දාරුචිරිය තෙරණුවෝ
අටවැන්නෙහි ඛිප්පාභිඤ්ඤානං යන්නෙන් වහා ලැබූ අභිඥා ඇත්තවුන් අතුරින් දාරුචීරිය තෙරුන්වහන්සේ අග්‍රවූහයි දක්වනුලැබේ. මේ තෙරුන්වහන්සේ කෙටි දහම් දෙසුමක කෙළවර රහත්බවට පැමිණියහ. මාර්‍ගඵලයන්ගේ පරිකර්‍ම කෘත්‍යයක් නොවීය. එබැවින් වහා ලැබූ අභිඥා ඇත්තවුන් අතුරෙන් අග්‍රනම් වූහ. බාහිය රටේ උපන් බැවින් ඔහුට බාහිය යි නමක්විය. හෙතෙම පසු කලෙක දැවමය වස්ත්‍ර දැරීය. එබැවින් දාරුචීරිය නම්විය.
ඔහුගේ ප්‍රශ්න කර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි. මෙතෙමේත් පියුමුතුරා බුදුන්වහන්සේගේ කාලයෙහි හංසවතී නගරයෙහි කුලගෙයක උපන්නේ බුදුන්වහන්සේගේ දම් දෙසුම අසන්නේ එක් භික්‍ෂුවක කුලගෙයක උපන්නේ බුදුන්වහන්සේගේ දම් දෙසුම අසන්නේ එක් භික්‍ෂුවක වහා ලැබූ අභිඥා ඇත්තවුන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තබන්නාවූ භාග්‍යවතුන්වහන්සේ දැක පින්කම් කොට ඒ තනතුර පතා දිවි ඇති තෙක් කුසල් කොට පිරිපුන් සිල් ඇත්තේ මියගොස් දෙව්ලොව උපන්නේය.
හෙතෙම එක් බුද්ධාන්තරයක් දෙව්ලොව වැස මේ බුද්ධෝත්පාදයෙහි බාහිය රටෙහි කුලගෙයක උපන්නේ වියට පැමිණ ගිහිගෙහි වසන්නේ වෙළදාම කරන්නෙමියි ස්වර්‍ණභූමියට යායුතු නැවට නැංගේය. නැව බලාපොරොත්තු දෙසට නොපැමිණම මුහුද මැදදී බිඳීගියේය. මහජනයා මාළු කැසුබු ආදීන්ට බත්විය. මෙතෙම වනාහි එක් දැව කඩක් ගෙන සත්වැනි දිනයෙහි සුප්පාරක පටුනෙහි ගොඩබැස්සේ මිනිස්වාසයක් බව දැන නිරුවත් බවින් මිනිසුන් දැකීම නුසුදුසුයයි නුදුරුතන්හිවූ මහ විලෙක සෙවල ගෙන සිරුරවෙළා එක් තැනක වැටුණු කබලක් රැගෙන අහර සිඟමනෙහි ගියේය.
මිනිස්සු ඔහු දැක සිතූහ: ‘ඉදින් ලෝකෙහි රහත්හු ඇත්නම් මෙබඳු වූවන් වියයුතුය. කිමෙක්ද ආර්‍ය්‍යතෙමේ උත්කෘෂ්ට භාවයෙන් වස්ත්‍ර නොගනීද? නැතහොත් දෙනු ලබන්න ගන්නේදැ’යි විමසන්නාහු නොයෙක් දෙසින් වස්ත්‍ර ගෙනාවාහුය. හෙතෙම සිතීය: ‘ඉදින් මම මේ ක්‍රමයෙන් නොආවෙමි නම් මොවුහු මා කෙරෙහි නොපහදින්නාහුය. යම් කිසිවක් කොට මොවුන් රවටා ජීවනොපාය කිරීමට වටනේය’යි (මෙසේ සිතා) වස්ත්‍ර නොපිළිගත්තේය. මිනිස්සු බොහෝ සෙයින් පැහැදුනාහු මහත් සත්කාර කළාහුය. හෙතෙමේත් බත්කිස කොට නුදුරු තැන්හිවූ දෙවොලකට ගියේය. මහජනයා ඔහු සමඟම ගොස් දෙවොල පිළිදැගුම් කොට දුන්නේය. මොවුහු මට සෙවල හැඳීම් මාත්‍රයෙන් පැහැද මෙබඳු සත්කාර කරත්, මොවුන්ට මම උත්කෘෂ්ට බවින්ම පැවැතීමට වටීයයි හෙතෙම සිතීය. (එසේ සිතා) සැහැල්ලු රුක් ගෙඩි ගෙන තලා වැහැරි අවුණා පට්ට්යක් කොට හැඳ ජීවිකාව කරමින් වාසය කළේය.
කාශ්‍යප බුද්ධකාලයෙහි සත්දෙනෙකු මහණදම් කරත්දී (ඔවුනතුරින්) එක් පුද්ගලයෙක් සුද්ධාවාස බ්‍රහ්මලෝකයෙහි උපන්නේද හෙතෙම ඉපදීමට අනතුරුවම තමන්ගේ බ්‍රහ්ම සම්පත්තිය බලා පැමිණි තැන සිහි කරන්නේ සත් දෙනා පව්වට නැඟ මහණදම් කරනතැන දැක සෙසු සයදෙනාගේ උපන් තැන සිහිකරන්නේ එකෙකු පිරිනිවන් පෑබවද සෙසු පස්දෙනා කාමාවචර දිව්‍ය ලෝකයෙහි උපන් බවද දැන කලින් කලට ඒ පස්දෙනා සිහි කරයි. මෙකල්හි කොහිදැයි සිහි කරන්නේ දාරුචීරක පුද්ගලයා සුප්පාරක පටුන ඇසුරුකොට වංචනික ක්‍රියාවෙන් දිවි ගෙවනු දැක, ‘මේ බාලයා නටුයේවන. පෙර මහණදම් කරන්නේ අති උත්කෘෂ්ටභාවයෙන් රහත්වහන්සේ විසිනුදු ගෙනඑනලද පිණ්ඩපාතය නොවළඳා දැන් උදරාර්‍ත්‍ථය සඳහා රහතෙක් නොවීම රහත්බව හඟවා ලොව රවටමින් හැසිරෙයි. බුදුන්වහන්සේ උපන්බවද නොදනියි. යමි. ඔහු සංවේග කරවා දහබලයන්වහන්සේ පහළවූබව හඟවන්නෙමි’යි ක්‍ෂණයකින්ම බඹලොවින් නික්ම සුප්පාරක පටුනෙහි රාත්‍රි භාගයට අනතුරුව දාරුචීරකගේ ඉදිරියෙහි පහළවූයේය.
හෙතෙම තමන් වසන තැන ආලෝකයක් දැක පිටතට නික්ම සිටියේ මහබඹුදැක ඇදිලි බැඳ නුඹවහන්සේ කවරහුදැයි ඇසුවේය. මම නුඹේ පැරණි යහළුවා වූයේ අනාගාමි ඵලයට පැමිණ බඹලොව උපන්නෙමි. අපගේ සියල්ලන්ට දෙටුවූ තැනැත්තා රහත් බවට පැමිණ පිරිනිවියේයි. නුඹලා පස්දෙනා දෙව්ලොව උපන්නාහුය. ඒ මම නුඹ මෙතැන්හි වංචනික ක්‍රියාවෙන් ජීවත්වනු දැක දමනය කරන්නට පැමිණියෙමි’යි කියා මේ කරුණ පැවසීය. ‘බාහිය, නුඹ රහතෙක් නොවෙහි. රහත් මගට පිළිපන්නෙහිද නොවේ. යම් පිළිවෙතකින් ඔබ රහතෙක් වන්නෙහිද රහත් මගට හෝ පිළිපන්නෙහිද ඒ පිළිවෙත ඔබට නැත.’ ඉක්බිති ඔහුට ශාස්තෘන්වහන්සේ පහළවූබවද සැවතෙහි වෙසෙනබද දන්වා ශාස්තෘන් සමීපයට යවයි ඔහු උනන්දු කරවා බඹලොවටම ගියේය.