7. සතිපට්ඨාන විභඞ්ගය
454. සතිපට්ඨානයෝ සතර දෙනෙකි: මේ සස්නෙහි මහණ කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ සම්‍යග්ඥාන ඇත්තේ ස්මෘතිමත් වූයේ කාය සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට තමාගේ කයෙහි කය අනුව බලමින් වෙසෙයි, මෙරමාගේ කයෙහි කය අනුව බලමින් වෙසෙයි, කලෙක තමාගේ කයෙහි ද කලෙක මෙරමාගේ කයෙහි ද කය අනුව බලමින් වෙසෙයි. කෙලෙස් තවන වැර ඇතියේ සම්‍යග්ඥාන ඇතියේ ස්මෘතිමත් වූයේ වේදනා සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට තමාගේ වේදනාවන්හි වේදනාව අනුව බලමින් වෙසෙයි, මෙරමාගේ වේදනාවන්හි වේදනා අනුව බලමින් වෙසෙයි, කලෙක තමාගේ වේදනාවන්හි ද කලෙක මෙරමාගේ වේදනාවන්හි ද වේදනා අනුව බලමින් වෙසෙයි, කෙලෙස් තවන වැර ඇතියේ සම්‍යග්ඥාන ඇතියේ ස්මෘතිමත් වූයේ චිත්ත සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට තමාගේ චිත්තයෙහි සිත අනුව බලමින් වෙසෙයි, මෙරමාගේ චිත්තයෙහි සිත අනුව බලමින් වෙසෙයි, තමාගේ සිත්හි ද මෙරමාගේ සිත්හි ද සිත අනුව බලමින් වෙසෙයි, කෙලෙස් තවන වැර ඇතියේ සම්‍යග්ඥාන ඇතියේ ස්මෘතිමත් වූයේ (නීවරණාදී) ධර්‍ම සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට තමාගේ (නීවරණාදි) ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වෙසෙයි, මෙරමාගේ (නීවරණාදි) ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වෙසෙයි, තමා හා මෙරමාගේ (නීවරණාදි) ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වෙසේ.
455. කිසෙයින් මහණ තෙමෙ තමාගේ කයෙහි කය අනුව බලමින් වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ පාතෙලෙන් උඩ කෙසගින් යට (සරසැ) සිවි හිම් කොට ඇති තමාගේ කය නන් වැදැරුම් අසුචි පිරුණක් කොට ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: මේ කයෙහි කෙස් ඇත, ලොම් - නිය - දත් - සිවි - මස් - නහර - ඇට - ඇටමිඳුළු - වකුගඬ - හදවත - අක්මාව - දලබුව - බඩදිව - පෙණහලු - අතුණු - අතුණුබහන - නො පැසුණු අහර - පැසුණු අහර - පිත - සෙම - පූයා - ලෙහෙ - සෝදිය - මේදතෙල් - කඳුළු - වුරුණුතෙල් - කෙළ - මුකුණු - සඳමිදුළු - සුලුදිය ඇති. හෙතෙම ඒ කමටහන් නිමිත්ත ඇසුරු කෙරෙයි, වඩයි, පුනපුනා වඩයි, මොනොවට නිශ්චය කෙරෙයි. හෙතෙම ඒ නිමිත්ත ඇසුරු කොට වඩා බහුල කොට මැනැවින් නිශ්චය කොට මෙරමාගේ කයෙහි (තමාගේ) සිත එළවයි.
කිසෙයින් මහණ මෙරමාගේ කයෙහි කය පුනපුනා බලමින් වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ පාතෙලෙන් උඩ කෙසගින් යට සිවිපිරියත් කොට ඇති මෙරමාගේ කය නන් වැදැරුම් අසුචි පිරුණක් කොට ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: මේ කයෙහි කෙස් ඇත, ලොම් - නිය - දත් - සිවි - මස් - නහර - ඇට - ඇටමිඳුළු - වකුගඬ - හදවත - අක්මාව - දලබුව - බඩදිව - පෙණහලු - අතුණු - අතුණුබහන - නො පැසුණු අහර - පැසුණු අහර - පිත - සෙම - පූයා - ලෙහෙ - සෝදිය - මේදතෙල් - කඳුළු - වුරුණුතෙල් - කෙළ - මුකුණු - සඳමිදුළු - සුලුදිය ඇති. හෙතෙම ඒ කමටහන් නිමිත්ත ආසේවන කෙරෙයි, වඩයි, පුනපුනා වඩයි, මොනොවට නිශ්චය කෙරෙයි. හෙතෙම ඒ නිමිත්ත ආසේවන කොට වඩා, පුනපුනා වඩා, මැනැවින් නිශ්චය කොට තමා හා මෙරමාගේ කයෙහි (තමාගේ) සිත එළවයි.
කිසෙයින් මහණ අධ්‍යාත්ම වූ ද බාහිර වූ ද කයෙහි කායානුපස්සීව වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ පාතෙලෙන් උඩ කෙසගින් යට සිවිපිරියත් කොට ඇති අධ්‍යාත්ම වූ ද බාහිර වූ ද කය නන්වැදෑරුම් අසුචි පිරුණක් කොට ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: මේ කයෙහි කෙස් ඇත, ලොම් - නිය - දත් - සිවි - මස් - නහර - ඇට - ඇටමිඳුළු - වකුගඬ - හදවත - අක්මාව - දලබුව - බඩදිව - පෙණහලු - අතුණු - අතුණුබහන - නො පැසුණු අහර - පැසුණු අහර - පිත - සෙම - පූයා - ලෙහෙ - සෝදිය - මේදතෙල් - කඳුළු - වුරුණුතෙල් - කෙළ - මුකුණු - සඳමිදුළු - සුලුදිය ඇති. මෙසෙයින් මහණ කෙලෙස් තවන වැර ඇතියේ සම්‍යග්ඥාන ඇතියේ ස්මෘතිමත් වූයේ කාය සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට කලෙක තමාගේ කයෙහි කලෙක මෙරමාගේ කයෙහි කායානුපස්සී ව වෙසේ.
456. අනුපස්සී යනු: එහි අනුපස්සනා කවර යත්: යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් … අමෝහයෙක් ධර්‍මවිචයෙක් සම්‍යග්දෘෂ්ටියක් වේ ද, මේ ‘අනුපස්සනා’ යි කියනු ලැබේ. මේ අනුපස්සනායෙන් යුක්ත වූයේ සමුපේත වූයේ එළඹ සිටියේ මොනොවට එළඹ සිටියේ නො වෙන් වූයේ පිරිපුන් වූයේ සමන්‍විත වූයේ යි. එහෙයින් ‘අනුපස්සී’ යි කියනු ලැබේ.
විහරති යනු: ඉරියවු පවත්වයි, ඉරියවු උපදවයි, ඉරියවු රකියි, යපනය කෙරෙයි, යාපනය කෙරෙයි, හැසිරෙයි, වෙසෙයි, එහෙයින් ‘විහරති’ යි කියනු ලැබේ.
ආතාපී යනු: එහි ආතප්ප කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද, මේ ‘ආතප්ප’ යි කියනු ලැබේ. මේ ආතප්පයෙන් යුක්ත වූයේ සමුපේත වූයේ එළඹ සිටියේ මොනොවට එළඹ සිටියේ නො වෙන් වූයේ පිරිපුන් වූයේ සමන්‍විත වූයේ යි. එහෙයින් ‘ආතාපී’ යි කියනු ලැබේ.
සම්පජානෝ යනු: එහි ‘සම්පජඤ්ඤ’ කවරෙ යත්: යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් … අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් වේ ද, මේ ‘සම්පජඤ්ඤ’ යි කියනු ලැබේ. මේ ‘සම්පජඤ්ඤයෙන්’ යුක්ත වූයේ සමුපේත වූයේ එළඹ සිටියේ මොනොවට එළඹ සිටියේ නො වෙන් වූයේ පරිපූර්‍ණ වූයේ සමන්‍වාගත වූයේ යි. එහෙයින් ‘සම්පජාන’ යි කියනු ලැබේ.
සතිමා යනු: එහි ‘සති’ කවර යත්: යම් ස්මෘතියක් අනුස්මෘතියක් … සම්‍යක් ස්මෘතියක් වේ ද, මේ ‘සති’ යි කියනු ලැබේ. මේ සතියෙන් උපේත වූයේ සමුපේත වූයේ එළඹ සිටියේ මොනොවට එළඹ සිටියේ නො වෙන වූයේ පරිපූර්‍ණ වූයේ සමන්‍වාගත වූයේ යි, එහෙයින් ‘සතිමා’ යි කියනු ලැබේ.
විනෙය්‍ය ලෝකෙ අභිජ්ඣාදෝමනස්සං යනු: එහි ‘ලෝක’ කවරෙ යත්: එ ම කය ලෝක යැ, පඤ්චෝපාදානස්කන්‍ධයෝ ද ලෝක යැ, මේ ‘ලෝක’ යි කියනු ලැබේ.
එහි ‘අභිජ්ඣා’ කවර යත්: යම් රාගයෙක් බලවත් රාගයෙක් … චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘අභිජ්ඣා’ යි කියනු ලැබේ.