18. ධම්මහදය විභඞ්ගය
1.
1020. ස්කන්‍ධයෝ කෙතෙක් ද, ආයතනයෝ කෙතෙක් ද, ධාතූහු කෙතෙක් ද, සත්‍යයෝ කෙතෙක් ද, ඉන්‍ද්‍රියයෝ කෙතෙක් ද, හේතූහු කෙතෙක් ද, ආහාරයෝ කෙතෙක් ද, ස්පර්‍ශයෝ කෙතෙක් ද, වේදනා කෙතෙක් ද, සංඥා කෙතෙක් ද, චේතනා කෙතෙක් ද, චිත්තයෝ කෙතෙක් ද යත්:
1021. ස්කන්‍ධ පසෙකි, ආයතන දොළොසෙකි, ධාතු අටළොසෙකි, සත්‍ය සතරෙකි, ඉන්‍ද්‍රිය දෙවිස්සෙකි, හේතු නවයෙකි, ආහාර සතරෙකි, ස්පර්‍ශ සතෙකි, වේදනා සතෙකි, සංඥා සතෙකි, චේතනා සතෙකි, චිත්ත සතෙකි.
1022. එහි පඤ්චස්කන්‍ධයෝ කවරහ යත්: රූපස්කන්‍ධ ය, වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ ය, විඥානස්කන්‍ධ යි. මොහු පඤ්චස්කන්‍ධයහ යි කියනු ලැබෙත්.
1023. එහි ද්වාදශායතනයෝ කවරහ යත්: චක්‍ෂුරායතන ය, රූපායතන ය, ශ්‍රෝත්‍රායතන ය, ශබ්දායතන ය, ඝ්‍රාණායතන ය, ගන්‍ධායතන ය, ජිහ්වායතන ය, රසායතන ය, කායායතන ය, ස්ප්‍රෂ්ටව්‍යායතන ය, මනායතන ය, ධර්‍මායතන යි. මොහු ද්වාදශායතනහ යි කියනු ලැබෙත්.
1024. එහි අටළොස්ධාතූහු කවරහ යත්: චක්‍ෂුර්ධාතු ය, රූපධාතු ය, චක්‍ෂුර්විඥානධාතු ය, ශ්‍රෝත්‍රධාතු ය, ශබ්දධාතු ය, ශ්‍රෝත්‍රවිඥානධාතු ය, ඝ්‍රාණධාතු ය, ගන්‍ධධාතු ය, ඝ්‍රාණවිඥානධාතු ය, ජිහ්වාධාතු ය, රසධාතු ය, ජිහ්වාවිඥානධාතු ය, කායධාතු ය, ස්ප්‍රෂ්ටව්‍යධාතු ය, කායවිඥානධාතු ය, මනෝධාතු ය, ධම්මධාතු ය, මනෝවිඥානධාතු යි. මොහු අටළොස්ධාතූහු වෙත්.
1025. එහි සතර සත්‍යයෝ කවරහ යත්: දුඃඛසත්‍යය, සමුදයසත්‍ය ය, නිරෝධසත්‍ය ය, මාර්‍ගසත්‍ය යි. මොහු සතර සත්‍යහ යි කියනු ලැබෙත්.
1026. එහි දෙවිසි ඉන්‍ද්‍රියයෝ කවරහ යත්: චක්‍ෂුරින්‍ද්‍රිය ය, ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය ය, ඝ්‍රාණේන්‍ද්‍රිය ය, ජිහ්වේන්‍ද්‍රිය ය, කායේන්‍ද්‍රිය ය, මනින්‍ද්‍රිය ය, ස්ත්‍රීන්‍ද්‍රිය ය, පුරුෂේන්‍ද්‍රිය ය, ජීවිතේන්‍ද්‍රිය ය, සුඛේන්‍ද්‍රිය ය, දුඃඛේන්‍ද්‍රිය ය, සෞමනස්‍යෙන්‍ද්‍රිය ය, දෞර්‍මනස්‍යෙන්‍ද්‍රිය ය, උපේක්‍ෂේන්‍ද්‍රිය ය, ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතින්‍ද්‍රිය ය, සමාධින්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය ය, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ය, අඤ්ඤින්‍ද්‍රිය ය, අඤ්ඤාතාවින්‍ද්‍රිය යි. මොහු දෙවිසි ඉන්‍ද්‍රියයෝ යි කියනු ලැබෙත්.
1027. එහි නවහේතූහු කවරහ යත්: කුශලහේතූහු තිදෙනෙකි, අකුශලහේතූහු තිදෙනෙකි, අව්‍යාකෘතහේතූහු තිදෙනෙකි. එහි තුන් කුශලහේතූහු කවරහ යත්: අලෝභය කුශලහේතු වෙයි, අද්වේෂය කුශලහේතු වෙයි, අමෝහය කුශලහේතු වේ, මොහු තුන් කුශලහේතූහු වෙත්. එහි තුන් අකුශලහේතූහු කවරහ යත්: ලෝභය අකුශලහේතු වෙයි, ද්වේෂය අකුශලහේතු වෙයි, මෝහය අකුශලහේතු වේ. මොහු තුන් අකුශලහේතූහු වෙත්. එහි තුන් අව්‍යාකෘතහේතූහු කවරහ යත්: කුශලකර්‍මයන්ගේ විපාක හෙයින් හෝ ක්‍රියාව්‍යාකෘතධර්‍මයන්හි හෝ අලෝභය, අද්වේෂය, අමෝහයි. මොහු තුන් අව්‍යාකෘතහේතූහු වෙත්. මොහු නවහේතූහුයි කියනු ලැබෙත්.
1028. එහි සතර ආහාරයෝ කවරහ යත්: කවලීකාරාහාර ය, ස්පර්‍ශාහාර ය, මනෝසඤ්චේතනාහාර ය, විඥානාහාර යි. මොහු සතර ආහාරයෝ යි කියනු ලැබෙත්.
1029. එහි සප්තස්පර්‍ශයෝ කවරහ යත්: චක්ඛුසම්ඵස්ස ය, සෝතසම්ඵස්ස ය, ඝානසම්ඵස්ස ය, ජිව්හාසම්ඵස්ස ය, කායසම්ඵස්ස ය, මනෝධාතුසම්ඵස්ස ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්ස යි. මොහු සප්තස්පර්‍ශහ යි කියනු ලැබෙත්.
1030. එහි සප්තවේදනා කවරහ යත්: චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනා ය, සෝතසම්ඵස්සයෙන් උපන් වේදනා ය, ඝානසම්ඵස්සයෙන් උපන් වේදනා ය, ජිව්හාසම්ඵස්සයෙන් උපන් වේදනා ය, කායසම්ඵස්සයෙන් උපන් වේදනා ය, මනෝධාතුසම්ඵස්සයෙන් උපන් වේදනා ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්සයෙන් උපන් වේදනා යි. මොහු සප්තවේදනා යි කියනු ලැබෙත්.
1031. එහි සප්තසංඥා කවරහ යත්: චක්ඛුසම්ඵස්සයෙන් උපන් සංඥා ය, සෝතසම්ඵස්සයෙන් උපන් සංඥා ය, ඝානසම්ඵස්සයෙන් උපන් සංඥා ය, ජිව්හාසම්ඵස්සයෙන් උපන් සංඥා ය, කායසම්ඵස්සයෙන් උපන් සංඥා ය, මනෝධාතුසම්ඵස්සයෙන් උපන් සංඥා ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්සයෙන් උපන් සංඥා යි. මොහු සප්තසංඥා යි කියනු ලැබෙත්.
1032. එහි සප්තචේතනා කවරහ යත්: චක්ඛුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, සෝතසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ඝානසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ජිව්හාසම්ඵස්සයෙන් උපන් චේතනා ය, කායසම්ඵස්සයෙන් උපන් චේතනා ය, මනෝධාතුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්සයෙන් උපන් චේතනා යි. මොහු සප්තචේතනා යි කියනු ලැබෙත්.
1033. එහි සප්තචිත්තයෝ කවරහ යත්: චක්‍ෂුර්විඥාන ය, ශ්‍රෝත්‍රවිඥාන ය, ඝ්‍රාණවිඥාන ය, ජිහ්වාවිඥාන ය, කායවිඥාන ය, මනෝධාතුය, මනෝවිඥානධාතු යි. මොහු සප්ත චිත්තයෝ යි කියනු ලැබෙත්.
2.
1034. කාමධාතුයෙහි ස්කන්‍ධයෝ කෙතෙක් ද, ආයතනයෝ කෙතෙක් ද, ධාතූහු කෙතෙක් ද, සත්‍යයෝ කෙතෙක් ද, ඉන්‍ද්‍රියයෝ කෙතෙක් ද, හේතූහු කෙතෙක් ද, සංඥා කෙතෙක් ද, චේතනා කෙතෙක් ද, චිත්තයෝ කෙතෙක් ද යත්:
කාමධාතුයෙහි ස්කන්‍ධ පසෙක, ආයතන දොළොසෙක, ධාතූහු අටළොසෙක, සත්‍ය තුනෙක, ඉන්‍ද්‍රිය දෙවිස්සෙක, හේතු නවයෙක, ආහාර සතරෙක, ස්පර්‍ශ සතෙක, වේදනා සතෙක, සංඥා සතෙක, චේතනා සතෙක, චිත්ත සතෙකි.
එහි කාමධාතුයෙහි පඤ්චස්කන්‍ධයෝ කවරහ යත්: රූපස්කන්‍ධ ය, වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ ය, විඥානස්කන්‍ධ යි. මොහු කාමධාතුයෙහි පඤ්චස්කන්‍ධයෝ යි කියනු ලැබෙත්.
එහි කාමධාතුයෙහි ද්වාදශායතනයෝ කවරහ යත්: චක්‍ෂුරායතන ය, රූපායතන ය, ශ්‍රෝතායතන ය, ශබ්දායතන ය, ඝ්‍රාණායතන ය, ගන්‍ධායතන ය, ජිහ්වායතන ය, රසායතන ය, කායායතන ය, ස්ප්‍රෂ්ට්‍යව්‍යායතන ය, මනායතන ය, ධර්‍මායතන යි. මොහු කාමධාතුයෙහි ද්වාදශායතනයෝ යි කියනු ලැබෙත්.
එහි කාමධාතුයෙහි අටළොස් ධාතූහු කවරහ යත්: චක්‍ෂුර්ධාතු ය රූපධාතු ය චක්‍ෂුර්විඥානධාතු ය, ශ්‍රෝත්‍රධාතු ය ශබ්දධාතු ය ශ්‍රෝත්‍රවිඥානධාතු ය, ඝ්‍රාණධාතු ය ගන්‍ධධාතු ය ඝ්‍රාණවිඥානධාතු ය, ජිහ්වාධාතු ය රසධාතු ය ජිහ්වාවිඥානධාතු ය, කායධාතු ය ස්ප්‍රෂ්ට්‍යව්‍යධාතු ය කායවිඥානධාතු ය, මනෝධාතු ය ධම්මධාතු ය මනෝවිඥානධාතු යි. මොහු කාමධාතුයෙහි අටළොස් ධාතුහ යි කියනු ලැබෙත්.