370. අකුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි, ශබ්දාලම්බන වේවයි, ගන්‍ධාලම්බන වේවයි, රසාලම්බන වේවයි, ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි, ධර්‍මාලම්බන වේවයි, යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගත වූ මිථ්‍යාදෘෂ්ටිය හා ඒකෝත්පාදාදි ප්‍රකාරයෙන් යුක්ත වූ අකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි. සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි. විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි. නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි. ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි. වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි. උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි. ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුක්රැස උපදනේ වේ.
371. එහි අවිද්‍යා කවර යත්: යම් සිව්සස් නො දැනීමෙක් නො දැකීමෙක් අනවබෝධයෙක් අනනුබෝධයෙක් අසම්බෝධයෙක් අප්‍රතිවේධයෙක් (අනිත්‍යාදි සාමාන්‍ය හෙයින්) මොනොවට නො ගැනීමෙක් හාත්පසින් නො බැසගැනීමෙක් සමව නො බැලීමෙක් ප්‍රත්‍යවේක්‍ෂා නො කිරීමෙක් ප්‍රත්‍යක්‍ෂ නො කිරීමෙක් දුර්මේධ්‍ය (අපවිත්‍ර) බවෙක් බාල්‍යයෙක් අසම්‍යග්ඥානයෙක් මෝහයෙක් ප්‍රමෝහයෙක් සම්මෝහයෙක් අවිද්‍යාවක් අවිද්‍යාඕඝයෙක් අවිද්‍යායෝගයෙක් අවිද්‍යාඅනුශයයෙක් අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථානයෙක් අවිද්‍යාපරිඝයෙක් මෝහ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘අවිද්‍යා’ යි කියනු ලැබේ.
එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් වූ සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සංචේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් වූ සංස්කාර යයි කියනු ලැබේ.
එහි සංස්කාරප්‍රත්‍යයෙන් වූ විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් චිත්තයෙක් (පණ්ඩර) භවාඞ්ගචිත්තයෙක් මනසඞ්ඛ්‍යාත මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන’ යි කියනු ලැබේ.
එහි විඥානප්‍රත්‍යයෙන් (උපදනා) නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥා ස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි. මේ ‘විඥානප්‍රත්‍යයෙන් නාම’ යයි කියනු ලැබේ.
එහි නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් හෘදයෙක් පණ්ඩරයෙක් මන සඞ්ඛ්‍යාත මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන යයි කියනු ලැබේ.
එහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශ කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කරන අයුරෙක් ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ ෂෂ්ඨායතන ප්‍රත්‍යයෙන් ස්පර්‍ශ යයි කියනු ලැබේ.
එහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා කවර යත්: යම් චෛතසික වූ මිහිරි බවෙක් චෛතසික වූ සුඛයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් සාතසුඛවේදයිතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් සාතසුඛවේදනායෙක් වේ ද, මේ ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා යි කියනු ලැබේ.
එහි වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණා කවර යත්: යම් රාගයෙක් බලවත් රාගයෙක් අනුනයෙක් අනුරෝධයෙක් (ඇලීමෙක්) නන්‍දියෙක් නන්‍දිරාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණා යයි කියනු ලැබේ.
එහි තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදාන කවරෙ යත්: යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් විරූපදෘෂ්ටියෙක් දෘෂ්ටිවිෂ්පන්‍දිතයෙක් දෘෂ්ටි සංයෝජනයෙක් ග්‍රාහයෙක් පිහිටා සිටීමෙක් බැසැගෙන සිටීමෙක් පරාමර්‍ශයෙක් කුත්සිත මාර්‍ගයෙක් මිථ්‍යාපථයෙක් මිථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදාන යි කියනු ලැබේ.
එහි උපාදානප්‍රත්‍යයෙන් භව කවරෙ යත්: උපාදානය තබා වේදනාස්කන්‍ධය සංඥාස්කන්‍ධය සංස්කාරස්න්‍ධය විඥානස්කන්‍ධය යන මේ උපාදානප්‍රත්‍යයෙන් භව යයි කියනු ලැබේ.
එහි භවප්‍රත්‍යයෙන් ජාති කවර යත්: ඒ ඒ ධර්‍මයන්ගේ යම් ඉපැද්මෙක් මොනොවට ඉපැද්මෙක් නිපැද්මෙක් වෙසෙසින් නිපැද්මෙක් පහළවීමෙක් වේ ද, මේ භවප්‍රත්‍යයෙන් ජාති යයි කියනු ලැබේ.
එහි ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ කවරෙ යත්: ජරායෙක් ඇත, මරණයෙක් ඇති.
එහි ජරා කවර යත්: ඒ ඒ ධර්‍මයන්ගේ යම් දිරීමෙක් දිරන බවෙක් ආයුෂයාගේ පිරිහීමෙක් වේ ද, මේ ජරා යි කියනු ලැබේ.
එහි මරණ කවරෙ යත්: ඒ ඒ ධර්‍මයන්ගේ යම් ක්‍ෂය වීමෙක් ව්‍යය වීමෙක් බිඳීමෙක් හාත්පසින් බිඳීමෙක් අනිත්‍ය බවෙක් අතුරුදහන් වීමෙක් වේ ද, මේ මරණ යි කියනු ලැබේ. මෙසේ මේ ජරාව ද, මේ මරණය ද යන මේ ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ යි කියනු ලැබේ.
‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යනු මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සඞ්ගතිය වෙයි. සමාගමය වෙයි. සමවධානය වෙයි. ප්‍රාදුර්‍භාවය වෙයි. එහෙයින් ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි කියනු ලැබේ.