1074. දේවා යනු: දෙවියෝ තුන්දෙනෙකි. සම්මුතිදෙවියෝ යැ, උත්පත්තිදෙවියෝ යැ, විශුද්ධිදෙවියෝ යි. සම්මුතිදෙවියෝ නම්: අභිෂේක ලත් රජවරු යැ, රාජදේවීහු යැ, රාජකුමාරයෝ යි. උත්පත්තිදෙවියෝ නම්: සිවුමහරජයෙහි දෙවියන් පටන් කොට එයින් මතුයෙහි දෙවියෝ යැ. විශුද්ධිදෙවියෝ නම්: රහත්හු යි.
1075. දන් දී සිල් සමාදන් වැ පෙහෙවස්කම් කොට කොහි උපදී ද යත්:
දන් දී සිල් සමාදන් වැ පෙහෙවස්කම් කොට ඇතැම් කෙනෙක් ගෘහපතිමහාසාරයන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් බ්රාහ්මණමහාසාරයන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් ක්ෂත්රිය මහාසාරයන්ගේ සහභාවයට පැමිණෙත්. ඇතැම් කෙනෙක් චාතුම්මහාරාජිකදෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් තාවතිංසදෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් යාමදෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් තුසිතදෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් නිම්මාණරතීදෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් පරනිම්මිතවසවත්තීදෙවියන්ගේ සහභාවයට පැමිණෙත්.
1076. මිනිසුන්ගේ ආයුප්රමාණය කෙතෙක යත්: අවුරුදු සියයෙකි. මඳක් වැඩි වූ හෝ යි. (දෙසියයට නො පැමිණි යයි සේ යි.)
1077. චාතුම්මහාරාජික දෙවියනට ආයුප්රමාණය කෙතෙක යත්: මිනිසුන්ගේ අවුරුදු පනසෙක් සියුමහරජයෙහි වැසි දෙවියනට එක් රෑදාවලෙක් වෙයි. ඒ රාත්රියෙන් තිස්රැයෙක් මසෙක් වෙයි. ඒ මාසයෙන් දොළොස්මසක් ඇති සංවත්සරයෙක් වෙයි. ඒ සංවත්සරයෙන් දිව්ය වූ පන්සියක් හවුරුදු චාතුම්මහාරාජික දෙවියනට ආයුප්රමාණ යි. මිනිස්ගණනින් කෙතෙක් වෙයි යත්: අවුරුදු අනූලක්ෂයෙකි.
1078. තව්තිසාවැසි දෙවියනට ආයුප්රමාණ කෙතෙක යත්: මිනිසුන් පිළිබඳ යම් අවුරුදු සියයෙක් වේ ද, තෙල තව්තිසා වැසි දෙවියනට එක් රෑදාවලෙක් වෙයි. ඒ රාත්රියෙන් තිස්රැයෙක් මාසයෙක. ඒ මසින් දොළොස්මසක් ඇති සංවත්සරයෙක් වෙයි. ඒ සංවත්සරයෙන් හවුරුදු දහසෙක් තාවතිංසදෙවියනට ආයුප්රමාණ යි. මිනිස් ගණනින් කෙතෙක් වෙයි යත්: හවුරුදු තුන්කෙළසැටලක්ෂයෙකි.
1079. යාමදෙවියනට ආයුප්රමාණ කෙතෙක යත්: මිනිසුන් පිළිබඳ හවුරුදු දෙසියයෙක් යාමදෙවියනට එක් රෑදාවලෙක් වෙයි. ඒ රාත්රියෙන් තිස්රැයෙක් මසෙක. ඒ මසින් දොළොස්මසක් ඇති හවුරුද්දෙක් වෙයි. ඒ හවුරුද්දෙන් දිව්ය වූ දෙදහසෙක් හවුරුදු යාමදෙවියනට ආයුප්රමාණ යි. මිනිස්ගණනින් කෙතෙක් වෙයි යත්: හවුරුදු තුදුස්කෙළසතලිස්ලක්ෂයෙකි.
1080. තුසිතදෙවියනට ආයුප්රමාණ කෙතෙක යත්: මිනිසුන් පිළිබඳ හවුරුදු සාරසියයෙක් තුසිත දෙවියනට එක් රාත්රින්දිවයෙක් වෙයි. ඒ රාත්රියෙන් තිස්රැයෙක් මාසයෙක. ඒ මසින් දොළොස්මසක් ඇති හවුරුද්දෙක් වෙයි. ඒ හවුරුද්දෙන් දිව්ය වූ හවුරුදු සාරදහසක් තුසිත දෙවියනට ආයුප්රමාණ යි. මිනිස් ගණනින් කෙතෙක් වෙයි යත්: සත්පනස්කෙළසැටලක්ෂයක් හවුරුදු වේ.
1081. නිම්මාණරතීදෙවියනට ආයුප්රමාණ කෙතෙක යත්: මිනිසුන්ගේ හවුරුදු අටසියයක් නිම්මාණරතීදෙවියනට එක් රෑදාවලෙක් වෙයි. ඒ රාත්රියෙන් තිස්රැයෙක් මාසයෙක. ඒ මසින් දොළොස්මසක් ඇති හවුරුද්දෙක් වෙයි. ඒ හවුරුද්දෙන් දිව්ය වූ අටදහසක් හවුරුදු නිම්මාණරතීදෙවියනට ආයුප්රමාණ යි. මිනිස්ගණනින් කෙතෙක් හවුරුදු වෙයි යත්: දෙසියතිස්කෙළසතලිස්ලක්ෂයක් හවුරුදු වේ.
1082. පරනිම්මිතවසවත්තී දෙවියනට කෙතෙක් ආයුප්රමාණ වෙයි යත්: මිනිසුන් පිළිබඳ එක්දහස්සසියක් හවුරුදු පරනිම්මිතවසවත්තී දෙවියනට එක් රාත්රින්දිවයෙක් වෙයි. ඒ රාත්රියෙන් තිස්රැයෙක් මාසයෙක. ඒ මසින් දොළොස්මසක් ඇති සංවත්සරයෙක් වෙයි. ඒ සංවත්සරයෙන් දිව්ය වූ සොළොස්දහසක් හවුරුදු පරනිම්මිතවසවර්තී දෙවියනට ආයුප්රමාණ වෙයි. මිනිස්ගණනින් කෙතෙක් වෙයි යත්: නවසියඑක්විසිකෙළසැටලක්ෂයක් හවුරුදු වේ යයි.