5. 8.
අනාගතඤාණකථා
[අනාගතය අන්තර අනන්තර විසින් දෙවැදෑරුම් වෙයි. එහි අනන්තර අනාගතයෙහි එකැතින් මැ ඤාණයෙක් නැත. එසේ මැ ඒකවීථි එකජවන පර්ය්යාපන්න අනාගතයෙහිදු නැත. අන්ධක ආදි යම් නිකායවාසී කෙනෙක් නිර්විශේෂයෙන් හැම අනාගතයෙහි මැ ‘ඥාන’ ඇති යි කියත් ද උන්ගේ වාද බිඳුනට අනාගතඤාණකථා එයි.]
1. ස. පු: අනාගතයෙහි ඥානයෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (තොප ගත් අනාගත ඥානයෙන් අනන්තර අනාගතය මූලාදි වශයෙන් දත හෙන්නේ දැ යි සොයන්නට ප්රශ්න නඟයි.) ඒ අනාගතය මූල වශයෙන් දන්නේ ද, නිදාන වශයෙන් දන්නේ ද, සම්භව වශයෙන් දන්නේ ද, ප්රභව වශයෙන් දන්නේ ද, සමුත්ථාන වශයෙන් දන්නේ ද, ආහාර වශයෙන් දන්නේ ද, ආරම්මණ වශයෙන් දන්නේ ද, ප්රත්යය වශයෙන් දන්නේ ද, සමුදය වශයෙන් දන්නේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: අනාගතයෙහි ඥානයෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනන්තරානාගත චිත්තය ඇසුරු කළ හේතුප්රත්යයතාව දන්නේ ද, ආලම්බනප්රත්යයතාව දන්නේ ද, අධිපතිප්රත්යයතාව දන්නේ ද, අනන්තරප්රත්යයතාව දන්නේ ද, සමනන්තරප්රත්යයතාව දන්නේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: අනාගතයෙහි ඥානයෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ගෝත්රභූපුද්ගලයාට සොවත්මගෙහි ඥානයෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: සෝවත්ඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලයාට සෝවත්ඵලයෙහි ඥානය ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: සෙදගැමි … අනගැමි … රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලයාට රහත්ඵලයෙහි ඥානය ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ප. පු: ‘අනාගතයෙහි ඥානය ඇති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “ආනන්දය පැළලුප්නුවරට අන්තරායයෝ තිදෙනෙක් වෙති: වහ්නියෙන් හෝ උදකයෙන් හෝ මිථුභේදයෙන් හෝ යැ” යි වදාළ සූත්රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. නිග: එ කරුණින් ‘අනාගතයෙහි ඥානය ඇත’ යි (දෙසූ සූත්රය හැම තන්හි අනාගතඥානයට සාධක නො වනුයෙන් මෙහි අසාධක යි.)
අනාගතඤාණකථා නිමි.