820. එහි කර්‍මස්වකෘතඥාන කවරෙ යත්: ‘දුන් දැයෙහි ඵල ඇත, යාගයෙහි ඵල ඇත, පූජායෙහි ඵල ඇත, සුකෘතදුෂ්කෘතකර්‍මයන්ගේ ඵල විපාක ඇත, මෙ ලොව ඇත, පරලොව ඇත, මව් ඇත, පියා ඇත, ඕපපාතිකසත්‍වයෝ ඇත, යම් කෙනෙක් මෙ ලොව ද පරලොව ද තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත් ද, එබඳු වූ සම්‍යග්ගත වූ සම්‍යක්ප්‍රතිපන්න වූ මහණබමුණෝ ඇතැ’ යි යම් මෙ බඳු වූ ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘කර්‍මස්වකෘතඥාන’ යි කියනු ලැබේ. සත්‍යානුලෝමිකඥානය තබා සියලු ම සාස්‍රවකුශලප්‍රඥාව කර්‍මස්වකෘතඥාන නම. එහි සත්‍යානුලෝමිකඥානය කවරෙ යත්: රූපය අනිත්‍ය යි හෝ වේදනාව - සංඥාව - සංස්කාරය - විඥානය අනිත්‍ය යි හෝ යම් මෙබඳු අනුලෝමික වූ ක්‍ෂාන්තියක් දෘෂ්ටියක් රුචියක් මුතියක් ප්‍රේක්‍ෂාවක් ධර්‍මනිධ්‍යානක්‍ෂාන්තියක් වේ ද, මේ ‘සත්‍යානුලෝමිකඥාන’ යි කියනු ලැබේ. සතර මාර්‍ගයෙහි ප්‍රඥාව මාර්‍ගසමඞ්ගීහුගේ ඥාන යි. සතර ඵලයෙහි ප්‍රඥාව ඵලසමඞ්ගීහුගේ ඥාන යි. මාර්‍ග සමඞ්ගීහුගේ (යම්) ඥානයෙක් වේ ද, තෙල දුඃඛයෙහි ඥාන ද වෙයි, දුඃඛසමුදයෙහි ඥාන ද වෙයි, දුඃඛනිරෝධයෙහි ඥාන ද වෙයි, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ඥාන ද වේ.
එහි දුඃඛයෙහි ඥාන කවරෙ යත්: දුඃඛය නිසා යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘දුඃඛයෙහි ඥාන’ යි කියනු ලැබේ. දුඃඛසමුදය නිසා දුඃඛනිරෝධය නිසා දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාව නිසා යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද, මේ ‘දුක්ඛනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ඥාන’ යි කියනු ලැබේ.
කාමාවචරකුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව කාමාවචරප්‍රඥා ය, රූපාවචරකුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව රූපාවචරප්‍රඥා ය, අරූපාවචරකුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව අරූපාවචරප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අපර්‍ය්‍යාපන්නප්‍රඥා යි.
එහි ‘ධර්‍මයෙහි ඥාන’ කවරෙ යත්: සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව ධර්‍මයෙහි ඥානය යි.
හෙතෙම මේ දන්නා ලද, දක්නා ලද පැමිණෙන ලද ප්‍රකට කරන ලද බැසැගෙන සිටි මාර්‍ගඥාන සඞ්ඛ්‍යාත ධර්‍මයෙන් අතීතානාගතයෙහි නයසඞ්ඛ්‍යාත ප්‍රත්‍යවේක්‍ෂාඥානයට පමුණුවයි. ‘අතීතකාලයෙහි යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ දුඃඛය ප්‍රතිවේධ කළාහු ද, දුඃඛසමුදය ප්‍රතිවේධ කළාහු ද, දුඃඛනිරෝධය ප්‍රතිවේධ කළාහු ද, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාව ප්‍රතිවේධ කළාහු ද, ඔහු මෙ ම දුඃඛය ප්‍රතිවේධ කළහ, මෙ ම දුඃඛසමුදය ප්‍රතිවේධ කළහ, මෙ ම දුඃඛනිරෝධය ප්‍රතිවේධ කළහ, මෙ ම දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාව ප්‍රතිවේධ කළහ. අනාගතකාලයෙහි යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ දුඃඛය ප්‍රතිවේධ කරන්නාහු ද, දුඃඛසමුදය ප්‍රතිවේධ කරන්නාහු ද, දුඃඛනිරෝධය ප්‍රතිවේධ කරන්නාහු ද, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාව ප්‍රතිවේධ කරන්නාහු ද, ඔහු මෙ ම දුඃඛය ප්‍රතිවේධ කරන්නාහ, මෙ ම දුඃඛසමුදය ප්‍රතිවේධ කරන්නාහ, මෙ ම දුඃඛනිරෝධය ප්‍රතිවේධ කරන්නාහ, මෙ ම දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාව ප්‍රතිවේධ කරන්නාහ’ යි. එහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘අන්‍වයෙහි ඥාන’ යි කියනු ලැබේ.
එහි ‘පරිච්ඡේදයෙහි ඥාන’ කවරෙ යත්: මෙ සස්නෙහි මහණ තෙම පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ සිත (තමාගේ) සිතින් පිරිසිඳ දැනගනියි. සරාග වූ හෝ සිත සරාග වූ සිතැ යි දැනගනියි, වීතරාග වූ හෝ සිත වීතරාග වූ සිතැයි දැනගනියි, සදෝස වූ හෝ සිත ... වීතදෝෂ වූ හෝ සිත ... සමෝහ වූ හෝ සිත ... වීතමෝහ වූ හෝ සිත ... සංක්‍ෂිප්ත වූ හෝ සිත ... වික්‍ෂිප්ත වූ හෝ සිත ... මහද්ගත වූ හෝ සිත ... මහද්ගත නො වූ හෝ සිත ... සඋත්තර වූ හෝ සිත ... අනුත්තර වූ හෝ සිත ... සමාහිත වූ හෝ සිත ... සමාහිත නො වූ හෝ සිත ... විමුක්ත වූ හෝ සිත ... විමුක්ත නො වූ හෝ සිත විමුක්ත නො වූ සිතැ යි දැනගනී යයි. එහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘පරිච්ඡේදයෙහි ඥාන’ යි කියනු ලැබේ.
ධර්‍මයෙහි ඥානය තබා අන්‍වයෙහි ඥානය තබා පරිච්ඡේදයෙහි ඥානය තබා අවශේෂ ඥානය සංවෘතිඥාන යි.
එහි ආචය පිණිස වූ අපචය පිණිස නො වූ ප්‍රඥා කවර යත්: කාමාවචරකුශලයෙහි ප්‍රඥාව ආචය පිණිස වෙයි, අපචය පිණිස නො වෙයි, සතර මාර්‍ගයෙහි ප්‍රඥාව අපචය පිණිස වෙයි, ආචය පිණිස නො වෙයි. රූපාවචරඅරූපාවචරකුශලයෙහි ප්‍රඥාව ආචය පිණිසත් අපචය පිණිසත් වෙයි. අවශේෂප්‍රඥාව නො ම ආචය පිණිස නො ද අපචය පිණිස වේ.
එහි නිර්වේදය පිණිස වූ, ප්‍රතිවේධය නො වූ ප්‍රඥා කවර යත්: යම් ප්‍රඥායෙකින් කාමයෙහි පහ වූ රාග ඇත්තේ වේ ද, නො ද අභිඥාවන් නො ද සත්‍යයන් ප්‍රතිවේධ කෙරේ ද, මේ ‘නිර්වේදය පිණිස වූ ප්‍රතිවේධය පිණිස නො වූ ප්‍රඥා’ යි කියනු ලැබේ. හෙ ම ප්‍රඥායෙන් කාමයෙහි පහ වූ රාග ඇත්තේ අභිඥාවන් ප්‍රතිවේධ කෙරෙයි. නො ද සත්‍යයන් ප්‍රතිවේධ කෙරෙයි. මේ ‘ප්‍රතිවේධය පිණිස වූ නිර්වේදය පිණිස නො වූ ප්‍රඥා’ යි කියනු ලැබේ. සතර මාර්‍ගයෙහි ප්‍රඥාව නිර්වේදය පිණිසත් ප්‍රතිවේධය පිණිසත් වෙයි. අවශේෂප්‍රඥාව නො ම නිර්වේදය පිණිස නො ද ප්‍රතිවේධය පිණිස වේ.
එහි හානභාගිනීප්‍රඥා කවර යත්: ප්‍රථමධ්‍යානලාභීහු කාමසහගතසංඥාමනසිකාරයෝ පෙළත් නම් හානභාගීනීප්‍රඥා ය. තදනුරූප වූ (මිථ්‍යා) ස්මෘතිය සිටී නම් ස්ථිතිභාගිනී ප්‍රඥා ය, අවිතර්‍ක (ද්විතීයධ්‍යාන) සහගත වූ සංඥාමනසිකාරයෝ පෙළත් නම් විශේෂභාගිනීප්‍රඥා ය, නිර්වේද සඞ්ඛ්‍යාත විදර්‍ශනාඥාන සහගත වූ විරාගයෙන් යුක්ත වූ සංඥා මනසිකාරයෝ (නිවන් පසක් කරනු පිණිස) පෙළත් නම් නිර්වේදභාගිනීප්‍රඥා යි.
ද්වීතීයධ්‍යානලාභීහු විතර්‍කසහගත වූ සංඥාමනසිකාරයෝ පෙළත් නම් හානභාගිනී ප්‍රඥා ය, තදනුරූප වූ ස්මෘතිය සිටී නම් ස්ථිතිභාගිනීප්‍රඥා ය, උපේක්‍ෂාසහගතසංඥාමනසිකාරයෝ පෙළත් නම් විශේෂභාගිනීප්‍රඥා ය, නිර්වේදසහගත වූ විරාගයෙන් යුත් සංඥාමනසිකාරයෝ පෙළත් නම් නිර්වේදභාගිනීප්‍රඥා යි.
තෘතීයධ්‍යානලාභීහු ප්‍රීතිසුඛසහගත වූ සංඥාමනසිකාරයෝ පෙළත් නම් හානභාගිනී ප්‍රඥා ය, තදනුරූප වූ ස්මෘතිය සිටී නම් ස්ථිතිභාගිනීප්‍රඥා ය, උපේක්‍ෂාසහගත වූ සංඥාමනසිකාරයෝ පෙළත් නම් විශේෂභාගිනීප්‍රඥා ය, නිර්වේදසහගත වූ විරාගයෙන් යුත් සංඥාමනසිකාරයෝ පෙළත් නම් නිර්වේදභාගිනීප්‍රඥා යි.