස් කහවණු දහසින් දෙමු’යි කියමින් නුවරෙහි හැසිරුණාහුය. කිසිවෙක් මිළදී නොගත්තේය.