967. එහි පඤ්චචේතෝඛිලයෝ කවරහ යත්: ශාස්තෘන් කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි, නො ඇලෙයි, නො පහදී. ධර්‍මය කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි, නො ඇලෙයි, නො පහදී. සඞ්ඝයා කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි, නො ඇලෙයි, නො පහදී. ශික්‍ෂාව කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි, නො ඇලෙයි, නො පහදී. සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ නො සතුටු සිත් ඇත්තේ ගැටුණු සිත් ඇත්තේ හටගත් චේතෝඛිල ඇත්තේ වෙයි. මොහු ‘පඤ්චචේතෝඛිලයෝ’ යි.
968. එහි පඤ්ච චිත්තවිනිබන්‍ධයෝ කවරහ යත්: වස්තුකාමක්ලේශකාමයන්හි අවිගත වූ රාග ඇත්තේ, අවිගත වූ ඡන්‍ද ඇත්තේ, අවිගත වූ ප්‍රේම ඇත්තේ, අවිගත වූ පිපාසා ඇත්තේ, අවිගත වූ පරිදාහ ඇත්තේ, අවිගත වූ තෘෂ්ණා ඇත්තේ වෙයි. අධ්‍යාත්මකායයෙහි අවිගතරාග ඇත්තේ වෙයි ... බහිද්ධාරූපයෙහි අවිගතරාග ඇත්තේ වෙයි ... කැමැති තාක් කුසපුරා වළඳා ශය්‍යාසුඛයෙහි ස්පර්‍ශසුඛයෙහි නිද්‍රාසුඛයෙහි යෙදුණේ වෙසෙයි. ‘මම් මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බඹසරින් හෝ දෙවියෙක් හෝ එක්තරා දෙවියෙක් හෝ වන්නෙමි’ එක්තරා දේවනිකායක් පතා බඹසර වෙසේ. මොහු පඤ්චචිත්තවිනිබන්‍ධයෝ යි.
969. එහි පඤ්චනීවරණයෝ කවරහ යත්: කාමච්ඡන්‍දනීවරණ ය, ව්‍යාපාදනීවරණ ය, ථීනමිද්ධනීවරණ ය, උද්ධච්චකුක්කුච්චනීවරණ ය, විචිකිච්ඡානීවරණ යි. මොහු පඤ්චනීවරණයෝ යි.
970. එහි පඤ්චානන්තර්‍ය්‍යකර්‍මයෝ කවරහ යත්: මව දිවියෙන් ගළවනලද වෙයි, පියා දිවියෙන් ගළවනලද වෙයි, රහත් දිවියෙන් ගළවනලද වෙයි, දුෂ්ට සිතින් තථාගත සිරුරෙහි ලෙහෙ උපදවන ලද්දේ වෙයි, සඞ්ඝයා බිඳුනා ලද්දේ වේ. මොහු පඤ්චානන්තර්‍ය්‍යකර්‍මයෝ යි.
971. එහි පඤ්චදෘෂ්ටීහු කවරහ යත්: මරණින් මත්තෙහි ආත්මය සංඥා ඇත්තේ නිත්‍ය වේ යයි ඇතැම් කෙනෙක් කියති. මරණින් මත්තෙහි ආත්මය සංඥා විරහිත වූයේ නිත්‍ය වේ යයි ඇතැම් කෙනෙක් කියති. මරණින් මත්තෙහි ආත්මය නෛවසංඥීනාසංඥී වූයේ නිත්‍ය වේ යයි ඇතැම් කෙනෙක් කියති. තවද විද්‍යමාන වූ ම සත්ත්‍වයාගේ සිඳීම විනාශය විභවය පනවත්. යළි ඇතැම් කෙනෙක් දෘෂ්ටධර්‍මනිර්‍වාණය හෝ කියත්. මොහු පඤ්චදෘෂ්ටීහු වෙත්.
972. එහි පඤ්චවෛරයෝ කවරහ යත්: ප්‍රාණඝාත ය, අදත්තාදාන ය, කාමමිථ්‍යාචාර ය, මෘෂාවාද ය, මදයට හා ප්‍රමාදයට කරුණු වූ රහමෙර පීම යි. මොහු පඤ්ච වෛරයෝ යි.
973. එහි පඤ්චව්‍යසනයෝ කවරහ යත්: ඥාතිව්‍යසන ය, භෝගව්‍යසන ය, රෝගව්‍යසන ය, ශීලව්‍යසන ය, දෘෂ්ටිව්‍යසන යි. මොහු පඤ්චව්‍යසනයෝ යි.
974. එහි අක්‍ෂාන්තියෙහි පඤ්චආදීනවයෝ කවරහ යත්: බොහෝ දෙනාට අප්‍රිය වූයේ අමනාප වූයේ වෙයි. වෛරබහුල වූයේත් වද්‍යබහුල වූයේත් වෙයි. මූඪ වූයේ කලුරිය කෙරෙයි. කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහ වූ දුකට ගති වූ විවස ව පතිත වන නිරයට පැමිණේ. මොහු අක්‍ෂාන්තියෙහි පඤ්චආදීනවයෝ යි.
975. එහි පඤ්චභය කවරහ යත්: දිවිවැටුම නිසා උපන් බිය ය, ගැරැහුම්බිය ය, පිරිස්හි සාරද්‍ය සඞ්ඛ්‍යාත බිය ය, මරණයෙන් වූ බිය ය, දුගති බිය යි. මොහු පඤ්චභය වෙත්.
976. එහි පඤ්චදෘෂ්ටධර්‍මනිර්‍වාණවාදයෝ කවරහ යත්: මෙලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි. භවත, යම් තැනෙක පටන් මේ ආත්මය පස්කම්ගුණයෙන් ඇලුණේ යුක්ත වූයේ ඉඳුරන් පිනවා ද, භවත්නි, මෙතෙකින් මේ ආත්මය පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණයට පැමිණියේ වේ යයි මෙසේ ඇතැම් කෙනෙක් විද්‍යමාන වූ සත්ත්‍වයාගේ පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණය පනවත්.
ඔහුට අනෙකෙක් මෙසේ කියයි: භවත, තෙල ආත්මය ඇත් ම ය තෝ යමක් කීයෙහි නම් තෙල නැතැ යි නො කියමි. භවත, මෙතෙකින් මේ ආත්මය පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණයට පැමිණියේ නො ද වෙයි. ඊට හේතු කිම? භවත, කාමයෝ අනිත්‍යයහ, දුඃඛයහ, විපරිණාමස්වභාවයහ. ඔවුන්ගේ විපරිණාම සඞ්ඛ්‍යාත අන්‍යථාත්‍වයෙන් සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසයෝ උපදිත්. භවත, යම් තැනෙක පටන් මේ ආත්මය කාමයන්ගෙන් වෙන් ව ම ... ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, මෙතෙකින් භවත, මේ ආත්මය පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණයට පැමිණියේ වේ ය යි මෙසේ ඇතැම් කෙනෙක් විද්‍යමාන වූ සත්ත්‍වයාගේ පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණය පණවත්.