579. ‘ඉන්‍ද්‍රියෙසු ගුත්තද්වාරො’ යනු: ඉන්‍ද්‍රියයන්හි ගුත්තද්වාරතායෙක් ඇත. අගුත්තද්වාරතායෙක් ඇති. එහි ඉන්‍ද්‍රියයන්හි අගුත්තද්වාරතා කවර යත්: මෙ සස්නෙහි කිසිවෙක් චක්‍ෂුර්විඥානයෙන් රූපයක් දැක (ක්ලේශවස්තු වූ) නිමිති ගන්නේ වෙයි, (හස්තපාදාදි) ආකාර විසින් ගන්නේ වෙයි, යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රියය අසංවෘත ව වසන මොහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු නම් ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස නො පිළිපදියි, චක්‍ෂුරින්‍ද්‍රිය නො රකී. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට නො පැමිණෙයි. ශ්‍රෝත්‍රයෙන් ශබ්දයක් අසා ... ඝ්‍රාණයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණය කොට ... ජිහ්වායෙන් රසයක් විඳ ... කයින් පහසක් පැහැස ... මනසින් දහමක් දැන නිමිති ගන්නේ වෙයි, ආකාර විසින් ගන්නේ වෙයි, යම් කරුණෙකින් මනින්‍ද්‍රියය අසංවෘත ව වසන මොහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු නම් ඒ මනින්‍ද්‍රියයාගේ සංවරය පිණිස නො පිළිපදියි, මනින්‍ද්‍රියය නො රකියි, මනින්‍ද්‍රියයෙහි සංවරයට නො පැමිණෙයි. මේ ෂඩ්ඉන්‍ද්‍රියයන්ගේ යම් අගුප්තියෙක්, අගෝපනයෙක්, අනාරක්‍ෂායෙක්, අසංවරයෙක් වේ ද, මේ ‘ඉන්‍ද්‍රියයන්හි අගුත්තද්වාරතා’ යි කියනු ලැබේ. එහි ඉන්‍ද්‍රියයන්හි ගුත්තද්වාරතා කවර යත්: මෙ සස්නෙහි කිසිවෙක් ඇසින් රූපයක් දැක (ක්ලේශවස්තු වූ) නිමිති නො ගන්නේ වෙයි, ආකාර විසින් නො ගන්නේ වෙයි. යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රියය අසංවෘත ව වාසය කරන මොහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු නම් ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදියි, චක්‍ෂුරින්‍ද්‍රියය රකී, චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. ශ්‍රෝත්‍රයෙන් ශබ්දයක් අසා ... ඝ්‍රාණයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණය කොට ... දිවින් රසයක් විඳ ... කයින් පහසක් පැහැස ... මනසින් ධර්‍මයක් දැන නිමිති නො ගන්නේ වෙයි, ආකාර විසින් නො ගන්නේ වෙයි. යම් කරුණෙකින් මනින්‍ද්‍රියය අසංවෘත ව වසන මොහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු නම් ඒ මනින්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදියි, මනින්‍ද්‍රියය රකියි, මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. මේ ෂඩ්ඉන්‍ද්‍රියයන්ගේ යම් ගුප්තියෙක් ගෝපනයෙක් ආරක්‍ෂායෙක් සංවරයෙක් වේ ද මේ ‘ඉන්‍ද්‍රියයන්හි ගුප්තද්වාරතා’ යි කියනු ලැබේ. මේ ඉන්‍ද්‍රියයන්හි ගුප්තද්වාරතායෙන් උපේත වූයේ සමුපේත වූයේ සමන්‍වාගත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘ඉන්‍ද්‍රියෙසු ගුත්තද්වාරො’ යි.
580. ‘භෝජනෙ මත්තඤ්ඤූ’ යනු: භෝජනයෙහි මාත්‍රඥතායෙක් ඇත, භෝජනයෙහි අමාත්‍රඥතායෙක් ඇති. එහි භෝජනයෙහි අමාත්‍රඥතා කවර යත්: මෙ සස්නෙහි කිසිවෙක් ප්‍රත්‍යවේක්‍ෂා නො කොට නුනුවණින් කෙලි පිණිස, මද පිණිස, අලඞ්කාර පිණිස, සැරහුම් පිණිස ආහාර ගනී. ඒ භෝජනයෙහි යම් අසන්තුෂ්ට බවෙක්, අමාත්‍රඥ බවෙක්, ප්‍රත්‍යවේක්‍ෂා රහිත බවෙක් වේ ද, මේ ‘භෝජනයෙහි අමාත්‍රඥතා’ යි කියනු ලැබේ. එහි භෝජනයෙහි මාත්‍රඥතා කවර යත්: මෙ සස්නෙහි කිසිවෙක් ප්‍රත්‍යවේක්‍ෂා කොට නුවණින් අහර වළඳයි: කෙළි පිණිස නො ම වළඳයි, මද පිණිස, අලඞ්කාර පිණිස, සැරසුම් පිණිස නො ම වළඳයි. යම්තාක් මේ කය පැවැත්ම පිණිස, යැපීම පිණිස, බඩගිනි වේදනා නැසීම පිණිස, බඹසරට අනුග්‍රහ පිණිස වළඳයි. මෙසේ පැරණි බඩගිනි වේදනා නසමි, අළුත් වේදනාත් නූපදවමි, මාගේ යැපීම ද වන්නේ ය, අනවද්‍යභාවය ද, සැපවිහරණය ද වන්නේ යි. ඒ භෝජනයෙහි යම් සන්තුෂ්ට බවෙක් මාත්‍රඥ බවෙක් ප්‍රත්‍යවේක්‍ෂායෙක් වේ ද, මේ ‘භෝජනයෙහි මාත්‍රඥතා’ යි කියනු ලැබේ. මේ භෝජනයෙහි මාත්‍රඥතායෙන් යුක්ත වූයේ ... සමන්‍වාගත වූයේ වේ.
581. කිසෙයින් මහණ පූර්‍වරාත්‍රාපරරාත්‍රයෙහි ජාගර්‍ය්‍යානුයෝගයෙහි යෙදුණේ වේ ද යත්: මෙ සස්නෙහි මහණ දහවල්හි සක්මනින් ද, හිඳීමෙන් ද නීවරණ ධර්‍මයන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි. රාත්‍රියෙහි පෙරයම සක්මනින් ද, හිඳීමෙන් ද ආවරණීයධර්‍මයන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි. රෑ මැදියම දකුණුපයෙහි වම්පය මඳක් ඇද තබා, සිහිනුවණ ඇතියේ, උත්‍ථානසංඥාව මෙනෙහි කොට දකුණැලයෙන් සිංහශය්‍යාව කෙරෙයි. රෑ අලුයම නැගීසිට චඞ්ක්‍රමණයෙන්, නිෂද්‍යායෙන්, ආවරණීයධර්‍මයන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි. මෙසේ මහණ ‘පූර්‍වරාත්‍රාපරරාත්‍රයෙහි ජාගර්‍ය්‍යානුයෝගයෙහි යෙදුණේ’ වේ.
582. ‘සාතච්චං’ යනු: යම් චෛතසික වූ වීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද එය යි.
583. ‘නෙපක්කං’ යනු: යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් වේ ද එය යි.
584. ‘බෝධිපක්ඛියානං ධම්මානං භාවනානුයෝගමනුයුත්තො’ යනු: එහි බෝධිපාක්‍ෂිකධර්‍මයෝ කවරහ යත්: සප්තබෝධ්‍යඞ්ගයෝ ය: ස්මෘතිසම්බොධ්‍යඞ්ග ය, ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග ය, වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග ය, ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග ය, ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග ය, සමාධිසම්බොධ්‍යඞ්ග ය, උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යි. මොහු ‘බෝධිපාක්‍ෂිකධර්‍මයෝ’ යි කියනු ලැබෙත්. මෙසේ මේ බෝධිපාක්‍ෂිකධර්‍මයන් ආසෙවනය කෙරෙයි, භාවනා කෙරෙයි, බහුල කෙරෙයි. එහෙයින් කියනු ලැබෙයි: ‘බෝධිපක්ඛියානං ධම්මානං භාවනානුයෝගමනුයුත්තො’ යි.
585. කිසෙයින් මහණ ඉදිරියට යෑමෙහි, නැවැත්මෙහි සම්පජානකාරී වේ ද, ඉදිරිය බැලීමෙහි, හාත්පස බැලීමෙහි සම්පජානකාරී වේ ද, අත්පා හැකිළීමෙහි, දිගු කිරීමෙහි සම්පජානකාරී වේ ද, සඟල - පා - සිවුරු දැරීමෙහි සම්පජානකාරී වේ ද, භෝජනයෙහි, පානයෙහි, කෑමෙහි, රසවිඳීමෙහි සම්පජානකාරී වේ ද, මල - මූ කිරීමෙහි සම්පජානකාරී වේ ද, ගමනෙහි, සිටීමෙහි, හිඳීමෙහි, නිදීමෙහි, නිදිවැරීමෙහි, බිණීමෙහි, නො බිණීමෙහි සම්පජානකාරී වේ ද යත්: මෙ සස්නෙහි මහණ සිහි ඇති ව, නුවණ ඇති ව ඉදිරියට යෙයි, සිහි ඇති ව, නුවණ ඇති ව පෙරළා එයි, සිහිනුවණ ඇති ව ඉදිරිය බලයි, සිහිනුවණ ඇති ව හාත්පස බලයි, සිහිනුවණ ඇති ව අත්පා හකුළ යි, සිහිනුවණ ඇති ව අත්පා දිගු කෙරෙ යි, සඟල - පා - සිවුරු දැරීමෙහි සිහි ඇති ව නුවණින් කරනසුලු වෙයි. වැළඳීමෙහි, පීමෙහි, කෑමෙහි, රසවිඳීමෙහි සිහි ඇතිව නුවණින් කරනසුලු වෙයි. මල - මූ කිරීමෙහි සිහි ඇතිව නුවණින් කරනසුලු වෙයි. ගමනෙහි, සිටීමෙහි, හිඳීමෙහි, නිදීමෙහි, නිදිවැරීමෙහි, බිණීමෙහි, නො බිණීමෙහි සිහි ඇතිව නුවණින් කරනසුලු වේ.
‘සතෝ’ යනු: එහි සති කවර යත්: යම් ස්මෘතියක් අනුස්මෘතියක් ... සම්‍යක්ස්මෘතියක් වේ ද, මේ ‘සති’ යි කියනු ලැබේ.