571. මෙ සස්නෙහි මහණ ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් යුක්ත වූයේ ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව වාස කෙරෙයි. ස්වල්පමාත්‍ර වූ වරදෙහි භය දක්නාසුලු වූයේ ශික්‍ෂාපදයන්හි සමාදන් ව හික්මෙයි. ඉන්‍ද්‍රියයන්හි පියූ දොර ඇති ව, භෝජනයෙහි මාත්‍රඥ ව පූර්‍වරාත්‍ර - අපරරාත්‍රයෙහි ජාගර්‍ය්‍යානුයෝගයෙහි යෙදුණේ වීර්‍ය්‍යයෙන් හා ප්‍රඥායෙන් යුක්ත ව, බෝධිපාක්‍ෂිකධර්‍මයන් වැඩීමෙහි යෙදුණේ වෙසෙයි. හෙතෙම ඉදිරියට යෑමෙහි හා නැවැත්මෙහි සම්‍යග්ඥානයෙන් යුක්තව කරන්නේ වෙයි. ඉදිරිබැල්මෙහි හා විදිසාවන් බැල්මෙහි ද, අවයව හැකිලීමෙහි හා දිගුකිරීමෙහි ද, සඟළ පාසිවුරු දැරීමෙහි ද, භෝජනයෙහි, පානයෙහි, කෑමෙහි, රසවිඳීමෙහි ද, මලමූකිරීමෙහි ද, ගමනෙහි, සිටීමෙහි, හිඳීමෙහි, නිදීමෙහි, නිදිවැරීමෙහි, බිණීමෙහි, තූෂ්ණීම්භාවයෙහි ද සම්‍යග්ඥානයෙන් යුක්තව කරන්නේ වෙයි. හෙතෙම අරණ්‍ය ය, වෘක්‍ෂමූල ය, පර්‍වත ය, කඳුරැලි ය, ගිරිගුහා ය, සොහොන ය, වනපත්‍ථ ය, අභ්‍යවකාශ ය, පිදුරුබිස්ස ය, යන ශබ්ද රහිත, නිර්ඝෝෂ රහිත වූ, ජනවාත රහිත වූ, මිනිසුන්ගේ රහස්‍යකරණයට ස්ථාන වූ, විවේකයට අනුරූප වූ, විවේකසේනසුනක් භජනය කෙරෙයි. හෙතෙම අරණ්‍යසෙනාසනයට ගියේ හෝ වෘක්‍ෂමූලසේනාසනයට ගියේ හෝ, ශුන්‍යාගාරයට ගියේ හෝ, පලක් බැඳ කය ඍජුව තබා, සිහිය කර්‍මස්ථානයට අභිමුඛකොට එළවා හිඳියි. හෙතෙම ස්කන්‍ධලෝකයෙහි අභිධ්‍යාව හැර පියා, පහ වූ අභිධ්‍යා ඇති සිතින් යුක්ත ව වෙසෙයි. අභිධ්‍යායෙන් සිත පිරිසිදු කෙරෙයි. ව්‍යාපාද ප්‍රදෝෂය දුරුකොට, ව්‍යාපාද රහිත සිත් ඇති ව සියලු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පී ව වෙසෙයි. ව්‍යාපාද ප්‍රදෝෂයෙන් සිත පිරිසිදු කෙරෙයි. ථීනමිද්ධය හැර පියා පහව ගිය ථීනමිද්ධ ඇති ව, ආලෝක සංඥා ඇති ව, සිහි ඇති ව, සම්‍යග්ඥාන ඇති ව වෙසෙයි. ථීනමිද්ධයෙන් සිත පිරිසිදු කෙරෙයි. උද්ධච්චකුක්කුච්චය හැර පියා උඩඟු නො වූයේ, අධ්‍යාත්මයෙහි සන්හුන් සිත් ඇතිව වෙසෙයි. උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කෙරෙයි. විචිකිච්ඡාව හැර පියා තරණයකළ විචිකිත්සා ඇති ව, කුශලධර්‍මයන්හි සැක රහිතව වෙසෙයි, විචිකිත්සායෙන් සිත පිරිසිදු කෙරෙයි. හෙතෙම චිත්තයට උපක්ලේශ වූ ප්‍රඥාව දුර්‍වල කරන මේ පඤ්ච නීවරණයන් හැර පියා කාමයන්ගෙන් වෙන් ව ම, අකුශල ධර්‍මයන්ගෙන් වෙන් ව ම, විතර්‍ක සහිත වූ විචාර සහිත වූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි. විතර්‍කවිචාරයන් සංහිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති, චිත්තයාගේ එකඟ බව ඇති, අවිතර්‍ක වූ, අවිචාර වූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුඛය ඇති, ද්විතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. ප්‍රීතියගේ ද ඉක්මවීමෙන් උපේක්‍ෂා ඇත්තේ ද, සිහි ඇත්තේ ද, සම්‍යග්ඥාන ඇති ව නාමකයින් සුඛය ද විඳියි, යම් ධ්‍යානයක් හේතුකොටගෙන (බුද්ධාදී) ආර්‍ය්‍යයෝ ඒ ධ්‍යානසමඞ්ගීපුද්ගලයා ‘උපේක්‍ෂා ඇත්තේ ය, ස්මෘති ඇත්තේ ය, සුඛවිහරණ ඇත්තේ’ යි කියත් නම් ඒ තෘතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. (කායික) සුඛයාගේ ද ප්‍රහාණයෙන්, දුඃඛයාගේ ද ප්‍රහාණයෙන්, පළමු වැ සොම්නස් දොම්නසුන්ගේ ප්‍රහාණයෙන්, දුක් නො වූ, සුඛ නො වූ, උපේක්‍ෂායෙන් උපන් ස්මෘති පාරිශුද්ධිය ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසෙයි. සර්‍වප්‍රකාරයෙන් රූප සංඥාවන් ඉක්මවාලීමෙන්, ප්‍රතිඝසංඥාවන් දුරලීමෙන්, නානාත්‍වසංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ‘ආකාසය අනන්ත’ යි භාවනාකොට ආකාසානඤ්චායතනයට පැමිණ වෙසෙයි. සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තය යි භාවනා කොට විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වෙසෙයි. සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණාඤ්චායතනය ඉක්මවා ‘නත්‍ථි කිඤ්චි’ යි භාවනා කොට ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසේ යි.
මාතෘකා යි.
572. ‘ඉධ’ යනු: මේ දෘෂ්ටියෙහි, මේ ක්‍ෂාන්තියෙහි, මේ රුචියෙහි, මේ ග්‍රහණයෙහි, මේ ධර්‍මයෙහි, මේ විනයයෙහි, මේ ධර්‍මවිනයයෙහි, මේ ප්‍රවචනයෙහි, මේ බ්‍රහ්මචර්‍ය්‍යයෙහි, මේ ශාස්තෘශාසනයෙහි, එයින් කියනු ලැබෙයි ‘ඉධ’ යි.
573. ‘භික්ඛු’ යනු: ව්‍යවහාරයෙන් භික්‍ෂු ය, ප්‍රතිඥායෙන් භික්‍ෂු ය, භික්‍ෂාටනය කෙරේනු යි භික්‍ෂු ය, භික්‍ෂාටනය කරනුයේ නු යි භික්‍ෂු ය, භික්‍ෂාචර්‍ය්‍යාවට පැමිණියේ නු යි භික්‍ෂු ය, භින්න වූ වස්ත්‍ර දරනුයේ නු යි භික්‍ෂු ය, ලාමක අකුශලධර්‍මයන් බිඳී නු යි භික්‍ෂු ය, ලාමක අකුශලධර්‍මයන් බිඳහළ හෙයින් භික්‍ෂු ය, අවධි වශයෙන් ක්ලේශයන්ගේ ප්‍රහාණයෙන් භික්‍ෂු ය, අනවධි (සීමාරහිත) වශයෙන් ක්ලේශයන්ගේ ප්‍රහාණයෙන් භික්‍ෂු ය, ශෛක්‍ෂ භික්‍ෂු ය, අශෛක්‍ෂ භික්‍ෂු ය, නො ම ශෛක්‍ෂ වූ අශෛක්‍ෂ ද නො වූ භික්‍ෂු ය, (සීලසමාධිප්‍රඥාවිමුක්තියෙන්) අග්‍රවූයේ භික්‍ෂු ය, භද්‍ර භික්‍ෂු ය, මණ්ඩ (ප්‍රසන්න) භික්‍ෂු ය, සාර භික්‍ෂු ය, සමගසඞ්ඝයා විසින් අකෝප්‍ය වූ ස්ථානාර්‍හ වූ ඤත්තිචතුත්‍ථ කර්‍මයෙන් උපසම්පන්න වූයේ භික්‍ෂු යි.
574. ‘පාතිමොක්ඛ’ යනු: ශීල ය කුශලධර්‍මයන්ගේ ප්‍රතිලාභයට ප්‍රතිෂ්ඨා ය, ආදි ය, චරණ (පාද) ය, සංයම ය, සංවර ය, ද්වාර ය, ප්‍රමුඛ යි. ‘සංවර’ යනු: කායිකඅව්‍යතික්‍රම ය, වාචසිකඅව්‍යතික්‍රම ය, කායිකවාචසිකඅව්‍යතික්‍රම යි. ‘සංවුත’ යනු: මේ පාතිමොක්ඛසංවරයෙන් උපේත, සමුපේත, උපගත, සමුපගත, උපපන්න, සමුපපන්න, සමන්නාගත වූයේ වෙයි. එහෙයින් කියනු ලැබෙයි ‘පාතිමොක්ඛසංවරසංවුතො’ යි.
575. ‘විහරති’ යනු: ඉරියවු පවත්වයි, වැටෙයි, පාලනය කෙරෙයි, යැපෙයි, යපනය කෙරෙයි, හැසිරෙයි, වාසය කෙරේ. එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
576. ‘ආචාරගෝචරසම්පන්න’ යනු: ආචාරයෙක් ඇත, අනාචාරයෙක් ඇති. එහි අනාචාරය කවරෙ යත්: කායිකව්‍යතික්‍රම ය, වාචසිකව්‍යතික්‍රම ය, කායිකවාචසිකව්‍යතික්‍රම යි. මේ ‘අනාචාර’ යි කියනු ලැබේ. හැම දුශ්ශිල්‍යය අනාචාර යි. මෙ සස්නෙහි කිසිවෙක් හුණුදඬු දීමෙන් හෝ, පත්‍රදානයෙන් හෝ, පුෂ්පදානයෙන් හෝ, ඵලදානයෙන් හෝ, නහනු දීමෙන් හෝ, දැහැටිදඬු දීමෙන් හෝ, චාටුබස් කීමෙන් හෝ මුද්ගසූපය වැනි බොරු මුසු කථායෙන් හෝ, (දරුවන් නැලවීම් ආදි) පාරිභට්ටතායෙන් හෝ, (ගෙන්ගෙට) හසුන්පත් ගෙන යෑමෙන් හෝ, බුදුන් විසින් පිළිකුල් කරන ලද එක්තරාමිථ්‍යාජීවයෙකින් ජීවිකාව කෙරෙයි. මේ ‘අනාචාර’ යි කියනු ලැබේ. එහි ආචාර කවරෙ යත්: කායික අව්‍යතික්‍රම ය, වාචසික අව්‍යතික්‍රම ය, කායිකවාචසික අව්‍යතික්‍රම යි. මේ ‘ආචාර’ යි කියනු ලැබේ. හැම ශීලසංවරය ‘ආචාර’ යි. මෙ සස්නෙහි කිසිවෙක් හුණුදඬු දීමෙන්, පත්‍රදානයෙන්, පුෂ්පදානයෙන්, ඵලදානයෙන්, නහනු දීමෙන්, දැහැටිදඬු දීමෙන්, චාටුකම්‍යතායෙන්, මුද්ගසූප්‍යතායෙන්, පාරිභට්ටතායෙන්, ජඞ්ඝපෙසනියයෙන් යන බුදුන් විසින් පිළිකුල් කරන ලද අන්‍යතරාන්‍යතර මිථ්‍යාජීවයෙකින් ජීවිකාව නො කෙරේ. මේ ‘ආචාර’ යි කියනු ලැබේ.