847. එහි ජාතිමද කවරෙ යත්: ජාතිය නිසා මදයෙක් මත් අයුරෙක් මත් වූ බවෙක් මානයෙක් මානනාකාරයෙක් මානය කළ බවෙක් උන්නතියෙක් උන්නාමයෙක් ධ්වජයෙක් සම්ප්‍රග්‍රාහයෙක් චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘ජාතිමද’ යි කියනු ලැබේ.
848. එහි ගොත්‍රමද කවරෙ යත්: ගෝත්‍රය නිසා ... ආරෝග්‍යය නිසා ... යෞවනය නිසා ... ජීවිතය නිසා ... ලාභය නිසා ... සත්කාරය නිසා ... ගරුකාරය නිසා ... පුරස්කාරය නිසා ... පිරිවර නිසා ... භෝගය නිසා ... වර්‍ණය නිසා ... ශ්‍රැතය නිසා ... ප්‍රතිභානය නිසා ... රාත්‍රඥතාව නිසා ... පිණ්ඩපාතික බව නිසා ... අවඥා නො කිරීම නිසා ... ඊර්‍ය්‍යාපථය නිසා ... ඍද්ධිය නිසා ... යශස නිසා ... ශීලය නිසා ... ධ්‍යානය නිසා ... ශිල්පය නිසා ... ආරෝහය නිසා ... පරිණාහය නිසා ... සටහන නිසා ... පරිපූර්‍ණ බව නිසා මදයෙක් මත් අයුරෙක් මත් වූ බවෙක් මානයෙක් මානනාකාරයෙක් මානය කළ බවෙක් උන්නතියෙක් උන්නාමයෙක් ධ්වජයෙක් සම්ප්‍රග්‍රාහයෙක් චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘පාරිපූරීමද’ යි කියනු ලැබේ.
849. එහි මද කවරෙ යත්: යම් මදයෙක් මත් අයුරෙක් මත් වූ බවෙක් මානයෙක් මානාකාරයෙක් මානය කළ බවෙක් උන්නතියෙක් උන්නාමයෙක් ධ්වජයෙක් සම්ප්‍රග්‍රාහයෙක් චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘මද’ යි කියනු ලැබේ.
850. එහි ප්‍රමාද කවරෙ යත්: කායදුශ්චරිතයෙහි හෝ වාග්දුශ්චරිතයෙහි හෝ මනෝදුශ්චරිතයෙහි හෝ පඤ්චකාමගුණයෙහි හෝ චිත්තයාගේ විසර්‍ජනයෙක් පුන පුනා විසර්‍ජනයෙක්, කුශලධර්‍මයන්ගේ වැඩීම පිණිස නො සකසා කරන බවෙක් සාතත්‍යක්‍රියා රහිත බවෙක් අනවස්ථිතක්‍රියා බවෙක් හැකුළුණු පැවැතුම් ඇති බවෙක් බහා තැබූ වීර්‍ය්‍ය ඡන්‍දය ඇති බවෙක් බහා තැබූ වීර්‍ය්‍යධුර ඇති බවෙක් අනාසේවනයෙක් අභාවනයෙක් බහුල නො කිරීමෙක් නො පිහිටීමෙක් අනුයෝග රහිත වීමෙක් ප්‍රමාදයෙක් වේ ද, යම් මෙබඳු ප්‍රමාදයෙක් ප්‍රමාද අයුරෙක් ප්‍රමත්ත බවෙක් වේ ද, මේ ‘ප්‍රමාද’ යි කියනු ලැබේ.
851. එහි ස්තම්භ කවරෙ යත්: යම් ස්තම්භයෙක්, තද ඇයුරෙක්, තද වූ බවෙක්, කර්‍කශ බවෙක්, පරුෂ බවෙක්, (අභිවාදනාදියෙහි) නො නැමෙන සිත් ඇති බවෙක්, මෘදු නො වන බවෙක් වේ ද, මේ ‘ස්තම්භ’ යි කියනු ලැබේ.
852. එහි සාරම්භ කවරෙ යත්: යම් කරණොත්තරකරණයෙක්, ප්‍රතිසාරම්භයෙක්, සාරම්භාකාරයෙක්, ප්‍රතිසාරම්භාකාරයෙක්, ප්‍රතිසාරම්භ කළ බවෙක් වේ ද, මේ ‘සාරම්භ’ යි කියනු ලැබේ
853. එහි අත්‍රිච්ඡතා කවර යත්: යම්කිසි සිවුරු - පිඬුවා - සෙනසුන් - ගිලන්පස - බෙහෙත්පිරිකරින් හෝ පස්කම්ගුණෙන් හෝ නො සතුටු වූවහුගේ බොහෝ කැමැති බවෙක් වේ ද, යම් මෙබඳු ඉච්ඡායෙක්, ඉච්ඡාගතයෙක්, අතිශයින් කැමැති බවෙක්, රාගයෙක්, සාරාගයෙක්, අනූනයෙක්, අනුරෝධයෙක්, නන්‍දියෙක්, නන්‍දිරාගයෙක්, චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘අත්‍රිච්ඡතා’ යි කියනු ලැබේ.
854. එහි මහිච්ඡතා කවර යත්: යම්කිසි සිවුරු - පිඬුවා - සෙනසුන් - ගිලන්පස - බෙහෙත්පිරිකරින් නො සතුටු වූවහුගේ බොහෝ කැමැති බවෙක් වේ ද, යම් මෙබඳු ඉච්ඡායෙක්, ඉච්ඡාගතයෙක්, මහේච්ඡ බවෙක්, රාගයෙක්. බලවත් රාගයෙක්, ... චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘මහිච්ඡතා’ යි කියනු ලැබේ.
855. එහි පාපිච්ඡතා කවර යත්: මෙලොව ඇතැමෙක් ශ්‍රද්ධා රහිත වූයේ ම, ශ්‍රද්ධා ඇතියෙකැ යි ජන තෙම මා දනී ව යි කැමැති වෙ යි. දුශ්ශීල වූයේ ම, සිල්වතෙකැ යි ජන තෙම මා දනීව යි කැමැති වෙයි. අල්පශ්‍රැත වූයේ ම බහුශ්‍රැතයෙකැ යි ජන තෙම මා දනීව යි කැමැති වෙයි. ගණයා කෙරෙහි ඇලුණේ ම විවික්තයෙකැ යි ජන තෙම මා දනීව යි කැමැති වෙයි. කුසීත වූයේ ම රුකුළුවැර ඇතියෙකැ යි ජන තෙම මා දනීව යි කැමැති වෙයි. මුළාසී ඇතියේ ම එළඹසිටිසිහි ඇතියෙකැ යි ජන තෙම මා දනීව යි කැමැති වෙයි. අසමාහිත වූයේ ම සමාහිතයෙකැ යි ජන තෙම මා දනීව යි කැමැති වෙයි. නුවණ නැතියෙක් වූයේ ම නුවණැතියෙකැ යි ජන තෙම මා දනීව යි කැමැති වෙයි. ක්‍ෂීණාස්‍රව නො වූයේ ම ක්‍ෂීණාස්‍රවයෙකැ යි ජන තෙම මා දනීව යි කැමැති වෙයි. යම් මෙ බඳු ඉච්ඡායෙක්, ඉච්ඡාගතයෙක්, පාපේච්ඡ බවෙක්, රාගයෙක්, බලවත් රාගයෙක් ... චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘පාපිච්ඡතා’ යි කියනු ලැබේ.
856. එහි ශෘඞ්ග කවරෙ යත්: යම් ක්ලේශශෘඞ්ගයෙක් ශෘඞ්ගාර (නාගරික) බවෙක් චතුර බවෙක් චාතුර්‍ය්‍යයෙක් දැඩි ශෘඞ්ගාර බවෙක් බලවත් ශෘඞ්ගාර බවෙක් වේ ද, මේ ‘ශෘඞ්ගය’ යි කියනු ලැබේ.
857. එහි තින්තින කවරෙ යත්: යම් කෙඳිරියක්, කොඳුරන අයුරෙක් කොඳුළ බවෙක්, ලොල් බවෙක්, ලොල් අයුරෙක්, ලොල් කළ බවෙක්, නඟුට සලන බවෙක් මිහිරි කැමැති බවෙක් වේ ද, මේ ‘තින්තින’ යි කියනු ලැබේ.
858. එහි චපල බව කවරෙ යත්: සිවුරු සැරසීමෙක්, පාත්‍ර සැරසීමෙක්, සෙනසුන් සැරසීමෙක්, මේ පූතිකායයාගේ හෝ බාහිරපරිෂ්කාරයන්ගේ හෝ සැරසීමෙක් විභූෂණයෙක්, නැළවීමෙක්, හාත්පසින් නැළවීමෙක්, ගිජු බවෙක්, චපලබවෙක්, චාපල්‍යයෙක් වේ ද, මේ ‘චපල බව’ යි කියනු ලැබේ.