7. 3.
චේතසිකකථා
[‘චෛතසිකධර්‍ම නැති’ යි රාජගිරික සිද්ධත්‍ථික නිකායවාසීන් සෙයින් වාද ගත්තවුන්ගේ වාද බිඳුනට චෛතසික කථා එයි.]
1. ස. පු: චෛතසිකධර්‍ම නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චිත්තයා හා සහගත, සහජාත, හැනීගිය, සම්ප්‍රයුක්ත, එක්ව උපත් ඇති, ඒකනිරෝධ, ඒකවස්තුක, ඒකාලම්බන සැහැවි ඇති, කිසි ධර්‍ම කෙනෙක් ඇත්තාහු නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් චිත්තයා හා සහගත, සහජාත, සංසෘෂ්ට, සම්ප්‍රයුක්ත, ඒකෝත්පාද, ඒකනිරෝධ, ඒකවස්තුක, ඒකාලම්බන සැහැවි ඇති, කිසි ධර්‍ම කෙනෙක් ඇත් නම්,
අනු. පා: භවත, ‘චෛතසික ධර්‍ම නැති’ යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: ස්පර්‍ශය චිත්තය හා සහජාත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ස්පර්‍ශය චිත්තය හා සහජාත වේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘ස්පර්‍ශය චෛතසික යැ’යි කියැයුතු මැ යැ.
3. ස. පු: වේදනා … සංඥා … චේතනා … ශ්‍රද්ධා වීර්‍ය්‍ය … ස්මෘති … සමාධි … ප්‍රඥා … රාග … ද්වේෂ … මෝහ … අනපත්‍රපා චිත්තය හා සහජාත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අනපත්‍රපා චිත්තය හා සහජාත වේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘අනපත්‍රපා චෛතසික යැ’ යි කියැයුතු මැ යැ.
4. ප. පු: ‘චිත්තය හා සහජාතයහ’ යි හේතු කොට ගෙන චෛතසිකයෝ වෙත් ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ‘ස්පර්‍ශය හා සහජාතයහ’ යි හේතු කොට ගෙන ස්පාර්ශිකයෝ වෙත් ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. පු: ‘චිත්තය හා සහජාතයහ’ යි හේතු කොට ගෙන චෛතසිකයෝ වෙත් ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ‘වේදනාව හා … සංඥාව හා … චේතනාව හා … ශ්‍රද්ධාව හා … වීර්‍ය්‍යය හා … ස්මෘතිය හා … සමාධිය හා … ප්‍රඥාව හා … රාගය හා … ද්වේෂය හා … මෝහය හා … අනපත්‍රපාව හා … සම්ප්‍රයුක්ත වශයෙන් සහජාතයහ’ යි හේතු කොට ගෙන ‘අනොත්තප්පිකාවෝ’ වෙත් ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
5. ස. පු: චෛතසිකධර්‍ම නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු
“චිත්තචෛතසිකධර්‍මයෝ චතුස්සත්‍යාවබෝධය කළ මහණහට අනාත්ම හෙයින් වෙති. ඒ චිත්තචෛතසිකයන් හීනප්‍රණීත කොට දැන විදර්‍ශනා ප්‍රඥායෙන් මොනොවට දක්නා මහණ අනිත්‍ය ධර්‍මය දන්නේ යැ” යි
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. නිග: එකරුණින් චෛතසිකධර්‍ම ඇත.
6. ස. පු: චෛතසිකධර්‍ම නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නො: “කෙවට්ටය, මෙ සස්නෙහි මහණ පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ සිත ද කියයි, චෛතසිකය ද කියයි, විතර්‍කණා ද කියයි, විචාරණා ද කියයි: තාගේ සිත මෙසේත් වෙයි, තාගේ සිත ඉත්‍ථමප්‍රකාරත් වෙයි, තාගේ සිත මෙපරිදි දු වේ” යි ප්‍රකට කොට කියා යි. මෙසේ වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. නිග: එ කරුණින් චෛතසික ධර්‍ම ඇත.
චෛතසිකකථා නිමි.