20. කවර පුද්ගලයෙක් ස්ථිතකල්පී වේ ද යත්: මේ පුද්ගලයාත් සෝවාන් ඵලය පසක් කරන්නට පිළිපන්නේ වේ නම් කල්පය තමාත් දැවෙන වේලාව වේ නම් යම්තාක් මේ පුද්ගල සෝවාන්ඵලය සාක්‍ෂාත් නො කෙරෙයි ද, ඒ තාක් කල්පය තෙමේ නො දැවේ මැ යි. මේ පුද්ගල ස්ථිතකල්පී යැ යි කියනු ලැබේ. මාර්‍ගස්ථ වූ සියලු මැ පුද්ගලයෝ ස්ථිතකල්පීහු යි.
21-22. කවර පුද්ගලයෙක් ‘ආර්‍ය්‍ය’ වේ ද යත්: අෂ්ටාර්‍ය්‍ය පුද්ගලයෝ ආර්‍ය්‍යයෝ යැ, සෙසු පුද්ගලයෝ අනාර්‍ය්‍යයෝ යි.
23-25. කවර පුද්ගලයෙක් ‘ශෛක්‍ෂ’ වේ ද යත්: මාර්‍ගස්ථ පුද්ගලයෝ සතර දෙනා යැ, ඵලස්ථ පුද්ගලයෝ තිදෙනා යැ යන මොහු ශෛක්‍ෂයෝ යැ, අර්‍හත් තෙමේ අශෛක්‍ෂ යැ, සෙසු පුද්ගලයෝ ශෛක්‍ෂත් අශෛක්‍ෂත් නො වූවෝ යි.
26. කවර පුද්ගලයෙක් තේවිජ්ජ වේ ද යත්: ත්‍රිවිද්‍යායෙන් යුක්ත වූ පුද්ගල තේවිජ්ජ නම් වෙයි.
27. කවර පුද්ගලයෙක් ‘ජළභිඤ්ඤ’ වේ ද යත්: සවැදෑරුම් අභිඥායෙන් යුක්ත වූ පුද්ගල ‘ඡළභිඤ්ඤ’ නම් වෙයි.
28. කවර පුද්ගලයෙක් ‘සම්මාසම්බුද්ධ’ වේ ද යත්: මෙලොවැ එක් පුද්ගලයෙක් පෙර නො ඇසූ විරූ ධර්‍මයන්හි සත්‍යයන් තෙමේ අවබෝධ කොට ගනියි, යළි එහි සර්‍වඥ බවට පැමිණෙයි, (දශ) බලඥානයෙහි ද වශීභාවයට පැමිණෙයි. මේ පුද්ගල ‘සම්මාසම්බුද්ධ’ යැයි කියනු ලැබේ.
29. කවර පුද්ගලයෙක් ‘පච්චේකසම්බුද්ධ’ වේ ද යත්: මෙලොවැ එක් පුද්ගලයෙක් පෙර නො ඇසූ විරූ ධර්‍මයන්හි සත්‍යයන් තෙමේ අවබෝධ කොට ගනි. එතෙකුදුවත් එහි සර්‍වඥභාවයට නො පැමිණෙයි. (දශ) බලඥානයෙහි වශීභාවයට ද නො පැමිණෙයි. මේ පුද්ගල ‘පව්චේකසම්බුද්ධ’ යැයි කියනු ලැබේ.
30. කවර පුද්ගලයෙක් ‘උභතෝභාග විමුක්ත’ වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් අෂ්ටවිමෝක්‍ෂයන් (නාම) කයින් ස්පර්‍ශ කොට වාස කරයි. (විදර්‍ශනා - මාර්‍ග) ප්‍රඥායෙන් දැක මොහුගේ ආස්‍රවයෝ ක්‍ෂය වූවාහු ද වෙත්. මේ පුද්ගල ‘උභතෝභාගවිමුක්ත’ යැයි කියනු ලැබේ.
31. කවර පුද්ගලයෙක් ‘ප්‍රඥාවිමුක්ත’ වේ ද යත්: මෙලොවැ එක් පුද්ගලයෙක් අෂ්ටවිමෝක්‍ෂයන් කයින් ස්පර්‍ශ කොට නො මැ වසයි, ප්‍රඥායෙන් දැක මොහුගේ ආස්‍රවයෝ ක්‍ෂය වූවාහු ද වෙත්. මේ පුද්ගල ‘ප්‍රඥාවිමුක්ත’ යැ යි කියනු ලැබේ.
32. කවර පුද්ගලයෙක් ‘කායසාක්‍ෂි’ වේ ද යත්: මෙලොවැ එක් පුද්ගලයෙක් අෂ්ටවිමෝක්‍ෂයන් කයින් ස්පර්‍ශ කොට වාස කරයි. යළි ප්‍රඥායෙන් දක මොහුගේ ඇතැම් ආස්‍රවයෝ ක්‍ෂය වූවාහු වෙත්. මේ පුද්ගල තෙමේ ‘කාය සාක්‍ෂි’ යි කියනු ලැබේ.
33. කවර පුද්ගලයෙක් ‘දෘෂ්ටප්‍රාප්ත’ වේ ද යත්: මේ ලොවැ එක් පුද්ගලයෙක් මේ (උපාදානස්කන්‍ධපඤ්චකය) දුකැ යි ඇති සැටියෙන් දනියි, මේ (තෘෂ්ණාව) දුඃඛසමුදය යැ යි ඇති සැටියෙන් දනියි, මේ (තෘෂ්ණා නිරෝධය) දුඃඛනිරෝධය යැ යි ඇති සැටියෙන් දනි, මේ (ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය) දුක් නැති කරන පිළිවෙතැ යි ඇති සැටියෙන් දනියි. තථාගතයන් වහන්සේ විසින් දන්නා ලද (චතුස්සත්‍ය) ධර්‍මයෝ ද මොහු විසින් නුවණින් මොනවට දක්නා ලද්දාහු හසළාහු වෙති, තව ද නුවණින් දැක මොහුගේ ඇතැම් ආස්‍රවයෝ ක්‍ෂය වූවාහු වෙත්. මේ පුද්ගල ‘දෘෂ්ටප්‍රාප්ත’ යි කියනු ලැබේ.
34. කවර පුද්ගලයෙක් ‘ශ්‍රද්ධාවිමුක්ත’ වේ ද යත්: මෙ ලොවැ එක් පුද්ගලයෙක් මේ දුකැයි ඇති සැටියෙන් දනියි, මේ දුක් ඇති වීමේ හේතු යැයි ඇති සැටියෙන් දනියි, මේ දුක් නැති වී මැ යි ඇති සැටියෙන් දනියි, මේ දුක් නැති කිරීමේ පිළිවෙතැ යි ඇති සැටියෙන් දනියි, තථාගතයන් වහන්සේ විසින් දන්නා ලද ධර්‍මයෝ ද මොහු විසින් නුවණින් මොනවට දක්නා ලද්දාහු හසළාහු වෙති, නුවණින් දැක මොහුගේ ඇතැම් ආස්‍රවයෝ ක්‍ෂය වූවාහු ද වෙත්. එහෙත් දෘෂ්ටප්‍රාප්තයා හට බඳු නො වේ. මේ පුද්ගල ‘ශ්‍රද්ධාවිමුක්ත’ යි කියනු ලැබේ.
35. කවර පුද්ගලයෙක් ‘ධර්‍මානුසාරී’ වේ ද යත්: සෝතාපත්ති ඵලය සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන් යම් පුද්ගලයකහුගේ ප්‍රඥේන්‍ද්‍රිය බලවත් වේ ද, ප්‍රඥාව එළවන සුලු ප්‍රඥා පූර්‍වඞ්ගම වූ ආයතමාර්‍ගය වඩා ද මේ පුද්ගල ‘ධර්‍මානුසාරී’ යැ යි කියනු ලැබේ. සෝවන් ඵලය සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන් පුද්ගල ‘ධර්‍මානුසාරී’ වෙයි. ඵලයෙහි සිටීයේ දෘෂ්ටප්‍රාප්ත යි.