5. 9.
පච්චුප්පන්නඤාණකථා
[‘සර්‍වසංස්කාර අනිත්‍ය විසින් දක්නා ලදැ’ යි වචනය නිසා නිර්විශේෂයෙන් හැම ප්‍රත්‍යුත්පන්නයෙහි මැ ඥානය ඇති යි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන් ගේ වාද බිඳුනට පච්චුප්පන්න ඤාණ කථා එයි.]
1. ස. පු: ප්‍රත්‍යුත්පන්නයෙහි ඥානය ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (ඉදින් නිර්විශේෂයෙන් ප්‍රත්‍යුත්පන්නයෙහි) ඥානය ඇත් නම් එය ක්‍ෂණප්‍රත්‍යුත්පන්නයෙහිදු විය යුතු යැ. එසේ වත් මැ ඥානයෙන් දෙදෙනකුගේ එකතුවක් නො වනුයෙන් ඒ ඥානයෙන් මැ ඒ ඥානය දතයුතු වේ දැ’ යි සොයන්නට ප්‍රශ්න නගයි.) ඒ ඥානයෙන් ඒ ඥානය දන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: ඒ ඥානයෙන් ඥානය දන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඒ ඥානයෙන් ඒ ඥානය ‘ඥාන’ යයි දන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: ඒ ඥානයෙන් ඒ ඥානය ‘ඥාන’ යයි දන්නේ වේ ද?
ප. පටි: එසේ යැ. (සන්තතිය සඳහා ප්‍රතිඥා යි.)
ස. අනු: ඒ ඥානය ඒ ඥානයට අරමුණු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: ඒ ඥානය ඒ ඥානයට අරමුණු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඒ ස්පර්‍ශයෙන් ඒ ස්පර්‍ශය ස්පර්‍ශ කෙරේ ද, ඒ වේදනායෙන් ඒ වේදනාව විඳී ද, ඒ සංඥායෙන් ඒ සංඥාව හඳුනා ද, ඒ චේතනායෙන් ඒ චේතනාව සිතා ද, ඒ සිතින් ඒ සිත සිතා ද, ඒ විතර්‍කයෙන් ඒ විතර්‍කය විතර්‍කණ කෙරේ ද, ඒ විචාරයෙන් ඒ විචාරය විචාර කෙරේ ද, ඒ ප්‍රීතියෙන් ඒ ප්‍රීතිය පියායන කෙරේ ද, ඒ සිහියෙන් ඒ සිහිය සිහි කෙරේ ද, ඒ ප්‍රඥායෙන් ඒ ප්‍රඥාව දැනගනී ද,
ඒ කගින් ඒ කග සිඳුනේ ද, ඒ පොරොවින් ඒ පොරොව සසී ද, ඒ කෙටේරියෙන් කෙටේරිය සසී ද, ඒ වැහැයෙන් ඒ වැහැය සස්නේ ද, ඒ හිද්දෙන් ඒ හිද්ද හිවා ද, ඒ ඇඟිලි අගින් ඒ ඇඟිලි අග පරාමර්‍ශ කෙරේ ද, ඒ නැහැ අගින් ඒ නැහැ අග පිරිමසා ද, ඒ මස්තකයෙන් ඒ මස්තකය පරාමර්‍ශ කෙරේ ද, ඒ මූත්‍රයෙන් ඒ මූත්‍රය දොවී ද, ඒ කෙළින් ඒ කෙළ දොවී ද, ඒ පූයායෙන් ඒ පූයාව ධෝවන කෙරේ ද, ඒ ලෙහෙයෙන් ඒ ලෙහෙය දොනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ.
5. ප. පු: ‘ප්‍රත්‍යුත්පන්න ඥානය ඇතැ’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: හැම සංස්කාර අනිත්‍ය විසින් දක්නාලද කල්හි ඒ ඥානයත් අනිත්‍ය විසින් දක්නාලද්දේ නො වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් හැම සංස්කාර අනිත්‍ය විසින් දක්නාලද කල්හි ඒ ඥානයත් අනිත්‍ය විසින් දක්නාලද වේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘ප්‍රත්‍යුත්පන්න ඥානය ඇතැ’යි කියැයුතු මැ යැ.
ප්‍රත්‍යුත්පන්නඤාණකථා නිමි.