255. ධාතූහු සදෙනෙකි: පඨවිධාතු ය, ආපෝධාතු ය, තේජෝධාතු ය, වායෝධාතු ය, ආකාසධාතු ය, විඤ්ඤාණධාතු යි.
256. එහි පඨවිධාතු කවර යත්: පෘථිවිධාතු දෙ කොටසෙකි: අධ්‍යාත්මික වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇති.
එහි ආධ්‍යාත්මික පෘථිවිධාතු කවර යත්: අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ (තමා කෙරෙහි පිහිටි) කර්‍කශ වූ පරුෂ වූ කර්‍කශභාවය ඇති කර්‍කශස්වභාව ඇති අධ්‍යාත්ම වූ උපාදින්න (ශරීරස්ථ) වූ යම් කොටසෙක් ඇද්ද, ඒ මෙසේ ය: කෙස් ලොම් නිය දත් සිවි මස් නහර ඇට ඇටමිදුළු වකුගඩු හදවත් අක්මා දලබු බඩදිව පපුමස අතුණු අතුණුබහන නො පැසුණුඅහර පැසුණුඅහර ය. අන්‍ය වූ ද අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ දත වූ රළු වූ තදබව ඇති තදසැහැවි ඇති අධ්‍යාත්ම වූ ශරීරස්ථ වූ යම් කොටසෙක් හෝ ඇද්ද, මේ ආධ්‍යාත්මිකපෘථිවිධාතු යි කියනු ලැබේ.
එහි බාහිර වූ පෘථිවිධාතු කවර යත්: කර්‍කශ වූ රළු වූ රළුබව ඇති රළුසැහැවි ඇති බාහ්‍ය වූ අනුපාදින්න වූ යම් බාහිර කොටසෙක් වේ ද, ඒ මෙසේ ය: යකඩ ලොහො හෙළතුඹු කළුතුඹු රිදී මුතු මැණික් වෙරළුමිණි සක් සල පබළ කහවන රන් රත්මිණි මැසිරිගල් තණ දඬුකඩ කැට කැබිලිති පොළෝ පහණ පවු ය, අන්‍ය වූ ද බාහිර වූ කර්‍කශ වූ රළු වූ කැකුළුබවට ගිය බාහිර වූ අනුපාදින්න වූ යමක් හෝ ඇද්ද, මේ බාහිරපෘථිවිධාතු යි කියනු ලැබේ.
යම් ආධ්‍යාත්මිකපෘථිවිධාතුවකුත් වේ ද යම් බාහිරපෘථිවිධාතුවකුත් වේ ද එය එක් රැස් කොට හකුළුවා මේ පෘථිවිධාතු යි කියනු ලැබේ.
257. එහි ආපෝධාතු කවර යත්: ආපෝධාතු දෙකොටසෙකි: ආධ්‍යාත්මික වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇති.
එහි අධ්‍යාත්මිකආපෝධාතු කවර යත්: අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ යම් ආපයෙක් ආපෝගතයෙක් ස්නේහයෙක් ස්නේහගතයෙක් අධ්‍යාත්ම වූ උපාදින්න වූ භූතරූපයාගේ බන්‍ධනභාවයෙක් වේ ද, ඒ මෙසේ ය: පිත ය සෙම ය. සැරව ය ලෙහෙය සෝදිය ය මේදස් ය කඳුළු ය වුරුණුතෙල ය කෙළ ය. සොටු ය සඳමිදුලු ය මූ ය, යළි අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ යම් ආපයෙක් ආපෝගතයෙක් ස්නේහයෙක් සිනෙහගතයෙක් අධ්‍යාත්ම වූ උපාදින්න වූ රූපයාගේ බන්‍ධනත්‍වයෙක් වේ ද, මේ ආධ්‍යාත්මික ආපෝධාතු යි කියනු ලැබේ.
එහි බාහිර ආපෝධාතු කවර යත්: බාහිර වූ යම් ආපයෙක් ආපෝගතයෙක් ස්නේහයෙක් ස්නේහගතයෙක් බාහිර වූ අනුපාදින්න (ශරීරස්ථ නො වූ) රූපයාගේ බන්‍ධනත්‍වයෙක් වේ ද ඒ මෙසේ ය: මුල්රස ය කඳරස ය පොතුරස ය පත්රස ය මල්රස ය පලරස ය, කිරි ය දිහි ය ගිතෙල් ය වෙඬරු ය (තල ආදි) තෙල් ය මිහි ය පැණි ය භූමිස්ථ වූ හෝ ආකාශස්ථ වූ හෝ දිය ය, යලි අන්‍ය වූ ද බාහිර වූ යම් ආපයෙක් ආපෝගතයෙක් ස්නේහයෙක් ස්නේහගතයෙක් බාහිර වූ අනුපාදින්න වූ රූපයාගේ බන්‍ධනත්‍වයෙක් වේ ද, මේ බාහිර ආපෝධාතු යි කියනු ලැබේ.
යම් ආධ්‍යාත්මික අබ්ධාතුවකුත් යම් බාහිර අබ්ධාතුවකුත් වේ ද එය එක්රැස් කොට හකුළුවා මේ ආපෝධාතු යි කියනු ලැබේ.
258. එහි තේජෝධාතු කවර යත්: තේජෝධාතු දෙ කොටසෙකි: ආධ්‍යාත්මික වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇති.
එහි ආධ්‍යාත්මිකතේජෝධාතු කවර යත්: අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ යම් තේජසෙක් තේජෝගතයෙක් උණුසුම් අයුරෙක් උණුසුම් බවෙක් බලවත් උණුසුමෙක් බලවත් උණුසුම් බවෙක් අධ්‍යාත්ම වූ උපාදින්නයෙක් වේ ද, ඒ මෙසේ ය: යම් තේජසකින් තැවේ ද යමෙකින් දිරායේ ද යමෙකින් දැවේ ද වැළඳු පී කෑ රසවිඳි දැය මැනැවින් පැසීමට යේ ද, යලි අන්‍ය වූ හෝ අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ තේජසෙක් තේජෝගතයෙක් හුණුඅයුරෙක් හුණු බවෙක් උණුසුම් අයුරෙක් උණුසුම් බවෙක් අධ්‍යාත්ම වූ උපාදින්නයෙක් වේ ද, මේ ආධ්‍යාත්මික වූ තේජෝධාතු යි කියනු ලැබේ.
එහි බාහිර තේජෝධාතු කවර යත්: බාහිර වූ යම් තේජසෙක් තේජෝගතයෙක් උණු අයුරෙක් උණු බවෙක් උණුසුම් අයුරෙක් උණුසුම් බවෙක් බාහිර වූ අනුපාදින්නයෙක් වේ ද, ඒ මෙසේ ය: දරගිනි ය පතුරුගිනි ය තණගිනි ය ගොමවැරැටිගිනි ය දහවියා ගිනි ය කසළගිනි ය සෙනගිනි ය ගිනිතැවුලි ය හිරුතැවුලි ය දඬුරැසෙහි තැවුලි ය තණ රැසෙහි තැවුලි ය ධාන්‍යරැසෙහි තැවුලි ය භාණ්ඩ රැසෙහි තැවුලි ය, තවද අන්‍ය වූත් බාහිර වූ තේජසෙක් තේජෝගතයෙක් උස්මායෙක් උස්මාගතයෙක් උසුමයෙක් උසුමගතයෙක් බාහිර වූ අනුපාදින්න වූයෙක් ඇද්ද, මේ බාහිරතේජෝධාතු යි කියනු ලැබේ.
යම් ආධ්‍යාත්මිකතේජෝධාතුවකුත් වේ ද යම් බාහිරතේජෝධාතුවකුත් වේ ද ඒ සියල්ල එක්රැස් කොට හකුළුවා මේ තේජෝධාතු යි කියනු ලැබේ.
259. එහි වායෝධාතු කවර යත්: වායෝධාතු දෙ කොටසෙකි: ආධ්‍යාත්මික වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇති.
එහි ආධ්‍යාත්මිකවායෝධාතු කවර යත්: අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ යම් වායුවෙක් වායෝගතයෙක් අධ්‍යාත්ම වූ උපාදින්න වූ රූපයාගේ පිරුණු බවෙක් වේ ද ඒ මෙසේ ය: ඌර්‍ධවඞ්ගමවාත ය අධෝගමවාත ය කුසෙහි වූ වාත ය අතුණු තුළ වූ වාත ය අඟපසෙහි හැසිරෙන වාත ය (සඳබහන් සිඳින) ශස්ත්‍රකවාත ය (හදවත පළන) ක්‍ෂුරක වාත ය (හදමස් උපුරන) උත්පාටකවාත ය ආශ්වාස ය ප්‍රශ්වාස ය මෙසේ වූ හෝ යලි අන්‍ය වූ හෝ අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ වායුවෙක් වායෝගතයෙක් අධ්‍යාත්ම වූ උපාදින්න වූ රූපයාගේ යම් පිරුණු බවෙක් ඇද්ද, මේ අධ්‍යාත්මිකවායෝධාතු යි කියනු ලැබේ.
එහි බාහිරවායෝධාතු කවර යත්: බාහිර වූ යම් වායුවෙක් වායෝගතයෙක් බාහිර වූ අනුපාදින්න වූ රූපයාගේ පිරුණු බවෙක් වේ ද, ඒ මෙසේ ය: පෙරදිගින් හැමූ වාත ය, පැළදිගින් හැමූ වාත ය උතුරුදිගින් හැමූ වාතය දකුණුදිගින් හැමූ වාත ය රජස් සහිත වාත ය රජස් රහිත වාත ය සිහිල් වාත ය හුණු වාත ය මඳ වාත ය සැඬසුළඟ ය වැසිසුළඟ ය වේරම්බවාත ය පියාපත්සුළඟ ය ගරුඬවාත ය තල්වැටසුළඟ ය විජිනිසුළඟ ය යලි අන්‍ය වූ ද බාහිර වූ වායුවෙක් වායෝගතයෙක් බාහිර වූ අනුපාදින්න වූ රූපයාගේ යම් පිරුණු බවෙක් හෝ ඇද්ද, මේ බාහිරවායෝධාතු යි කියනු ලැබේ.
යම් ආධ්‍යාත්මික වූ වායෝධාතුයෙකුත් වේ ද යම් බාහිර වූ වායෝධාතුයෙකුත් වේ ද ඒ සියල්ල එක්රැස් කොට හකුළුවා මේ වායෝධාතු යි කියනු ලැබේ.
260. එහි ආකාසධාතු කවර යත්: ආකාසධාතු දෙ කොටසෙකි: ආධ්‍යාත්මික වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇති.