572. ‘ඉධ’ යනු: මේ දෘෂ්ටියෙහි, මේ ක්ෂාන්තියෙහි, මේ රුචියෙහි, මේ ග්රහණයෙහි, මේ ධර්මයෙහි, මේ විනයයෙහි, මේ ධර්මවිනයයෙහි, මේ ප්රවචනයෙහි, මේ බ්රහ්මචර්ය්යයෙහි, මේ ශාස්තෘශාසනයෙහි, එයින් කියනු ලැබෙයි ‘ඉධ’ යි.
573. ‘භික්ඛු’ යනු: ව්යවහාරයෙන් භික්ෂු ය, ප්රතිඥායෙන් භික්ෂු ය, භික්ෂාටනය කෙරේනු යි භික්ෂු ය, භික්ෂාටනය කරනුයේ නු යි භික්ෂු ය, භික්ෂාචර්ය්යාවට පැමිණියේ නු යි භික්ෂු ය, භින්න වූ වස්ත්ර දරනුයේ නු යි භික්ෂු ය, ලාමක අකුශලධර්මයන් බිඳී නු යි භික්ෂු ය, ලාමක අකුශලධර්මයන් බිඳහළ හෙයින් භික්ෂු ය, අවධි වශයෙන් ක්ලේශයන්ගේ ප්රහාණයෙන් භික්ෂු ය, අනවධි (සීමාරහිත) වශයෙන් ක්ලේශයන්ගේ ප්රහාණයෙන් භික්ෂු ය, ශෛක්ෂ භික්ෂු ය, අශෛක්ෂ භික්ෂු ය, නො ම ශෛක්ෂ වූ අශෛක්ෂ ද නො වූ භික්ෂු ය, (සීලසමාධිප්රඥාවිමුක්තියෙන්) අග්රවූයේ භික්ෂු ය, භද්ර භික්ෂු ය, මණ්ඩ (ප්රසන්න) භික්ෂු ය, සාර භික්ෂු ය, සමගසඞ්ඝයා විසින් අකෝප්ය වූ ස්ථානාර්හ වූ ඤත්තිචතුත්ථ කර්මයෙන් උපසම්පන්න වූයේ භික්ෂු යි.
574. ‘පාතිමොක්ඛ’ යනු: ශීල ය කුශලධර්මයන්ගේ ප්රතිලාභයට ප්රතිෂ්ඨා ය, ආදි ය, චරණ (පාද) ය, සංයම ය, සංවර ය, ද්වාර ය, ප්රමුඛ යි. ‘සංවර’ යනු: කායිකඅව්යතික්රම ය, වාචසිකඅව්යතික්රම ය, කායිකවාචසිකඅව්යතික්රම යි. ‘සංවුත’ යනු: මේ පාතිමොක්ඛසංවරයෙන් උපේත, සමුපේත, උපගත, සමුපගත, උපපන්න, සමුපපන්න, සමන්නාගත වූයේ වෙයි. එහෙයින් කියනු ලැබෙයි ‘පාතිමොක්ඛසංවරසංවුතො’ යි.
575. ‘විහරති’ යනු: ඉරියවු පවත්වයි, වැටෙයි, පාලනය කෙරෙයි, යැපෙයි, යපනය කෙරෙයි, හැසිරෙයි, වාසය කෙරේ. එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
576. ‘ආචාරගෝචරසම්පන්න’ යනු: ආචාරයෙක් ඇත, අනාචාරයෙක් ඇති. එහි අනාචාරය කවරෙ යත්: කායිකව්යතික්රම ය, වාචසිකව්යතික්රම ය, කායිකවාචසිකව්යතික්රම යි. මේ ‘අනාචාර’ යි කියනු ලැබේ. හැම දුශ්ශිල්යය අනාචාර යි. මෙ සස්නෙහි කිසිවෙක් හුණුදඬු දීමෙන් හෝ, පත්රදානයෙන් හෝ, පුෂ්පදානයෙන් හෝ, ඵලදානයෙන් හෝ, නහනු දීමෙන් හෝ, දැහැටිදඬු දීමෙන් හෝ, චාටුබස් කීමෙන් හෝ මුද්ගසූපය වැනි බොරු මුසු කථායෙන් හෝ, (දරුවන් නැලවීම් ආදි) පාරිභට්ටතායෙන් හෝ, (ගෙන්ගෙට) හසුන්පත් ගෙන යෑමෙන් හෝ, බුදුන් විසින් පිළිකුල් කරන ලද එක්තරාමිථ්යාජීවයෙකින් ජීවිකාව කෙරෙයි. මේ ‘අනාචාර’ යි කියනු ලැබේ. එහි ආචාර කවරෙ යත්: කායික අව්යතික්රම ය, වාචසික අව්යතික්රම ය, කායිකවාචසික අව්යතික්රම යි. මේ ‘ආචාර’ යි කියනු ලැබේ. හැම ශීලසංවරය ‘ආචාර’ යි. මෙ සස්නෙහි කිසිවෙක් හුණුදඬු දීමෙන්, පත්රදානයෙන්, පුෂ්පදානයෙන්, ඵලදානයෙන්, නහනු දීමෙන්, දැහැටිදඬු දීමෙන්, චාටුකම්යතායෙන්, මුද්ගසූප්යතායෙන්, පාරිභට්ටතායෙන්, ජඞ්ඝපෙසනියයෙන් යන බුදුන් විසින් පිළිකුල් කරන ලද අන්යතරාන්යතර මිථ්යාජීවයෙකින් ජීවිකාව නො කෙරේ. මේ ‘ආචාර’ යි කියනු ලැබේ.
‘ගෝචර’ යනු: ගෝචරයෙක් ඇත, අගෝචරයෙක් ඇති. එහි අගෝචර කවරෙ යත්: මෙ සස්නෙහි කිසිවෙක් වේශ්යාවන් ගෝචර කොට ඇත්තේ හෝ, වැන්දඹුවන් ගෝචර කොට ඇත්තේ හෝ, මැහැලි කුමාරිකාවන් ගෝචර කොට ඇත්තේ හෝ, පණ්ඩකයන් ගෝචර කොට ඇත්තේ හෝ, භික්ෂුණීන් ගෝචර කොට ඇත්තේ හෝ, අවන්හල් ගෝචර කොට ඇත්තේ හෝ වේ ද, රජුන් හා රජමහඇමැතියන් හා තීර්ත්ථකයන් හා තීර්ත්ථකශ්රාවකයන් හා අනනුලෝමික වූ සංසර්ගයෙන් සංසෘෂ්ට ව වෙසේ ද, යලි යම් ඒ කුලකෙනෙක් (බුද්ධාදීන් කෙරෙහි) හැදැහැලි නැත්තාහු ද, අප්රසන්න වූවාහු ද, ඕපානයක් (සතරමංසැල කැණිළිඳක්) වැනි නො වූවාහු ද, මහණ - මෙහෙණ - උවසු - උවැසියනට ආක්රෝශපරිභව කරන්නාහු, අවැඩ කැමැත්තාහු, අහිත කැමැත්තාහු, නො සුව කැමැත්තාහු, උපද්රව කැමැත්තාහු වෙත් ද, එබඳු කුලයන් සේවනභජනපර්ය්යුපාසන කෙරේ ද, මේ ‘අගෝචර’ යි කියනු ලැබේ.
එහි ‘ගෝචර’ කවරෙ යත්: මෙහි එකෙක් වේශ්යාවන් ගෝචර (යායුතුතැන්) කොට නැත්තේ වේ ද, වැන්දඹුවන් ගෝචර කොට නැත්තේ, මැහැලි කුමාරිකාවන් ගෝචර කොට නැත්තේ, පණ්ඩකයන් ගෝචර කොට නැත්තේ, භික්ෂුණීන් ගෝචර කොට නැත්තේ, සුරාගාරයන් ගෝචර කොට නැත්තේ වේ ද, රජුන් හා රජමහඇමැතියන් හා තීර්ත්ථකයන් හා තීර්ත්ථකශ්රාවකයන් හා අනනුලෝමික වූ සංසර්ගයෙන් අසංසෘෂ්ට ව වෙසේ ද, යලි යම් ඒ කුල කෙනෙක් (බුද්ධාදීන් කෙරෙහි) හැදැහැලි ඇත්තාහු, ප්රසන්න වූවාහු, ඕපානයක් වැනි වූවාහු, (මහණමෙහෙණන් හන් පෙරැවි) කහවත්හි ප්රභායෙන් එකාලොක වෙත් ද, (ගෙට වදන නික්මෙන මහණ මෙහෙණ සඞ්ඛ්යාත) ඍෂීන්ගේ චීවරවාතයෙන් පරිවාත වෙද්ද, භික්ෂුණී උපාසක උපාසිකාවනට වැඩ කැමැත්තාහු, හිත කැමැත්තාහු, සුව කැමැත්තාහු, නිර්භය කැමැත්තාහු වෙත් ද, එබඳු කුලයන් සේවනභජනපර්ය්යුපාසන කෙරේ ද, මේ ‘ගෝචර’ යි කියනු ලැබේ. මෙසේ මේ ආචාරයෙන් ද, මේ ගෝචරයෙන් ද උපේත වූයේ ... සමන්වාගත වේ. එහෙයින් කියනු ලැබෙයි. ‘ආචාරගෝචරසම්පන්නෝ’ යි.
577. ‘අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී’ යනු: එහි අනුමාත්රවද්යයෝ කවරහ යත්: යම් ඒ වද්ය කෙනෙක් අල්පමාත්ර වූවාහු ද, ස්වල්පමාත්ර වූවාහු ද, ලඝු වූවාහු ද, ලඝු යයි සම්මත වූවාහු ද, සංයම කළ යුතු වූවාහු ද, සංවර කළ යුතු වූවාහු ද, චිත්තෝත්පාදමාත්රයෙන් පිළියම් කළයුතු වූවාහු ද, ආවර්ජිතමාත්රයෙන් පිළියම් කළයුතු වූවාහු ද, මොහු අණුමාත්ර වද්යයෝ යි කියනු ලැබෙත්. මෙසේ මේ අනුමාත්රවද්යයන්හි වරද වශයෙන් දක්නාසුලු වූයේත්, භය වශයෙන් දක්නාසුලු වූයේත්, ආදීනව වශයෙන් දක්නාසුලු වූයේත්, නිස්සරණය දක්නාසුලු වූයේත් වේ. එහෙයින් කියනු ලැබෙයි ‘අණුමත්තෙසු වජ්ජෙසු භය දස්සාවී’ යි.
578. ‘සමාදාය සික්ඛති සික්ඛාපදෙසු’ යනු: එහි ශික්ෂා කවර යත්: ශික්ෂා සතරෙකි: භික්ෂූන්ට භික්ෂුශික්ෂා ය, භික්ෂූණීන්ට භික්ෂුණීශික්ෂා ය, උපාසකයන්ට උපාසකශික්ෂා ය, උපාසිකාවන්ට උපාසිකාශික්ෂා යි. මොහු ‘ශික්ෂා’ යි කියනු ලැබෙත්. මෙසේ මේ ශික්ෂාවන්හි සියල්ලෙන් සියල්ල සර්වප්රකාරයෙන් සියල්ල අශේෂ කොට නිරවශේෂ කොට සමාදන් ව පවතියි. එහෙයින් කියනු ලැබෙයි ‘සමාදාය සික්ඛති සික්ඛාපදෙසු’ යි.