සැරියුත් මුගලන් තෙරවරු
දෙවෙනි තෙවෙනි සූත්‍රයන්හි ‘මහාපඤ්ඤානං’ යනු මහත් ප්‍රඥාවෙන් යුක්තවූවන් අතුරෙන්ය. ඉද්ධිමන්තානං යනු සෘද්ධියෙන් යුක්තවූවන් අතුරෙන්ය. ‘සාරිපුත්තො මොග්ගල්ලානොං යනු ඒ තෙරවරරුන්ගේ නම්ය.
මොවුන්ගේද ප්රශ්නකර්මයෙහි මේ පිළිවෙළ කථාවයි. මෙයින් අසංඛ්‍ය කල්ප ලක්ෂයකට මත්තෙහි සැරියුත් තෙමේ බ්‍රාහ්මණ මහාසාර කුලයෙහි උපන්නේය. නමින් සරද මානවනම් වූයේය. මුගලන් තෙමේ ගෘහපතිමහාසාර කුලයෙහි උපන්නේය. නමින් සිරිවඞ්ඪ කෙළෙඹි නම්වූයේය. ඒ දෙදෙනාම වැළිකෙළියෙහි පටන් යහළුවෝ වූහ. සරද මානව තෙමේ පියාගේ ඇවෑමෙන් කුලයට අයත් මහාධනය පිළිපැද එක් දිනක් රහසිගතවූයේ, ‘මම ඉහාත්මභාවය ගැන පමණක්ම දනිමි. පරලොව ආත්මභාවය ගැන නොදනිමි. උපන්සත්වයන්ට මරණයනම් ඒකාන්තය, මවිසින් එක් පැවිද්දකින් පැවිදිව මොක්ෂධර්මගවේෂණයක් කිරීම වටනේය’යි සිතීය. හෙතෙම යහළුවා වෙත එළඹ ‘යහළු’ සිරිවඩ්ඪ, මම පැවැදිව මොක්ෂධර්මය සොයමි. ඔබ මා සමඟ පැවිදි වීමට හැක්කෙහිද නොහැක්කෙහිදැයි ඇසීය. නොහැක්කෙමි, යහළුව, ඔබම පැවිදි වන්නෙහි’යි කීය. හෙතෙම, පරලොව යන්නාහු යහළුවකු හෝ නෑමිතුරන් හෝ ගෙනගියෝ නම්නැත. තමා කළදෙය තමාටම වෙයි’යි සිතීය. ඉක්බිති රුවන්ගබඩාව අරවා දුගීමාගීයාචකයන්ට මහදන්දී පර්වතපාදයට පිවිස සෘෂිපැවිද්දෙන් පැවිදිවිය. ඔහුට එකෙක් දෙදෙනෙක් තිදෙනෙක්යයි මෙසේ අනුපැවිද්දෙන් පැවිදිවූ සිවුසැත්තෑදහසක් පමණවූ ජටිලයෝවූහ. හෙතෙම පංචාභිඥා අෂ්ටසමාපත්තීන් උපදවා ඒ ජටිලයන්ටද කසිණපරිකර්මය කියාදුන්නේය. ඔහු සියල්ලෝද පංචාභිඥාද අෂ්ටසමාපත්තීන්ද ඉපදෙව්වාහුය.
එකල්හි අනොමදස්සී නම් බුදුරජාණන්වහන්සේ ලොව පහළවූසේක. නුවර චන්දවතී නම් වූයේය. පියා යසවන්ත නම්වූ ක්ෂත්රියයායි. මව යශෝධරා නම් වූ දේවියයි. බෝධිය කුඹුක් ගසයි. නිසභ තෙරුන්ද අනෝම තෙරුන්ද යන දෙදෙනා දැගසව්වෝයි. උපස්ථායකයා වරුණ තෙරනම්වූයේයි. සුන්දරාද සුමනාද යනු අග්‍රශ්‍රාවිකා දෙදෙනායි. උන්වහන්සේට ආයුෂ (අවුරුදු) ලක්ෂයක් වූයේය. සිරුර අටපනස් රියන් උස් වූයේයි. සිරුරු පැහැය දොළොස් යොදුනක් පැතිරිණි. භික්ෂූන් ලක්ෂයක් පිරිවර ඇත්තෝවුසේක.
ඉක්බිති එක්දිනක් උදෑසන කල්හි මහාකරැණා සමවතින් නැඟිට ලොව බලනසේක් සරද තවුසා දැක ‘අද මා සරද තවුසා වෙත යාමේ හේතුවෙන් මහත් ධර්මදේශනාවක්ද වන්නේය. හෙතෙමේද අගසවු තනතුර පතන්නේය. ඔහුගේ යහළු සිරිඩ්ඪ කෙළෙඹියා දෙවැනි ශ්‍රාවක තනතුර (පතන්නේය) දෙසුම කෙළවර ඔහුගේ පිරිවර සිවුසැත්තෑ දහසක් ජටිලයෝ රහත්බවට පැමිණෙන්නාහුය. මා එහි යාමට වටනේය’යි තමාගේ පාසිවුරු ගෙන අන් කිසිවකු නොඅමතා සිංහයකු මෙන් ඒකචාරීවී සරද තවුසාගේ අතවැස්සන් පලාපල සඳහා ගිය කල්හි මාගේ බුදුබව දනීවායි සරද තවුසා බලාසිටියදීම අහසින් බැස පොළොවෙහි පිහිටි සේක. සරද තවුසා බුද්ධානුභාවයද උන්වහන්සේගේ ශරීරනිෂ්පත්තියද දැක ලක්ෂණ ශාස්ත්‍රය විමසා මේ ලක්ෂණයන්ගෙන් යුක්ත වූ තැනැත්තේ නම් ගිහිගෙහි වසන්නේ සක්විති රජ වෙයි. පැවිදිවන්නේ ලෝකයෙහි දුරුකළ මෝහාදිය ඇති බුදුකෙනෙක් වෙති. මේ පුරුෂයා නිසැකවම බුදුකෙනෙකැයි දැන පෙරගමන් කොට පසඟ පිහිටුවා වැඳ අසුනක් පනවා දුන්නේය. භාග්‍යවතුන්වහන්සේ පනවනලද අසුනෙහි වැඩහුන්සේක. සරද තවුසාද තමන්ට සුදුසු අසුනක් ගෙන එකත්පසෙක හුන්නේය.
එකල්හි සිවුසැත්තෑදහසක් ජටිලයෝ මිහිරිමිහිරිවූ ඔදවන් පලාපල ගෙන ඇදුරුවරයාගේ සමීපයට පැමිණියාහු බුදුන්වහන්සේද ඇදුරුවරයාද හුන්නාවූ අසුන් බලා, ‘ආචාරීනි, අපි මේ ලෝකයෙහි ඔබවහන්සේට වඩා උසස් වූවෙක් නැතැයි (සිතා) හැසිරෙමු. මේ පුරුෂයා ඔබවහන්සේට වඩා උසස්යයි හැඟේය’යි කීවාහුය. ‘දරුවනි, කුමක් කියහුද? අබැටක් සමඟ සැට අට ලක්ෂයක් යොදුන් උසැති මහමෙර සම කිරීමට කැමැත්තහුද? දරුවනි, සර්වඥවූ බුදුරදුන් සමඟ මා උවම් නොකරහු’යි තවුසා කීය. ඉක්බිති ඒ තවුසෝ ‘ඉදින් මෙතෙම ශ්‍රෙෂ්ඨ පුරුෂයෙක්නොවීනම් අපගේ ඇදුරුවරයා මෙබඳු උපමා නොඑළවන්නේය. මෙතෙම ඒකාන්තයෙන් මහාපුරුෂයකැ’යි (සිතා) සියල්ලෝම වැදහෙව හිසින් නැමඳූහ.