982. එහි පරිහාණියධර්‍මයෝ සදෙන කවරහ යත්: කම්හි ඇලුණු බව ය, කථායෙහි ඇලුණු බව ය, නිද්‍රායෙහි ඇලුණු බව ය, සඞ්ගණිකායෙහි ඇලුණු බව ය, සංසර්‍ගයෙහි ඇලුණු බව ය, ප්‍රපඤ්චයෙහි ඇලුණු බව යි. මොහු පරිහාණියධර්‍මයෝ සදෙන වෙත්.
983. එහි අන්‍ය වූ ද, පරිහාණියධර්‍මයෝ සදෙන කවරහ යත්: කම්හි ඇලුණු බව ය, කථායෙහි ඇලුණු බව ය, නිද්‍රායෙහි ඇලුණු බව ය, සඞ්ගණිකායෙහි ඇලුණු බව ය, දුබැසි බව ය, පාපමිත්‍ර බව යි. මොහු පරිහාණියධර්‍මයෝ සදෙන වෙත්.
984. එහි සෝමනස්සුපවිචාරයෝ සදෙන කවරහ යත්: ඇසින් රූපයක් දැක සොම්නසට කරුණු වූ රූපයෙහි සිත එළවයි. කනින් හඬක් අසා ... නැහැයෙන් ගඳක් අසා ... දිවින් රසක් විඳ ... කයින් පහසක් පැහැස ... මනසින් දහමක් දැන සොම්නසට කරුණු වූ ධර්‍මයෙහි සිත එළවයි. මොහු සෝමනස්සුපවිචාරයෝ සදෙන වෙත්.
985. එහි දෝමනස්සුපවිචාරයෝ සදෙන කවරහ යත්: ඇසින් රූපයක් දැක දොම්නසට කරුණු වූ රූපයෙහි සිත එළවයි. කනින් හඬක් අසා ... නැහැයෙන් ගඳක් අසා ... දිවින් රසක් විඳ ... කයින් පහසක් පැහැස ... මනසින් දහමක් දැන දොම්නසට කරුණු වූ ධර්‍මයෙහි සිත එළවයි. මොහු දෝමනස්සුපවිචාරයෝ සදෙන වෙත්.
986. එහි උපෙක්ඛුපවිචාරයෝ සදෙන කවරහ යත්: ඇසින් රූපයක් දැක උපේක්‍ෂාවට කරුණු වූ රූපයෙහි සිත එළවයි. කනින් හඬක් අසා ... නැහැයෙන් ගඳක් අසා ... දිවින් රසක් විඳ ... කයින් පහසක් පැහැස ... මනසින් දහමක් දැන උපේක්‍ෂාවට කරුණු වූ දහම්හි සිත එළවයි. මොහු උපෙක්ඛුපවිචාරයෝ සදෙන වෙත්.
987. එහි ගෘහශ්‍රිත සෞමනස්‍යයෝ සදෙන කවරහ යත්: මනවඩනා රූපයන්හි කාමාශ්‍රිත වූ චෛතසිකසාතයෙක් චෛතසිකසුඛයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් සාතසුඛවේදයිතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් සාතසුඛවේදනායෙක්, මනවඩනා ශබ්දයන්හි ... මනවඩනා ගන්‍ධයන්හි ... මනවඩනා රසයන්හි ... මනවඩනා ස්ප්‍රෂ්ටව්‍යයන්හි ... මනවඩනා දහම්හි කාමාශ්‍රිත වූ චෛතසික සාතයෙක් චෛතසික සුඛයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් සාතසුඛවේදයිතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් සාතසුඛවේදනායෙක් වේද, මොහු ගෘහශ්‍රිතසෞමනස්‍යයෝ සදෙන වෙත්.
988. එහි ගෘහශ්‍රිත දෞර්‍මනස්‍යයෝ සදෙන කවරහ යත්: අනිෂ්ට වූ රූපයන්හි ගෘහශ්‍රිත වූ චෛතසික අසාතයෙක් චෛතසික දුඃඛයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් අසාතදුඃඛවේදයිතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් අසාතදුඃඛවේදනායෙක්, අනිෂ්ට වූ ශබ්දයන්හි ... අනිෂ්ට වූ ගන්‍ධයන්හි ... අනිෂ්ට වූ රසයන්හි ... අනිෂ්ට වූ ස්ප්‍රෂ්ටව්‍යයන්හි ... අනිෂ්ට වූ ධර්‍මයන්හි ගෘහශ්‍රිත වූ චෛතසික අසාතයෙක් චෛතසික දුඃඛයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් අසාතදුඃඛවේදයිතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් අසාතදුඃඛවේදනායෙක් වේද, මොහු ‘ගෘහශ්‍රිත දෞර්‍මනස්‍යයෝ සදෙන’ වෙත්.
989. එහි ගෘහශ්‍රිතඋපේක්‍ෂාවෝ සදෙන කවරහ යත්: උපේක්‍ෂාවට කරුණු වූ රූපයන්හි ගෘහශ්‍රිත වූ චෛතසික නෛවසාතනාසාතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් උපේක්‍ෂාවේදයිතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් උපේක්‍ෂාවේදනායෙක්, උපේක්‍ෂාවට කරුණු වූ ශබ්දයන්හි ... උපේක්‍ෂාවට කරුණු වූ ගන්‍ධයන්හි ... උපේක්‍ෂාවට කරුණු වූ රසයන්හි ... උපේක්‍ෂාවට කරුණු වූ ස්ප්‍රෂ්ටව්‍යයන්හි ... උපේක්‍ෂාවට කරුණු වූ ධර්‍මයන්හි ගෘහශ්‍රිත වූ චෛතසික නෛවසාතනාසාතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් උපේක්‍ෂාවේදයිතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් උපේක්‍ෂාවේදනායෙක් වේද, මොහු ගෘහශ්‍රිත උපේක්‍ෂාවෝ සදෙන වෙත්.
990. එහි ෂඩ්දෘෂ්ටීහු කවරහ යත්: මාගේ ආත්මය ඇතැ යි හෝ සත්‍ය විසින් ස්ථිර විසින් ඔහුට දෘෂ්ටිය උපදියි. මාගේ ආත්මය නැතැ යි හෝ සත්‍ය විසින් ස්ථිර විසින් ඔහුට දෘෂ්ටිය උපදියි. (සංඥාස්කන්‍ධ සඞ්ඛ්‍යාත) ආත්මයෙන් (අවශෙෂස්කන්‍ධ සඞ්ඛ්‍යාත) ආත්මය දනිමි හෝ සත්‍ය විසින් ස්ථිර විසින් ඔහුට දෘෂ්ටිය උපදියි. ආත්මයෙන් අනාත්මය දනිමි හෝ සත්‍ය විසින් ස්ථිර විසින් ඔහුට දෘෂ්ටිය උපදියි. අනාත්මයෙන් ආත්මය දනිමි හෝ සත්‍ය විසින් ස්ථිර විසින් ඔහුට දෘෂ්ටිය උපදියි. නොහොත් යළි ඔහුට මෙබඳු දෘෂ්ටි යෙක් වෙයි: (කෙබඳු ය යත්) යමෙක් කථා කරනුයේ නම් විඳුනේ නම් ඒ ඒ තැන්හි දිගුකලක් කල්‍යාණපාපකකර්‍මයන්ගේ විපාකය අනුභව කෙරේ නම් ඒ මේ මාගේ ආත්මය වෙයි. හෙතෙම නූපන්නේ නො වූයේ ය, හෙතෙම නූපන්නේ නො වන්නේ ය, නිත්‍ය ය, ධ්‍රැව ය, අවිපරිණාමස්වභාව ඇත්තේ ය යි හෝ ඔහුට සත්‍ය විසින් ස්ථිර විසින් දෘෂ්ටිය උපදී. මොහු ෂඩ්දෘෂ්ටීහු වෙත්.
ෂට්ක යි.
991. එහි සප්තානුශයයෝ කවරහ යත්: කාමරාගානුශය ය, ප්‍රතිඝානුශය ය, මානානුශය ය, දෘෂ්ට්‍යනුශය ය, විචිකිත්සානුශය ය, භවරාගානුශය ය, අවිද්‍යානුශය යි. මොහු සප්තානුශය වෙත්.
992. එහි සප්තසංයෝජනයෝ කවරහ යත්: කාමරාගසංයෝජන ය, ප්‍රතිඝසංයෝජන ය, මානසංයෝජන ය, දෘෂ්ටිසංයෝජන ය, විචිකිත්සාසංයෝජන ය, භවරාගසංයෝජන ය, අවිද්‍යාසංයෝජන යි. මොහු සප්තසංයෝජනයෝ යි.
993. එහි සප්ත පර්‍ය්‍යුත්‍ථානයෝ කවරහ යත්: කාමරාගපර්‍ය්‍යුත්‍ථාන ය, ප්‍රතිඝපර්‍ය්‍යුත්‍ථාන ය, මානපර්‍ය්‍යුත්‍ථාන ය, දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන ය, විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන ය, භවරාගපර්‍ය්‍යුත්‍ථාන ය, අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන යි. මොහු සප්ත පර්‍ය්‍යුත්‍ථානයෝ යි.