860. එහි අරති කවර යත්: ප්‍රාන්තසේනාසනයන්හි හෝ අන්‍යතරාන්‍යතර අධිකුශලධර්‍මයන්හි හෝ යම් නො ඇල්මෙක් නො ඇලෙන අයුරෙක් අනභිරතියෙක් අනභිරමණයෙක් උකටලී බවෙක් උද්වේගයෙක් වේ ද, මේ ‘අරති’ යයි කියනු ලැබේ.
861. එහි තන්‍දි කවර යත්: යම් මැලිවීමෙක් මැලි අයුරෙක් මැලි සිත් ඇති බවෙක් අලස බවෙක් අලස අයුරෙක් අලස වූ බවෙක් වේ ද, මේ ‘තන්‍දි’ යයි කියනු ලැබේ.
862. එහි විජම්බිකා කවර යත්: ශරීරයාගේ යම් ජෘම්භණයෙක් විජෘම්බණයෙක් ඉදිරියට නැමීමෙක් පස්සට නැමීමෙක් හාත්පසැ නැමීමෙක් නඟාසිටුවීමෙක් ගිලන් බවෙක් වේ ද, මේ ‘විජම්භිකා’ යි කියනු ලැබේ.
863. එහි භත්තසම්මද කවරෙ යත්: වැළඳුවහුට යම් භක්තමූර්ඡායෙක් භක්තක්ලමථුයෙක් භක්තපරිදාහයෙක් කය පිළිබඳ අකර්‍මණ්‍ය බවෙක් වේ ද, මේ ‘භත්තසම්මද’ යි කියනු ලැබේ.
864. එහි චිත්තයාගේ ලීනත්‍වය කවරෙ යත්: චිත්තයාගේ යම් අකල්‍ය බවෙක්, අකර්‍මණ්‍ය බවෙක්, එලෙන බවෙක්, හාත්පසින් එලෙන බවෙක්, හැකිළීමෙක්, හැකිළෙන අයුරෙක්, හැකුළුණු බවෙක්, සිත පිළිබඳ තද වීමෙක්, තද අයුරෙක්, තද බවෙක් වේ ද, මේ ‘චිත්තයාගේ ලීනත්‍වය’ යි කියනු ලැබේ.
865. එහි කුහනා කවර යත්: ලාභසත්කාරප්‍රශංසා ඇසුරු කළ, පාපේච්ඡ වූ, (අසද්ගුණ ප්‍රකාශ කරනු කැමැති) ආශායෙන් මඩනා ලද්දහුගේ ප්‍රත්‍යයප්‍රතිෂෙධනය යි කියන ලද කොහොන්වතින් හෝ සාමන්තජල්පනයෙන් හෝ ඊර්‍ය්‍යාපථයාගේ හෝ ආදියෙහි තැබීමෙක් තබන අයුරෙක් මොනොවට තැබීමෙක් මුහුණ හකුළුවන බවෙක් මුහුණ හකුළන අයුරෙක් විස්මය කරවීමෙක් විස්මය පැවැත්වීමෙක් කොහොන් බවෙක් වේ ද, මේ ‘කුහනා’ යි කියනු ලැබේ.
866. එහි ලපනා කවර යත්: ලාභසත්කාර කීර්තිප්‍රශංසා ඇසුරු කළ පවිටු අදහස් ඇති ආශායෙන් මඩනා ලද්දහුගේ පරාහට යම් පළමු කොට බිණීමෙක්, මනා කොට බිණීමෙක්, උසස් කොට බිණීමෙක්, හාත්පසින් උසස් කොට බිණීමෙක්, මතුමත්තෙහි බැඳීමෙක්, හාත්පසින් මතුමත්තෙහි බැඳීමෙක්, උස් කොට හැඟැවීමෙක්, හාත්පසින් උස් කොට හැඟැවීමෙක්, ප්‍රිය තෙපුල් බිණීමෙක්, යටත් ව පවත්නා බවෙක්, මුද්ගසූපය වැනි බවෙක්, දරුවන් වඩන බවෙක් වේ ද, මේ ‘ලපනා’ යි කියනු ලැබේ.
867. එහි නෛමිත්තිකතා කවර යත්: ලාභසත්කාරප්‍රශංසා ඇසුරු කළ පවිටු අදහස් ඇති ආශායෙන් මඩනා ලද්දහුගේ මෙරමාහට යම් නිමිති කරන බවෙක් නිමිති කිරීමෙක් පහළ කිරීමෙක් පහළ කරන ක්‍රියායෙක් සමීප කොට බිණීමෙක් පර්‍ය්‍යාය තෙපුලෙක් වේ ද, මේ ‘නෙමිත්තිකතා’ යි කියනු ලැබේ.
868. එහි නිප්පෙසිකතා කවර යත්: ලාභසත්කාරප්‍රශංසා ඇසුරු කළ, පවිටු අදහස් ඇති, ආශායෙන් මඩනා ලද්දහුගේ මෙරමාහට යම් ආක්‍රෝශ කිරීමෙක්, පරිභව කිරීමෙක්, ගර්‍හා කිරීමෙක්, උස් කොට බිණීමෙක්, හාත්පසින් උස් කොට බිණීමෙක්, සිනහ කිරීමෙක්, හාත්පසින් සිනහ කිරීමෙක්, පැමිණවීමෙක්, හාත්පසින් පැමිණවීමෙක්, නුගුණ එළවන බවෙක්, මෙරමාපිටුමස් කනසුලු බවෙක් වේ ද, මේ ‘නිප්පෙසිකතා’ යි කියනු ලැබේ.
869. එහි ලාභයෙන් ලාභය සෙවීම කවරෙ යත්: ලාභසත්කාරප්‍රශංසා ඇසුරු කෙළේ, පවිටු අදහස් ඇතියේ, ආශායෙන් මඩනා ලදුයේ, මෙගෙන් ලද ආමිෂය එගෙට ගෙනයේ ද, එගෙන් ලද ආමිෂය හෝ මෙගෙට ගෙන ඒ ද, මෙබඳු වූ යම් ආමිෂයෙන් ආමිෂය කැමැතිවීමෙක්, සෙවීමෙක්, නැවත නැවත සෙවීමෙක්, ඒෂණයෙක්, ගවේෂණයෙක්, පර්‍ය්‍යෙෂණයෙක් වේ ද, මේ ‘ලාභයෙන් ලාභය සෙවීම’ යි කියනු ලැබේ.
870. එහි මම උසස්මි යන මානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත්‍ර භාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙකින් හෝ ශිල්පායතනයෙකින් හෝ විද්‍යාවෙකින් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතර වස්තුවෙකින් මානය කෙරෙයි. යම් මෙබඳු වූ මානයෙක්, මානාකාරයෙක්, මානය කළ බවෙක්, උන්නතියෙක්, උස් කොට තැබීමෙක්, මානධ්වජයෙක්, සිත නඟාගැනීමෙක්, චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘මම උසස්මි යන මානය’ යි කියනු ලැබේ.
871. එහි මම් සදෘශයෙමි යන මානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත්‍ර භාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙකින් හෝ ශිල්පායතනයෙකින් හෝ විද්‍යාවෙකින් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතරවස්තුවෙකින් මානය කෙරෙයි. යම් මෙබඳු වූ මානයෙක්, මානාකාරයෙක්, මානය කළ බවෙක්, උන්නතියෙක්, උසස් කොට තැබීමෙක්, මානධ්වජයෙක්, සිත නඟාගැනීමෙක්, චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘මම සදෘශයෙමි යන මානය’ යි කියනු ලැබේ.
872. එහි මම හීනයෙමි යන මානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත්‍ර භාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙකින් හෝ ශිල්පායතනයෙකින් හෝ විද්‍යාවෙකින් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතර වස්තුවෙකින් අවමානය කෙරෙයි. යම් මෙබඳු වූ හීනමානයෙක්, අවමානාකාරයෙක්, අවමන් කළ බවෙක්, තමහට ගැරහීමෙක්, අධිකව ගැරහීමෙක්, ගැරහූ බවෙක්, තමා හීනකොට සැලැකීමෙක්, තමහට අවඥා කිරීමෙක්, තමහට පරිභවයෙක් වේ ද, මේ ‘මම හීනයෙමි මානය’ යි කියනු ලැබේ.
873. එහි මම ශ්‍රේෂ්ඨයහට ශ්‍රේෂ්ඨයෙමි යන මානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත්‍රභාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙකින් හෝ ශිල්පායතනයෙකින් හෝ විද්‍යාවෙකින් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතර වස්තුයෙකින් ශ්‍රේෂ්ඨ වේ ද, හෙතෙම පරහට වඩා තමා උසස් කොට තබයි. හේ එනිසා මානය කෙරෙයි. යම් මෙබඳු වූ මානයෙක්, මානාකාරයෙක්, මානය කළ බවෙක්, උන්නතියෙක්, උන්නාමයෙක්, මානද්ධවජයෙක්, සිත නඟාගැනීමෙක්, චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘මම ශ්‍රේෂ්ඨයෙමි යන මානය’ යි කියනු ලැබේ.
874. එහි ‘මම ශ්‍රේෂ්ඨයහට ශ්‍රේෂ්ඨයහට සදෘශයෙමි යන මානය’ කවරෙ යත්: මෙලොවැ ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත්‍රභාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙකින් හෝ ශිල්පායතනයෙකින් හෝ විද්‍යායෙකින් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතර වස්තුයෙකින් ශ්‍රේෂ්ඨ වේ ද, හෙතෙම තමා මෙරමා හා සදෘශ කෙරෙයි. හෙතෙම එනිසා මානය කෙරෙයි. යම් මෙබඳු වූ මානයෙක්, මානාකාරයෙක්, මානය කළ බවෙක්, උන්නතියෙක්, උන්නාමයෙක්, මානද්ධවජයෙක්, සිත නඟාගැනීමෙක්, චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘මම ශ්‍රේෂ්ඨයහට සදෘශයෙමි යන මානය’ යි කියනු ලැබේ.