819. එහි චින්තාමයප්‍රඥා කවර යත්: ප්‍රඥායෙන් කරන ලද (යෝගවිහිත) කර්‍මායතනයෙහි හෝ ප්‍රඥායෙන් කරන ලද ශිල්පායතනයෙහි හෝ ප්‍රඥායෙන් කරන ලද විද්‍යායෙහි හෝ කර්‍මස්වකතා වූ හෝ සත්‍යානුලෝමික වූ හෝ ‘රූපය අනිත්‍ය’ යි හෝ ‘වේදනාව අනිත්‍ය’ යි හෝ ‘සංඥාව අනිත්‍ය’ යි හෝ ‘සංස්කාරයෝ අනිත්‍යහ’ යි හෝ ‘විඥානය අනිත්‍ය’ යි හෝ මෙබඳු වූ යම් අනුලෝමික ක්‍ෂාන්තියක් දෘෂ්ටියක් රුචියක් මුතියක් ප්‍රේක්‍ෂාවක් ධර්‍මනිධ්‍යානක්‍ෂාන්තියක් මෙරමාගෙන් නො අසා ලබා ද, මේ ‘චින්තාමයප්‍රඥා’ යි කියනු ලැබේ. එහි ශ්‍රැතමයප්‍රඥා කවර යත්: ප්‍රඥායෙන් කරන ලද කර්‍මායතනයෙහි හෝ ප්‍රඥායෙන් කරන ලද ශිල්පායතනයෙහි හෝ ප්‍රඥායෙන් කරන ලද විද්‍යායෙහි හෝ කර්‍මස්වකතා වූ හෝ සත්‍යානුලෝමික වූ හෝ ‘රූපය අනිත්‍ය’ යි හෝ ‘වේදනාව ... සංඥාව ... සංස්කාරය ... විඥානය අනිත්‍ය’ යි හෝ මෙබඳු වූ යම් අනුලෝමික ක්‍ෂාන්තියක් දෘෂ්ටියක් රුචියක් මුතියක් ප්‍රේක්‍ෂාවක් ධර්‍මනිධ්‍යානක්‍ෂාන්තියක් මෙරමාගෙන් අසා ලබා ද, මේ ‘ශ්‍රැතමයප්‍රඥා’ යි කියනු ලැබේ. හැම සමාපන්නයාගේ හැම ප්‍රඥාව ‘භාවනාමයප්‍රඥා’ නම් වේ.
එහි දානමයප්‍රඥා කවර යත්: දානචේතනාව ඇරැබැ දානචෙතනාවට පැමිණ යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද මේ දානමයප්‍රඥා යි කියනු ලැබේ. එහි ශීලමයප්‍රඥා කවර යත්: ශීලචේතනාව නිසා ශීලචෙතනාවට පැමිණ යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද මේ ‘ශීලමයප්‍රඥා’ යයි කියනු ලැබේ. සමාපන්නයාගේ හැම ප්‍රඥාව භාවනාමයප්‍රඥා නම් වේ.
එහි අධිශීලයෙහි ප්‍රඥා කවර යත්: ප්‍රාතිමෝක්‍ෂසංවරය රක්නහුට යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද, මේ ‘අධිශීලයෙහි ප්‍රඥා’ යි කියනු ලැබේ.
එහි අධිචිත්තයෙහි ප්‍රඥා කවර යත්: රූපාවචරඅරූපාවචර සමවත් සමවදනහුට යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද, මේ ‘අධිචිත්තයෙහි ප්‍රඥා’ යි කියනු ලැබේ.
එහි අධිප්‍රඥායෙහි ප්‍රඥා කවර යත්: සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාවය. මේ ‘අධිප්‍රඥාවෙහි ප්‍රඥා’ යි කියනු ලැබේ.
එහි ආයකෞශල්‍යය කවරෙ යත්: මේ ධර්‍මයන් මෙනෙහි කරනුවහුට නූපන් අකුශලධර්‍මයෝත් නූපදිති උපන් අකුශලධර්‍මයෝත් ප්‍රහීණ වෙති, යළි මේ ධර්‍මයන් මෙනෙහි කරනුවහුට නූපන් කුශලධර්‍මයෝත් නූපදිති, උපන් කුශලධර්‍මයෝත් බහුල බවට විපුල බවට භාවනායෙන් වැඩීමට පැමිණෙති, එහි යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද මේ ‘ආයකෞශල්‍යය’ යි කියනු ලැබේ.
එහි අපායකෞශල්‍යය කවරෙ යත්: මේ ධර්‍මයන් මෙනෙහි කරනුවහුට නූපන් කුශලධර්‍මයෝත් නූපදිති, උපන් කුශලධර්‍මයෝත් නිරුද්ධ වෙති, යළි මේ ධර්‍මයන් මෙනෙහි කරනුවහුට නූපන් අකුශලධර්‍මයෝත් උපදිති, උපන් අකුශලධර්‍මයෝත් බහුල බවට විපුල බවට පැමිණෙති, එහි යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද මේ ‘අපායකෞශල්‍ය’ යි කියනු ලැබේ.
සියලු ම ඒ ඒ තැන්හි උපායප්‍රඥාව උපායකෞශල්‍ය නම් වේ.
සිවු බිම්හි විපාකයෙහි ප්‍රඥාව විපාකප්‍රඥා නම, සිවු බිම්හි කුශලයෙහි ප්‍රඥාව ‘විපාකස්වභාවධර්‍මප්‍රඥා’ නම, තුන් බිම්හි ක්‍රියාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ‘නෛවවිපාකනවිපාකස්වභාවධර්‍මප්‍රඥා’ නම් වේ.
තුන් බිම්හි විපාකයෙහි ප්‍රඥාව ‘උපාදින්නෝපාදානියප්‍රඥා’ නම, තුන් බිම්හි කුශලයෙහි, තුන් බිම්හි ක්‍රියාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ‘අනුපාදින්නෝපාදානියප්‍රඥා’ නම. සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව ‘අනුපාදින්නඅනුපාදානියප්‍රඥා’ නම් වේ.
විතර්‍කවිචාරයන් හා සම්ප්‍රයුක්ත ප්‍රඥාව ‘සවිතර්‍කසවිචාරප්‍රඥා’ නම. විතර්‍ක විප්‍රයුක්ත වූ විචාරය හා සම්ප්‍රයුක්ත වූ ප්‍රඥාව ‘අවිතර්‍කවිචාරමාත්‍ර ප්‍රඥා’ නම. විතර්‍ක විචාරයෙන් විප්‍රයුක්ත වූ ප්‍රඥාව ‘අවිතර්‍කඅවිචාරප්‍රඥා’ නම් වේ.
ප්‍රීතිය හා සම්ප්‍රයුක්ත වූ ප්‍රඥාව ‘ප්‍රීතිසහගතප්‍රඥා’ නම. සුඛය හා සම්ප්‍රයුක්ත වූ ප්‍රඥාව ‘සුඛසහගතප්‍රඥා’ නම. උපේක්‍ෂාව හා සම්ප්‍රයුක්ත වූ ප්‍රඥාව ‘උපේක්‍ෂාසහගතප්‍රඥා’ නම් වේ.
තුන් බිම්හි කුශලයෙහි ප්‍රඥාව ‘ආචයගාමිනීප්‍රඥා’ නම. සතර මාර්‍ගයෙහි ප්‍රඥාව ‘අපචයගාමිනීප්‍රඥා’ නම. සතර බිම්හි විපාකයෙහි, තුන් බිම්හි ක්‍රියාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ‘නෛවාචයගාමීනාපචයගාමිනීප්‍රඥා’ නම් වේ.
සතර මාර්‍ගයෙහි තුන් ඵලයෙහි ප්‍රඥාව ‘ශෛක්‍ෂප්‍රඥා’ නම. මත්තෙහි වූ අර්‍හත්‍ව ඵලයෙහි ප්‍රඥාව ‘අශෛක්‍ෂප්‍රඥා’ නම. තුන් බිම්හි කුශලයෙහි, තුන් බිම්හි විපාකයෙහි තුන් බිම්හි ක්‍රියාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ‘නෛවශෛක්‍ෂනාශෛක්‍ෂප්‍රඥා’ නම් වේ.