පිළින්‍දිවච්ඡ තෙරණුවෝ
සත්වැන්නෙහි දෙවතානං පියමනාපානං යන්නෙන් දෙවියන්ට ප්‍රියවූවන්ද මනාපවූවන්ද අතුරින් පිළින්‍දිවච්ඡ තෙරුන්වහන්සේ අග්‍රයහයි දක්වනු ලැබේ. මේ තෙරුන්වහන්සේ වනාහි බුදුන් පහළවීමට පෙර සක්විති රජෙක්වී මහජනයා පංචශීලයන්හි පිහිටුවා ස්වර්‍ගය පිහිටකොට ඇත්තවුන් කළහ. බොහෝ සෙයින් ෂඩ්විධ කාමස්වර්‍ගයන්හි උපන් දෙවිවරු ඔහුගේම අවවාද ලබා උපනුපන් තැන්හි තමන්ගේ සම්පත්තිය බලා කවරකු නිසා මේ ස්වර්‍ගසම්පත්තිය ලැබුවෙමුදැයි සිහිකරන්නාහු මේ තෙරුන් දැක තෙරුන් නිසා අපවිසින් සැපත් ලැබන ලදැයි උදේසවස තෙරුන් නමදැති. එබැවින් හෙතෙම දෙවියන්ට ප්‍රියමනාප වූවන් අතුරින් අග්‍ර නම්විය. පිළින්‍දි යනු ඔහුගේ ගෝත්‍රයයි. වචේඡා යනු නමයි. ඒ දෙක එකට ගලපා පිළින්‍දිවච්ඡයයි කියනුලැබේ.
ඔහුගේ ප්‍රශ්න කර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි: මෙතෙම වනාහි පියුමුතුරා බුදුන්වහන්සේගේ කාලයෙහි හංසවතී නගරයෙහි මහ ධනවත් කුලයක උපන්නේ පෙර කියනලද අයුරින්ම ශාස්තෘන්වහන්සේගේ ධර්‍ම දේශනය අසන්නේ එක් භික්‍ෂුවක දෙවියන්ට ප්‍රියමනාපස්ථානයෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක ඒ තනතුර පතා දිවි ඇති තෙක් කුසල් කොට දෙව්මිනිසුන් අතරෙහි සැරිසරන්නේ මේ බුද්ධෝත්පාදයෙහි සැවතෙහි බමුණු ගෙයක උපන්නේය. මොහුට පිළින්‍දිවච්ඡයයි නම් කළාහුය. හෙතෙම මෑතභාගයෙහි බුදුන්වහන්සේගේ ධර්‍මදේශනය අසා ලද ශ්‍රද්ධා ඇත්තේ පැවිදිව උපසපන්වූයේ විදසුන් වඩා රහ්බවට පැමිණියේය. හෙතෙම ගිහියන් සමගද භික්‍ෂූන් සමඟද කථා කරන්නේ එව වසලය, යව වසලය, දෙව වසලය, ගනුව වසලයයි වසලවාදයෙන්ම ප්‍රකාශකරයි. ඒ කථාව ගෙනහැර තථාගතයන් වහන්සේගෙන් ‘භාග්‍යවතුන්වහන්ස, ආර්‍ය්‍යයෝ නම් පරුෂවචන ඇත්තෝ නොවෙති’යි විමසූහ. ‘මහණෙනි, ආර්‍ය්‍යවරුන්ගේ අනුන් පහත්කිරීම් වශයෙන් පරුසවචනයක් නම් නැත. එසේවුවත් භවාන්තරයෙහි පුරුදු කිරීම් වශයෙන් වන්නේය.’ ‘ස්වාමීනි, පිළින්‍දිවච්ඡතෙරහු නැඟිට නැඟිට ගිහියන් සමඟද භික්‍ෂූන් සමඟද කථාකරන්නාහු වසලය වසලයයි කියති. ස්වාමීනි, මෙහි කරුණ කිමේක්ද? මහණෙනි. මගේ පුතුගේ මෙය දැන් පමණක්ම පුරුදු කරනලද්දක් නොවේ. අතීතයෙහි මෙතෙම ජාති පන්සියයක් වසලවාදී බ්‍රාහ්මණ කුලයෙහි උපන්නේය. මෙසේ මෙතෙම භවපුරුද්දෙන්ම කියයි. ඵරුෂවශයෙන් නොවේ. ආර්‍ය්‍යයන්ගේ ව්‍යවහාරය ඵරුෂ සමානවුවද චෙතනාව කරණකොටගෙන අපරුෂ භාවයෙන් පිරිසුදු වූයේම වෙයි. මෙහි සුළුවුද පාපයක් හටනොගනීය’යි පවසා ධර්‍මපදයෙහි මේ ගාථාව දෙසූසේක.
‘(යමෙක්) යම් වචනයකින් කිසිවකු කෝප නොකරන්නේද රළු නොවන අදහස් හඟවන සත්‍ය වචන ප්‍රකාශ කරන්නේද හෙතෙම බ්‍රාහ්මණයෙකැයි මම පවසමි.’
ඉක්බිති එක්දිනක් තෙරුන්වහන්සේ රජගහනුවරෙහි පිඬු පිණිස හැසිරෙන්නාහු තිප්පිලි භාජනයක පුරවා රැගෙන ඇතුළු නුවරට පිවිසෙන එක් පුරුෂයකු දැක ‘වසලය, නුඹේ භාජනයෙහි කිමෙක්දැයි ඇසූහ. හෙතෙම සිතීය: මේ ශ්‍රමණයා මා සමඟ උදෑසනම ඵරුෂ වචන කියයි. මොහුට සුදුසු දෙයක්ම කීමට වටී.’ එසේ සිතා, ‘ස්වාමීනි මගේ භාජනයෙහි මීබෙටිය’යි කීවේය. ‘වසලය, එසේ වන්නේය.’ ඒ තෙරුන් නොපෙනී යනවිට සියල්ල මීබෙටිම වූයේය. හෙතෙම සිතීය: මේ තිප්පිලි මීබෙටි සමානව පෙනේ. මේ ස්වභාවයද නැද්දැයි විමසනුයේ අතින් තද කළේය. ඉක්බිති ඔහුට මීබෙටි බව දැන බලවත් දොම්නසක් උපන්නේය. හෙතෙම මේවා පමණක් මෙබඳුවීද නැත්හොත් ගැලෙහිද එසේවීදැයි ගොස් බලන්නේ සියලුම තිප්පිලි එබඳුම වී ඇතිබව දැන අතින් පපුව දරාගෙන, ‘මෙය අනිකෙකුගේ වැඩක් නොවේ. මා උදෙන්ම දුටු භික්‍ෂුවගේ වැඩකි. ඒකානත්යෙන්ම (හෙතෙම) මායාවක් දන්නේය. ඔහුගිය තැන සොයා දැන ගෙන මෙකරුණ දනිමි’යි තෙරුන් ගියමග අසා (ඒ අනුව) ගියේය.