6. 5.
නිරෝධසමාපත්තිකථා
[‘නිරෝධසමාපත්ති’ යනු සතර අරූපස්කන්‍ධයන්ගේ අප්‍රවෘත්ති යි. ඒ අප්‍රවෘත්ති කරනු ලබන හෙයින් සමවදනා ලබන හෙයින් ‘නිෂ්පන්න’ යයි කියනු ලැබේ. සංස්කෘතාසංස්කෘත ලක්‍ෂණ නැතියෙන් ඒ ‘සංස්කෘත’ යයි හෝ ‘අසංස්කෘත’ යයි හෝ නො කියයුතු වෙයි. එහි සංස්කෘත ලක්‍ෂණ නැතියෙන් ‘අසංස්කෘත’ යයි අන්‍ධකයන් උත්තරාපථකයන් සෙයින් ලබ්ධිගත්තවුන්ගේ වාද බිඳුනට නිරෝධසමාපත්තිකථා එයි.]
1. ස. පු: නිරෝධසමාපත්ති අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නිර්‍වාණය ත්‍රාණ, ලෙණ, සරණ, පරායණ, අච්‍යුත, අමෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: නිරෝධසමාපත්ති අසංස්කෘත වෙයි. නිර්‍වාණය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ත්‍රාණයෝ දෙදෙනෙක් … අන්තරිකාවෝ දෙදෙනෙක් හෝ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: නිරෝධසමාපත්ති අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නිරෝධයට සමවදනා, එය ප්‍රතිලාභ කරන උපදවන, මොනොවට උපදවන, උත්‍ථාපන කරන, සමුත්‍ථාපන කරන, නිපදවන වෙසෙසින් නිපදවන, දනවන, මොනොවට දනවන කිසි කෙනෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතයට සමවදනා, එය ප්‍රතිලාභ කරන, උපදවන, මොනොවට උපදවන, උත්‍ථාපන කරන, සමුත්‍ථාපන කරන නිපදවන, වෙසෙසින් නිපදවන, දනවන මොනොවට දනවන කිසි කෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: නිරෝධයෙන් ව්‍යවදානයෙක් ව්‍යුත්‍ථානයෙක් පැනේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතයෙන් ව්‍යවදානයෙක් ව්‍යුත්‍ථානයෙක් පැනේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: නිරෝධසමවත් සමවදනාහට පළමු කොට වාක් සංස්කාර (විතර්‍ක - විචාර) නිරුද්ධ වේ ද, ඉක්බිති කායසංස්කාර (ආශ්වාස - ප්‍රශ්වාස) ඉක්බිති චිත්තසංස්කාර (සංඥා - වේදනා) නිරුද්ධ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතයට සමවදනාහට වාක්සංස්කාර පළමු කොට නිරුද්ධ වේ ද, ඉක්බිති කායසංස්කාර, ඉක්බිති චිත්තසංස්කාර නිරුද්ධ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: නිරෝධයෙන් නැඟෙනුවහට පළමු කොට චිත්තසංස්කාර උපදනේ වේ ද, ඉක්බිති කායසංස්කාර, ඉක්බිති වාක්සංස්කාර උපදනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතයෙන් නැඟෙනුවහට පළමු කොට චිත්තසංස්කාර උපදනේ වේ ද, ඉක්බිති කායසංස්කාර, ඉක්බිති වාක්සංස්කාර උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: නිරෝධයෙන් නැඟීසිටියහු ශූන්‍යතස්පර්‍ශය, අනිමිත්තස්පර්‍ශය, අප්‍රණිහිතස්පර්‍ශය, යන තුන් ස්පර්‍ශයෝ ස්පර්‍ශ කෙරෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතයෙන් නැඟීසිටියහු ශූන්‍යතස්පර්‍ශය, අනිමිත්තස්පර්‍ශය අප්‍රණිහිතස්පර්‍ශය යන තුන් ස්පර්‍ශයෝ ස්පර්‍ශ කෙරෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …