798. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, ධර්‍මප්‍රතිසංවිදා ය, නිරුක්තිප්‍රතිසංවිදා ය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
799. සතර ප්‍රතිසංවිද්ධර්‍මයන් අතුරෙහි කුශලයෝ කෙතෙක් ද, අකුශලයෝ කෙතෙක් ද, අව්‍යාකෘතයෝ කෙතෙක් ද ... සරණයෝ කෙතෙක් ද, අරණයෝ කෙතෙක් ද යත්:
800. (සතර ප්‍රතිසංවිද්ධර්‍මයෝ) කුසල් ද වන්නාහ, අව්‍යාකෘත ද වන්නාහු ය.
(සතර ප්‍රතිසංවිද්ධර්‍මයෝ) සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහ. අදුක්ඛමසුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහු ය.
ප්‍රතිසංවිද්ධර්‍මයෝ තිදෙනෙක් විපාකස්වභාවධර්‍ම ද වන්නාහ. නෛවවිපාකනවිපාකස්වභාවධර්‍ම ද වන්නාහ. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව විපාක ද වන්නේ ය, විපාකස්වභාවධර්‍ම ද වන්නේ ය, නෛවවිපාකනවිපාකස්වභාවධර්‍ම ද වන්නේ යි.
ප්‍රතිසංවිද්ධර්‍මයෝ තිදෙනෙක් අනුපාදින්නෝපාදානිය වෙයි. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව අනුපාදින්නෝපාදානිය ද වන්නේ ය. අනුපාදින්නඅනුපාදානිය ද වන්නේ යි.
ප්‍රතිසංවිද්ධර්‍මයෝ තිදෙනෙක් අසංක්ලිෂ්ටඅසාංක්ලේශිකයෝ ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව අසංක්ලිෂ්ටසාංක්ලේශිකද වන්නේ ය, අසංක්ලිෂ්ටඅසාංක්ලේශිකද වන්නේ යි.
ප්‍රතිසංවිද්ධර්‍මයෝ තිදෙනෙක් සවිතර්‍කසවිචාරයෝ ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව සවිතර්‍ක සවිචාර වන්නේ ය. අවිතර්‍කවිචාරමාත්‍ර ද වන්නේ ය. අවිතර්‍කඅවිචාර ද වන්නේ යි.
(සතර ප්‍රතිසංවිදාවෝ) ප්‍රීතිසහගත ද වන්නාහ. සුඛසහගත ද වන්නාහ. උපේක්‍ෂා සහගත ද වන්නාහු ය.
(සතර ප්‍රතිසංවිදාවෝ) නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ ය.
(සතර ප්‍රතිසංවිදාවෝ) නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතුකයෝ යි.
තුන් ප්‍රතිසංවිදාවෝ ආචයගාමීහු ද වන්නාහ. නො ම ආචයගාමී නො ද අපචයගාමීහු ද වන්නාහ. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව ආචයගාමී ද වන්නේ ය, අපචයගාමී ද වන්නේ ය, නො ම ආචයගාමී නො ද අපචයගාමී ද වන්නේ යි.
තුන් ප්‍රතිසංවිදාවෝ නො ම ශෛක්‍ෂ නො ද අශෛක්‍ෂ වෙති. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව ශෛක්‍ෂ ද වන්නේ ය. අශෛක්‍ෂ ද වන්නේ ය, නො ම ශෛක්‍ෂ නො ද අශෛක්‍ෂ ද වන්නේ යි.
තුන් ප්‍රතිසංවිදාවෝ පරිත්තයෝ ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව පරිත්ත ද වන්නේ ය. අප්‍රමාණ ද වන්නේ යි.
නිරුක්තිප්‍රතිසංවිදාව පරිත්තාලම්බන ය. තුන් ප්‍රතිසංවිදාවෝ පරිත්තාලම්බන ද වන්නාහ, මහද්ගතාලම්බන ද වන්නාහ, අප්‍රමාණාලම්බන ද වන්නාහු ය.
තුන් ප්‍රතිසංවිදාවෝ මධ්‍යමයෝ ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව මධ්‍යම ද වන්නේ ය. ප්‍රණීත ද වන්නේ යි.
තුන් ප්‍රතිසංවිදාවෝ අනියතයෝ ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව සම්‍යක්ත්‍වනියත ද වන්නේ ය. අනියත ද වන්නේ යි.
නිරුක්තිප්‍රතිසංවිදාව මාර්‍ගාලම්බන යි ද, මාර්‍ගහේතුකයි ද, මාර්‍ගාධිපතියි ද නො කිය යුතු ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව මාර්‍ගාලම්බන නොවෙ යි. මාර්‍ගහේතුක ද වන්නේ ය. මාර්‍ගාධිපති ද වන්නේ ය. මාර්‍ගහේතුකයි ද, මාර්‍ගාධිපතියි ද නො කිය යුතු ද වන්නේ යි. ප්‍රතිසංවිදාවෝ දෙදෙනෙක් මාර්‍ගාලම්බන ද වන්නාහ, මාර්‍ගහේතුක නොවෙති, මාර්‍ගාධිපති ද වන්නාහ. මාර්‍ගාලම්බන යි ද, මාර්‍ගාධිපති යි ද නො කියයුතු ද වන්නාහු ය.
තුන් ප්‍රතිසංවිදාවෝ උත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උත්පාදීහ යි නො කියයුත්තාහ. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව උත්පන්න ද වන්නේ ය, අනුත්පන්න ද වන්නේ ය, උත්පාදී ද වන්නේ යි.
(සතර ප්‍රතිසංවිද්හු) අතීත ද වන්නාහ, අනාගත ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්න ද වන්නාහු ය.
නිරුක්තිප්‍රතිසංවිදාව ප්‍රත්‍යුත්පන්නාලම්බන ය. ප්‍රතිසංවිදාවෝ දෙදෙනෙක් අතීතාලම්බන ද වන්නාහ, අනාගතාලම්බන ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්නාලම්බන ද වන්නාහ. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව අතීතාලම්බන ද වන්නේ ය, අනාගතාලම්බන ද වන්නේ ය, ප්‍රත්‍යුත්පන්නාලම්බන ද වන්නේ ය, අතීතාලම්බන යි ද අනාගතාලම්බන යි ද ප්‍රත්‍යුත්පන්නාලම්බන යි ද නො කිය යුතු ද වන්නේ යි.
(සතර ප්‍රතිසංවිද්හු) අධ්‍යාත්ම ද වන්නාහ, බාහ්‍ය ද වන්නාහ, අධ්‍යාත්මබාහ්‍ය ද වන්නාහු ය.
නිරුක්තිප්‍රතිසංවිදාව බාහ්‍යාලම්බන ය. තුන් ප්‍රතිසංවිද්හු අධ්‍යාත්මාලම්බන ද වන්නාහ, බාහ්‍යාලම්බන ද වන්නාහ, ආධ්‍යාත්මබාහ්‍යාලම්බන ද වන්නාහු ය.
(සතර ප්‍රතිසංවිද්හු) අනිදර්‍ශන අප්‍රතිඝයෝ යි.
801. සතර ප්‍රතිසංවිද්හු හේතුහු ය.
සතර ප්‍රතිසංවිද්හු සහේතුකයෝ ය.
සතර ප්‍රතිසංවිද්හු හේතුසම්ප්‍රයුක්තයෝ ය.
සතර ප්‍රතිසංවිද්හු හේතු ද වූ සහේතුකයෝ ද වෙති.
සතර ප්‍රතිසංවිද්හු හේතු ද වූ හේතුසම්ප්‍රයුක්තයෝ ද වෙති.
සතර ප්‍රතිසංවිද්හු හේතු නො වූ සහේතුකයහ යි ද, හේතු නො වූ අහේතුකයහ යි ද නො කිය යුත්තාහ.
802. (සතර ප්‍රතිසංවිද්හු) සප්‍රත්‍යයෝ ය.
(සතර ප්‍රතිසංවිද්හු) සඞ්ඛතයෝ ය.
(සතර ප්‍රතිසංවිද්හු) අනිදර්‍ශනයෝ ය.
(සතර ප්‍රතිසංවිද්හු) අප්‍රතිඝයෝ ය.
(සතර ප්‍රතිසංවිද්හු) අරූපයෝ ය.
තුන් ප්‍රතිසංවිද්හු ලෞකිකයෝ ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව ලෞකික ද වන්නේ ය, ලෝකෝත්තර ද වන්නේ යි.
(සතර ප්‍රතිසංවිද්හු) කිසිවිඥානයෙකින් දතයුත්තාහ. කිසිවිඥානයෙකින් නො දත යුත්තාහු ය.