8. 1.
ගතිකථා
[අසුරකාය හා සමග ‘ගති සයෙකැ’යි අන්ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ගතිකථා එයි.]
1. ස. පු: ගති සයෙක් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්යවතුන් වහන්සේ විසින් ‘නිරය, තිරිසන්යෝනිය, ප්රේතවිෂය, මනුෂ්ය, දෙව’ යයි පඤ්ච ගතියක් වදාරනලද නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් භාග්යවතුන් වහන්සේ විසින් ‘නිරය, තිරිසන්යෝන, ප්රේතවිෂය, මනුෂ්ය, දෙව’ යයි පඤ්ච ගතියක් වදාරනලද නම්,
අනු. පා: භවත, ‘ගති සයෙකැ’යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: ගති සයෙක් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කාලකඤ්ජික අසුරයෝ ප්රෙතයන් හා සමානවර්ණ ඇත්තාහු සමානභෝග සමානාහාර සමාන ආයු ඇත්තාහු ප්රෙතයන් හා සමඟ ආවාහවිවාහයට යෙත් නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් කාලකඤ්ජික අසුරයෝ ප්රෙතයන් හා සමානවර්ණ සමානභෝග සමානාහාර සමාන ආයු ඇත්තාහු ප්රෙතයන් හා සමග ආවාහවිවාහයට යෙත් නම්,
අනු. පා: භවත, ‘ගති සයෙකැ’ යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: ගති සයෙක් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: වේපචිත්ති පිරිස්ගතයෝ දෙවියනට සමානවර්ණ ඇත්තාහු සමානභෝග සමානාහාර සමාන ආයු ඇත්තාහු දෙවියන් හා සමග ආවාහවිවාහයට යෙත් නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් වේපචිත්ති පිරිස්ගතයෝ දෙවියනට සමානවර්ණ ඇත්තාහු සමානභෝග සමානාහාර සමාන ආයු ඇත්තාහු දෙවියන් හා සමග ආවාහවිවාහයට යෙත් නම්,
අනු. පා: භවත, ‘ගති සයෙකැ’ යි නො කියැයුතු මැ යැ.
4. ස. පු: ගති සයෙක් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: වේපචිත්ති පිරිස්ගතයෝ පූර්වදේව නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් වෙපචිත්තිපිරිස්ගතයෝ පූර්වදේව වූහු නම්,
අනු. පා: භවත, ‘ගති සයෙකැ’ යි නො කියැයුතු මැ යැ.
5. ප. පු: ‘ගති සයෙකැ’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ‘අසුරකාය’ ඇත් නු?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අසුරකාය ඇත් නම්,
අනු. පා: භවත, එකරුණින් ‘ගති සයෙකැ’ යි කියැයුතු මැ යැ.
ගතිකථා නිමි.