948. එහි සතර ආස්‍රවයෝ කවරහ යත්: කාමාස්‍රව ය, භවාස්‍රව ය, දෘෂ්ට්‍යාස්‍රව ය, අවිද්‍යාස්‍රව යි. එහි කාමාස්‍රව කවර යත්: පඤ්චකාමගුණයෙහි යම් කාමච්ඡන්‍දයෙක්, කාමරාගයෙක්, කාමනන්‍දියෙක්, කාමතෘෂ්ණායෙක්, කාමස්නේහයෙක්, කාමපරිදාහයෙක්, කාමමූර්ඡායෙක්, කාමයන්හි ගැලීමෙක් වේ ද, මේ ‘කාමාස්‍රව’ යි කියනු ලැබේ.
එහි භවාස්‍රව කවරෙ යත්: රූපාරූපභවයන්හි යම් භවච්ඡන්‍දයෙක් ... භවජ්ඣොසානායක් වේ ද, මේ ‘භවාස්‍රව’ යි කියනු ලැබේ.
එහි දෘෂ්ට්‍යාස්‍රව කවරෙ යත්: ලෝකය ශාස්වතැ යි හෝ ලෝකය අශාශ්සවතයැ යි හෝ ලෝකය අන්ත ඇතැයි හෝ ලෝකය අන්ත නැතැයි හෝ හේ මැ ජීවය හේ මැ ශරීර යැ යි හෝ ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ යි හෝ සත්ත්‍ව තෙම මරණින් මතු වේ යැ යි හෝ සත්ත්‍ව තෙම මරණින් මතු නො වේ යැ යි හෝ සත්ත්‍ව තෙම මරණින් මතු වන්නේත් නො වන්නේත් වේ යැ යි හෝ සත්ත්‍ව තෙම මරණින් මතු නො ම වෙයි නො ද නො වේ යැ යි හෝ යම් මෙබඳු දෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘දෘෂ්ට්‍යාස්‍රව’ යි කියනු ලැබේ. හැම මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ට්‍යාස්‍රව වේ.
එහි අවිද්‍යාස්‍රව කවරෙ යත්: දුඃඛයෙහි නො දැනීම ය, දුඃඛසමුදයෙහි නො දැනීම ය, දුඃඛනිරෝධයෙහි නො දැනීම ය, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදායෙහි නො දැනීම ය, පූර්‍වාන්තයෙහි නො දැනීම ය, අවරාන්තයෙහි නො දැනීම ය, පූර්‍වාන්තාවරාන්තයෙහි නො දැනීම ය, ඉදංප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයන්හි නො දැනීම යි. යම් මෙබඳු නො දැනීමෙක් නො දැකීමෙක් ... අවිද්‍යාපරිඝයෙක් මෝහ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘අවිද්‍යාස්‍රව’ යි කියනු ලැබේ. මොහු සතර ආස්‍රව වෙත්.
949. එහි සතර ග්‍රන්‍ථයෝ ... සතර ඕඝයෝ ... සතර යෝගයෝ ... සතර උපාදානයෝ කවරහ යත්: කාමොපාදාන ය, දෘෂ්ට්‍යුපාදාන ය, ශීලව්‍රතොපාදාන ය, ආත්මවාදෝපාදාන යි. එහි කාමොපාදාන කවරෙ යත්: පඤ්චකාමගුණයෙහි යම් කාමච්ඡන්‍දයෙක්, කාමරාගයෙක්, කාමනන්‍දියෙක්, කාමතෘෂ්ණායෙක්, කාමස්නේහයෙක්, කාමපරිදාහයෙක්, කාමමූර්ඡායෙක්, කාමයෙහි බැසගැනීමෙක් වේ ද, මේ ‘කාමොපාදාන’ යි කියනු ලැබේ.
එහි දෘෂ්ට්‍යුපාදාන කවරෙ යත්: ‘දුන්දැයෙහි විපාක නැත, පූජායෙහි විපාක නැත ... යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත් නම් ඔහු නැතැ’ යි යම් මෙබඳු දෘෂ්ටියෙන් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘දෘෂ්ට්‍යුපාදාන’ යි කියනු ලැබේ. ශීලව්‍රතෝපාදානයත් ආත්මවාදොපාදානයත් තබා හැම මිථ්‍යාදෘෂ්ටිය ‘දෘෂ්ට්‍යුපාදාන’ යි.
එහි ශීලව්‍රතොපාදාන කවරෙ යත්: මෙ සස්නෙන් බැහැර මහණබමුණන්ගේ ශීලයෙන් ශුද්ධි ය, ව්‍රතයෙන් ශුද්ධි ය, ශීලව්‍රතයෙන් ශුද්ධි ය යි යම් මෙබඳු දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘ශීලව්‍රතොපාදාන’ යි කියනු ලැබේ.
එහි ආත්මවාදෝපාදාන කවරෙ යත්: මෙලොව ආර්‍ය්‍යයන් නො දක්නාසුලු, ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ, ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූ, සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂ ධර්‍මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂධර්‍මයෙහි අවිනීත වූ අශ්‍රැතවත් පෘථග්ජන තෙම රූපය ආත්මවශයෙන් විපරීතදෘෂ්ටියෙන් දකී. ආත්මය රූපවත් කොට හෝ රූපය ආත්මයෙහි ඇතැයි හෝ ආත්මය රූපයෙහි ඇතැයි හෝ විපරීතදෘෂ්ටියෙන් දකී. වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය ආත්මවශයෙන් විපරීතදෘෂ්ටියෙන් දකී. ආත්මය විඥානවත් කොට හෝ විඥානය ආත්මයෙහි ඇතැ යි හෝ ආත්මය විඥානයෙහි ඇතැ යි හෝ මෙබඳු දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘ආත්මවාදෝපාදාන’ යි කියනු ලැබේ. මොහු සතර උපාදානයෝ යි.
950. එහි සතර තෘෂ්ණෝත්පාදයෝ කවරහ යත්: චීවරහේතුයෙන් හෝ මහණහට උපදනා තෘෂ්ණාව උපදී. පිණ්ඩපාතහේතුයෙන් හෝ මහණහට උපදනා තෘෂ්ණාව උපදී. සේනාසනහේතුයෙන් හෝ මහණහට උපදනා තෘෂ්ණාව උපදී. මෙසේ භවාභව (පිණි ඉපිණි තෙල්, මිහි, පැණි ඈ) හේතුයෙන් හෝ මහණහට උපදනා තෘෂ්ණාව උපදී. මොහු සතර තෘෂ්ණෝත්පාදයෝ යි.
951. එහි සතර අගතිගමනයෝ කවරහ යත්: ඡන්‍දයෙන් (ප්‍රේමවශයෙන්) අගතියට යෙයි. ද්වේෂයෙන් අගතියට යෙයි. මෝහයෙන් අගතියට යෙයි. භය විසින් අගතියට යේ. යම් මෙබඳු අගතිගමනයෙක් (අකටයුතු කිරීමෙක්) ඡන්‍දගමනයෙක් වර්‍ගගමනයෙක් (නිම්නගාමී බැවින්) වාරිගමනයෙක් වේ ද, මොහු සතර අගති ගමනයෝ යි.
952. එහි සතර විපර්‍ය්‍යාසයෝ කවරහ යත්: අනිත්‍යවස්තුයෙහි නිත්‍ය යයි සංඥාවිපර්‍ය්‍යාස ය, චිත්තවිපර්‍ය්‍යාස ය, දෘෂ්ටිවිපර්‍ය්‍යාස ය, දුඃඛයෙහි සුඛ යයි සංඥාවිපර්‍ය්‍යාස ය, චිත්තවිපර්‍ය්‍යාස ය, දෘෂ්ටිවිපර්‍ය්‍යාස ය, අනාත්මයෙහි ආත්ම යයි සංඥාවිපර්‍ය්‍යාස ය, චිත්තවිපර්‍ය්‍යාස ය, දෘෂ්ටිවිපර්‍ය්‍යාස ය, අශුභයෙහි ශුභ යයි සංඥාවිපර්‍ය්‍යාස ය, චිත්තවිපර්‍ය්‍යාස ය, දෘෂ්ටිවිපර්‍ය්‍යාස යි. මොහු සතර විපර්‍ය්‍යාසයෝ යි.
953. එහි සතර අනාර්‍ය්‍යව්‍යවහාරයෝ කවරහ යත්: අදෘෂ්ටයෙහි (නො දුටුයෙහි) දෘෂ්ටවාදීත්‍ව ය, අශ්‍රැතයෙහි (නො ඇසුයෙහි) ශ්‍රැතවාදීත්‍ව ය, අමුතයෙහි (නො ගත් ගන්‍ධරසස්ප්‍රෂ්ටව්‍යයෙහි) මුතවාදීත්ව ය, අවිඥාතයෙහි (නො දත්තෙහි) විඥාතවාදීත්ව යි. මොහු ‘සතර අනාර්‍ය්‍යව්‍යවහාරයෝ’ යි.
954. එහි අනෙකුදු සතර අනාර්‍ය්‍යව්‍යවහාරයෝ කවරහ යත්: දෘෂ්ටයෙහි අදෘෂ්ටවාදීත්‍ව ය, ශ්‍රැතයෙහි අශ්‍රැතවාදීත්‍ව ය, මුතයෙහි අමුතවාදීත්‍ව ය, විඥාතයෙහි අවිඥාතවාදීත්‍ව යයි. මොහු සතර අනාර්‍ය්‍යව්‍යවහාරයෝ යි.
955. එහි සතර දුශ්චරිතයෝ කවරහ යත්: ප්‍රාණඝාත ය, අදත්තාදාන ය, කාමමිථ්‍යාචාර ය, මෘෂාවාද යි. මොහු සතර දුශ්චරිතයෝ යි.
956. එහි අනෙකුදු සතර දුශ්චරිතයෝ කවරහ යත්: මෘෂාවාද ය, පිශුනවචන ය, පරුෂවචන ය, සම්ඵප්‍රලාප යි. මොහු සතර දුශ්චරිතයෝ යි.
957. එහි සතර භය කවරහ යත්: ජාතිය නිසා උපන් බිය ය, ජරාව නිසා උපන් බිය ය, ව්‍යාධිය නිසා උපන් බිය ය, මරණය නිසා උපන් බිය යි. මොහු සතර භය වෙත්.
958. එහි අනෙකුදු සතර භය කවරහ යත්: රජු කෙරෙන් උපන් බිය ය, සොරු කෙරෙන් උපන් බිය ය, ගින්නෙන් උපන් බිය ය, දියෙන් උපන් බිය යි. මොහු සතර භය වෙත්.
959. එහි අනෙකුදු සතර භය කවරහ යත්: තරඟවැල නිසා උපන් බිය ය, කිඹුලන් කෙරෙන් උපන් බිය ය, දියසුළියෙන් වන බිය ය, සැඩමසුන් කෙරෙන් උපන් බිය යි. මොහු සතර භය වෙත්.
960. එහි අනෙකුදු සතර භය කවරහ යත්: ආත්මානුවාදභය ය, පරානුවාදභය ය, දණ්ඩභය ය, දුර්‍ගතිභය යි. මොහු සතර භය වෙත්.