මොඝරාජ තෙරණුවෝ
දොළොස්වැන්නෙහි ලූඛචීවරධරානං යන්නෙන් රළු සිවුරු දරන්නන් අතුරින්, මෝඝරාජ තෙරණුවෝ අග්‍රයහයි දක්වනුලෙබේත්. මේ තෙරුන්වහන්සේ සත්‍ථලූඛ සුත්තලූඛ රජනලූඛ යන තෙදැරුම් රළුබවින් යුත් පාංසුකූල සිවුරක් දැරූහ. එහෙයින් රළුසිවුරු දරන්නන් අතුරින් අග්‍රනම්වූහ.
උන්වහන්සේගේ ප්‍රශ්න කර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි. මෙතෙමේත් පියුමුතුරා බුදුරජාණන්වහන්සේගේ කාලයෙහි හංසවතියෙහි කුලගෙයක පිළිසිඳගෙන මෑතකාලයෙහි ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව අසන්නේ එක් භික්‍ෂුවක රළු සිවුරු දරන්නන් අතුරෙන් අගතනතුරෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවේය. හෙතෙම දිවි ඇති තෙක් කුසල්කොට දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නේ කාශ්‍යප බුදුරජාණන්වහන්සේ පහළවීමට පෙරාතුවම කට්ඨවාහන නුවරෙහි ඇමතිගෙයක පිළිසිඳ ගත්තේය. මෑතකලායෙහි වියපත් වූයේ කට්ඨවාහන රජුට උවටැන් කරන්නේ ඇමති තනතුරක් ලැබුවේය.
එසමයෙහි කාශ්‍යප භාග්‍යවතුන්වහන්සේ ලොව පහළවූ සේකැයි අසා ඔහු (ඇමති) කැඳවා ‘දරුව, බුදුරජාණන්වහන්සේ ලොව පහළවූසේක මේ පසල් නගරය එක්වරම අප දෙදෙනාගෙන් හිස්කිරීමට නොහැකිය. නුඹ මධ්‍යම දේශයට ගොස් බුදුරජාණන්වහන්සේ උපන්බව දැන උන්වහන්සේ මෙම නුවරට වැඩමවාගෙන එව’යි කීවේය. (මෙසේ කියා) මිනිසුන් දහසක් සමඟ යැවීය. හෙතෙම පිළිවෙළින් ශාස්තෘන්වහන්සේ සමීපයට ගොස් ධර්‍මකථා අසා ලැබූ සැදැහැඇත්තේ එහිම පැවිදිව විසිදහසක් අවුරුදු මහණදම් කළේය. ඔහු සමඟ ගියමිනිස්සු සියල්ලෝම ආපසු හැරී රජු වෙතට පැමිණියාහුය.
මේ තෙරණුවෝත් පිරිපුන් සිල් ඇත්තාහු කලුරියකොට එක් බුද්ධාන්තරයක් දෙවිමිනිසුන් අතර සැරිසරන්නාහු අපගේ බුදුරජාණන්වහන්සේ පහළවීමට පෙරාතුවම සැවතෙහි බමුණු ගෙයක පිළිසඳ ගත්හ. මොහුට මොඝරාජමානවයි නම් කළාහුය. කට්ටවාහන රජතෙමේද කාශ්‍යප භාග්‍යවතුන්වහන්සේ කෙරෙහි පින්දහම් කොට එක් බුද්ධාන්තරයක් පිරිවර සහිතව දෙවිමිනිසුන් අතුරෙහි හැසිර අපගේ දශබලයන්වහන්සේ ඉපදීමට පෙරාතුවම සැවතෙහි පෙරෙවිගෙහි පිළිසිඳ ගත්තේය. මොහුට බාවාරිමානවයයි නම් කළාහුය. හෙතෙම මෑතකාලයෙහි ත්‍රිවේදය උගෙන සොළොස් දහසක් මානවකයන්ට ශිල්ප උගන්වමින් හැසිරෙයි. ඉක්බිති මොහුට පසේනදී රජුගේ කාලයෙහි පියාගේ ඇවෑමෙන් පුරෝහිත තනතුර දුන්හ. එකල්හි මේ මොඝරාජ මානවක තෙමේත් බාවාරි මානවකයන් සමීපයෙහිම සිප්සතර හදාරයි.
ඉක්බිති එක්දිනක් බාවාරි බමුණා රහසිගතවූයේ තමන්ගේ ශිල්පයෙහි හරය විමසන්නේ පාරලෞකික හරයක් නොදැක (කිසියම්) එක් පැවිද්දකින් පැවිදිව පාරලෞකික හරයක් සොයන්නෙමැයි කොසොල් රජු වෙත එළඹ තමන්ගේ පැවිද්ද අනුදන්වා ගත්තේය. හෙතෙම ඔහුවිසින් අනුදන්නාලද්දේ සොළොස් දහසක් මානවකයන් විසින් පිරිවරනලද්දේ පැවිදිවීම සඳහා නික්මුණේය. කොසොල්රජ තෙමේත් ‘යම් තනක ආචාර්‍ය්‍යවරයා පැවිදිවන්නේද එහි ඔහුට විසීමට තැනක් ගෙනදෙවවු’යි ඔහු සමඟම කහවණු ලක්‍ෂයක් යැවීය. බාවාරි බමුණු තෙමේ පහස් තැනක් බලන්නේ මධ්‍යම දේශයෙන් ඉවත්ව අස්සක රජුගේද චුළ්භක රජුගේද සීමා අතරෙහි ගොදාවරී නදී වංකයෙහි තමන්ට විසීමට තැනක් කරවීය.
ඉක්බිති එක් පුරුෂයෙක් ජටිලයන් දැකීමට ගියේ ඔවුන් අසළ භූමියක ඔවුන් විසින් අනුදන්නාලද්දේ තමන්ට විසීමට තැනක් කළේය. ඔහුවිසින් කරනලද ගෙය දැක වෙනත් කුල සියයක් ගෙවල්සියයක් කරවීය. ඒ සියල්ලෝම එක් රැස්ව ‘අපි ආර්‍ය්‍යයන්ට අයත් භූමිභාගයෙහි වසමු. නිකම් විසීමට නොයුතුය. මොවුනට සුවවාසයක් දෙන්නෙමු’යි එකිනෙකා එක් එක් කහවණුවක් බමුණා වසන තැනෙහි තැබීය. ගෙනෙන ලද සියලුම කහවණු දහසක් පමණ විය. බාවාරි බමුණා කුමක් සඳහා මේවා ගෙනඑනලද්දේදැයි ඇසීය. ‘ස්වාමීනි, ඔබට සුවවාසයක් දීම සඳහාය’යි කීහ. ‘ඉදින් මම රන්රුවන්වලින් වැඩක් ඇත්තෙම් නම් මහත් ධනරැසක් අත්හැර පැවිදි නොවන්නෙමි. නුඹලාගේ කහවණු ගෙන යවු’යි කීවේය. ‘අප විසින් ආර්‍ය්‍යයන්ට පරිත්‍යාග කරනලද දෙය යළි නොගනිමු. අවුරුදු පතා මේ අයුරින්ම ගෙනෙන්නෙමු. මේවා ගෙන ආර්‍ය්‍යයන්වහන්සේ දන්දෙනු මැනව’යි කීහ. බමුණුතෙමේ (ඒවා) ඉවසා දුගීමගී යාචකාදීන්ට දානමුඛයෙහි පවරා දුන්නේය. ඔහු වරින්වර දන් දෙන බව සියලු දඹදිව පළටවූයේය.
ඉක්බිති කළිඟු රටෙහි දුන්නිමිට්ඨ නම් ගමෙහි පූජක බමුණාගේ වංශයෙහි උපන් බැමිණියක් නැඟිට නැඟිට බමුණාට, බාවරි දන්දෙයි. ගොස් එතැනින් රන්රුවන් ගෙනවයි චෝදනා කරයි. හෙතෙම ඇය විසින් චෝදනා කරනලද්දේ ඉවසා සිටීමට නොහැක්කේ බාවාදර සමීපයට යමින් බාවාරී දන්දී පන්සලට පිවිස වැදහෙව දානය සිහිකරන විට ගියේය. ගොස්, ‘බමුණ මට දන්දෙව, බමුණ, මට දන්දෙව’යි කීවේය. ‘බමුණ නුම නොකල්හි පැමිණියේය. මවිසිනි පැමිණි යාචකයින්ට දෙනලදී. දැන් කහවණු නැත’යි කීවේය. ‘මට හුඟකින් වැඩක් නැත. මෙපමණ දන්නෙදන්නාවූ ඔබට කහවණු නැති වීමට නොහැක. මට කහවණු පන්සියයක් දෙව’යි කීවේය. ‘බමුණ, පන්සියයක්ද නැත යළි දන්දෙන කාලය පැමිණිවිට ලබන්නේය’යි බාවාරි කීවේය. ‘කිමෙක්ද මම නුඹගේ දානකාලයට පැමිණෙම්දැ’යි බාවාරි බමුණාගේ පන්සල දොරටුවෙහි වැළි සෑයක් කොට හාත්පසින් රත්පැහැතිමල් විසුරුවා මන්ත්‍රජප කරන්නෙකු මෙන් තොල් සොළවා ‘සත්කඩකට හිස පැලේවා! සත්කඩකට හිස පැලේවා’යි කියයි.