රාහුල - රට්ඨපාල තෙරවරු
තෙවෙනි වර්ගයෙහි පළමුවෙනි සූත්‍රයෙහි, සික්ඛාකාමානං යනු ත්‍රිවිධ ශික්ෂා කැමැතිවන්නවුන්, සතුටින් පිළිගනිමින් හික්මෙන්නවුන් අතුරෙන්ය යන අර්ථයි. රාහුලෝ යනු තමන්ගේ පුත්‍රවූ රාහුල තෙරුන් දක්වයි. තෙරණුවෝ වනාහි පැවිදිවූ දින පටන් උදෑසන අවදිවෙමින්ම අතපුරා වැලි උඩදමා ‘අද මම බුදුන්වහන්සේගේ මෙන්ම ආචාර්ය්ය උපාධ්යායයන්ගේද සමීපයෙන් මෙපමණක් අවවාදද අනුශාසනාද ලබන්නෙනම් යෙහෙකැයි පතයි. එහෙයින් ශික්ෂාකාමීන් අතුරෙන්අග්ර නම් විය.
දෙවෙනි සූත්‍රයෙහි, සද්ධාපබ්බජිතානං යනු ශ්‍රද්ධාවෙන් පැවිදිවූවන් අතුරෙන්ය. රට්ඨපාලො යනු රටක් පාලනය කිරීමට සමත්වූයේ හෝ බිඳුනු රටක් එක් කිරීමට සමත් කුලයක උපන්නේ හෝයි රට්ඨපාලයයි ප්‍රසිද්ධියට ගියේය. හෙතෙමේත් බුදුන්වහන්සේගේ දම් දෙසුම අසා ලබනලද ශ්‍රද්ධාව ඇත්තේ දින තුදුසක් භත්තචජේදය (ආහාර නොගැනීම) කොට මව්පියන් පැවිද්දට කැමැති කරවා ගෙන පැවිදිවූයේයි. එබැවින් ශ්‍රද්ධාවෙන් පැවිදිවූවන් අතුරෙන් අග්‍රනම් වූයේය.
මේ තෙරවරුන් දෙදෙනාගේම ප්රශ්නකර්මයෙහි මේ පිළිවෙළ කථාවයි. මේ දෙදෙනාම අතීතයෙහි පියුමුතුරා බුදුරජාණන්වහන්සේගේ කාලයෙහි ගෘහපති මහාසාර කුලයෙහි උපන්හ. ඔවුන්ගේ කුඩාකාලයෙහි නම හෝ ගෝත්‍රය නොකියනුලැබේ. වියපත්වූවාහු ගිහිගෙහි පිහිටා තම තමන්ගේ පියවරුන්ගේ ඇවෑමෙන් දෙදෙනාම තමතමන්ගේ රුවන් ගබඩාකරුවන් කැඳවා අපමණ ධනය දැක මෙපමණක්වූ මෙම ධනසමූහය මුතුන්මිත්තාදීහු තමන් සමඟ රැගෙන යාමට නොහැකි වූවාහුය. අප දැන් යම්කිසි උපායකින් මේ ධනය ගෙනයාමට වටනේයයි සිතා දෙදෙනාම සිවු වරෙක දුගීමගී යාචකාදීන්ට මහදන්දීමට පටන් ගත්හ. එක් කෙනෙක් තමන්ගේ දානාග්‍රයෙහි ආ ආ ජනයන් විමසා කැඳ කැවිලි ආදිය අතුරෙන් යමක් යමෙකුට කැමතියයි සිතේද ඔහුට එය දුන්නේය. ඔහුට ඒ කරුණින්ම ‘ආගතයාචකො’යනුවෙන් නමක්ද විය. අනෙකා නොවිමසාම ගත්ගත් බඳුන් පුරව පුරවා දෙයි. ඔහුටද එකරුණින්ම අනග්ගපාකයයි නමක්විය. අප්‍රමාණවූ විපාක ඇත්තේ යන අර්‍ත්‍ථයි
ඒ දෙදෙනාම එක්දිනක් උදෑසනම මුවදෙවීම සඳහා පිටගමට ගියහ. එසමයෙහි හිමවතින් මහත් සෘද්ධි ඇති තාපසවරු දෙදෙනෙක් පිඬුහැසිරීම සඳහා අහසින් අවුත් ඒ යහළුවන්ගේ නුදුරෙහි බැස මොවුහු අප නොකිත්වායි එකත් පසෙක සිටියාහුය. ඒ දෙදෙනාද ඔවුන්ගේ ලබුබඳුන් ආදී පිරිකර සංවිධානය කොට ඇතුළුගම සඳහා යවනලද්දාවුන්ගේ සමීපයට අවුත් වැන්දාහුය. ඉක්බිති ඒ තාපසයෝ ‘මහපිණැත්තනි, කවර වේලාවක ආවාහුදැයි ඇසූහ. ඔවුහු ස්වාමීනි, දැන්ම’යය කියා ඔවුන්ගේ අතින් ලබුබඳුන් ගෙන තම තමන්ගේ ගෙවලට පමුණුවා බත්කිස අවසන්හි නිබඳව භික්ෂාව ගැනීම සඳහා පිළිණ ගත්තාහුය.
ඔවුනතුරින් එක් තවුසෙක් දැවිලිසහිත ශරීර ස්වභාවය ඇත්තේ විය. හෙතෙම තමාගේ ආනුභාවයෙන් මහමුහුදේ දිය දෙකඩ කොට පඨවින්ධරනාගරාජයාගේ භවනයට ගොස් දිවා විහරණයෙහි හිඳියි. හෙතෙම සෘතු සප්පාය ගෙන පෙරළා අවුත් තමන්ගේ උපස්ථායකයාගේ නිවසෙහි භූත්තානුමෝදනාව කරන්නේ පඨවින්ධර නාගරාජ භවනය මෙන් වේවා! පඨවින්‍ධරනාගභවනය මෙන් වේවායි කියයි. ඉක්බිති එක්දිනක උපස්ථායක තෙමේ ඔහුගෙන් ‘ස්වාමීනි, නුඹවහන්සේ අනුමෝදනය කරමින් පඨවින්ධර නාගභවනය මෙන් වේවායි කියහු. අපි එහි අදහස නොදනිමු. ස්වාමීනි. මෙය කුමක් කියනලද්දේ වේදැයි ඇසුවේය ‘එසේය, කෙළඹිය, මම ඔබගේ සැපත පඨවින්ධර නාගරාජයාගේ සැපත මෙන් වේවායි කියමි’යි තවුසා පැවසීය. එතැන්පටන් කෙළෙඹිතෙමේ පඨවින්ධරනාගභවනයට සිත ඇලවීය.