9. 8.
විතක්කවිප්ඵාරසද්දකථා
[‘විතර්‍කවිචාර වාක්සංස්කාරයහ’ යි වදාළෙන් විතර්‍කණය කරන්නහුගේ විතර්‍කවිස්ථාරය ශබ්ද වේ’ යයි ලබ්ධි ගත් පූර්‍වශෛලියයන්ගේ වාද බිඳුනට ‘විතක්කවිප්ඵාරසද්දකථා’ එයි.]
1. ස. පු: සර්‍වප්‍රකාරයෙන් විතර්‍කවිචාර කරන්නහුගේ විතර්‍ක විස්ඵාරය ශබ්ද වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සර්‍වප්‍රකාරයෙන් ස්පර්‍ශ කරන්නහුගේ ස්පර්‍ශවිස්ඵාරය ශබ්ද වේ ද, සර්‍වප්‍රකාරයෙන් වේදනා විඳුනහුගේ වේදනාවිප්ඵාරය ශබ්ද වේ ද, සර්‍වප්‍රකාරයෙන් සඤ්ජානන කරන්නහුගේ සඤ්ඤාවිප්ඵාරය ශබ්ද වේ ද, සර්‍වප්‍රකාරයෙන් චේතනා කරන්නහුගේ චේතනාවිප්ඵාරය ශබ්ද වේ ද? සර්‍වප්‍රකාරයෙන් චින්තන කරන්නහුගේ චිත්තවිප්ඵාරය ශබ්ද වේ ද, සර්‍වප්‍රකාරයෙන් ස්මරණය කරන්නහුගේ සතිවිප්ඵාරය ශබ්ද වේ ද, සර්‍වප්‍රකාරයෙන් ප්‍රජානන කරන්නහුගේ පඤ්ඤාවිප්ඵාරය ශබ්ද වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: සර්‍වප්‍රකාරයෙන් විතර්‍කවිචාර කරන්නහුගේ විතර්‍කවිස්ඵාරය ශබ්ද වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: විතර්‍කවිස්ඵාර ශබ්දය ශ්‍රෝත්‍රවිඥේය වේ ද, ශ්‍රෝත්‍රයෙහි ගැටේ ද, ශ්‍රෝත්‍රයාගේ ආපාථයට පැමිණේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: විතර්‍කවිස්ඵාරශබ්දය ශ්‍රෝත්‍රවිඥේය නො වූයේ ශ්‍රෝත්‍රයෙහි නො හැනෙන්නේ ශ්‍රෝත්‍රයාගේ ආපාථයට නො පැමිණෙන්නේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් විතර්‍කවිස්ඵාරශබ්දය ශ්‍රෝත්‍රවිඥේය නො වේ නම්, ශ්‍රෝත්‍රයෙහි නො හැනෙන්නේ නම්, ශ්‍රෝත්‍රයාගේ ආපාථයට නො පැමිණෙන්නේ නම්,
අනු. පා: භවත, ‘සර්‍වප්‍රකාරයෙන් විතර්‍කවිචාර කරන්නහුගේ විතර්‍කවිස්ඵාරය ශබ්දයෙකි’ යි නො කියැයුතු මැ යැ.
විතක්කවිප්ඵාරසද්දකථා නිමි.
9. 9.
න යථාචිත්තස්ස වාචාතිකථා
[යම් හෙයෙකින් යමෙක් ‘අනෙකක් කියමි’ යි අනෙකක් කියා ද, එහෙයින් ‘යථාචිත්තයාගේ වචන හෙවත් චිත්තානුගතික ව්‍යවහාර නො වේ යයි ද, චිත්තයෙන් තොර වචන ඇති’ යි ද ලබ්ධි ගත් පූර්‍වශෛලියනිකායවාසීන්ගේ වාද බිඳුනට ‘න යථාචිත්තස්ස වාචානි කථා’ එයි.]
1. ස. පු: වචන චිත්තානුගතික නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (එකෙණෙහි) ස්පර්‍ශ රහිතයක්හුගේ වචන, අවේදකයක්හුගේ වචන, අසංඥයක්හුගේ වචන, අචේතනයක්හුගේ වචන, අචිත්තකයක්හුගේ වචන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: ස්පර්‍ශ සහිතයක්හුගේ වාක්, වේදනා සහිතයක්හුගේ වාක්, සංඥා සහිතයක්හුගේ වාක්, චේතනා සහිතයක්හුගේ වාක්, චිත්ත සහිතයක්හුගේ වාක් නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ස්පර්‍ශ සහිතයක්හුගේ වාක් … සචිත්තයක්හුගේ වාක් වේ නම්,
අනු. පා: භවත, චිත්තානුගතික වාක් නො වෙතියි නො කියයුතු මැ යැ.
2. ස. පු: වචන චිත්තානුගතික නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ආවර්‍ජනා නො කරන්නහුගේ වාක් … ආභෝග නැතියහුගේ වාක් … ප්‍රණිධාන නැතියහුගේ වාක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: ආවර්‍ජනා කරන්නහුගේ වාක් … ආභෝග ඇතියහුගේ වාක් … ප්‍රණිධාන ඇතියහුගේ වාක් නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ආවර්‍ජනා කරන්නහුගේ වාක් … ආභෝග ඇතියහුගේ වාක් … ප්‍රණිධාන කරන්නහුගේ වාක් වේ නම්,
අනු. පා: භවත, චිත්තානුරූප වාක් නො වෙති’යි නො කියැයුතු මැ යැ.