4. 8.
නියාමොක්කන්තිකථා
[‘නියාම’ යනුදු ‘බ්‍රහ්මචරිය’ යනුදු ආර්‍ය්‍යමාර්‍ගයට නමි. බෝධිසත්ත්‍වයනට පාරමී ඥානය මිස නියාමයෙක් නැත. ඉදින් ඇත් නම් බෝසත් සෝවන් සව්වෙක් වෙයි. තෙල එසේ නො වෙයි. එසේ වතුදු ජෝතිපාල මාණවකයාගේ පැවිද්ද ගෙන ‘අප මහසත් කසුප් බුදුන් දවස එසස්නෙහි බැසගත් නියාම ඇතියේ පිරූ බඹසර ඇතියේ වී’ යයි ලබ්ධි ගත් වාදී කෙනෙක් ඇත. අන්‍ධක නිකායවාසීන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට නියාමොක්කන්තිකථා එයි.]
1. ස. පු: බෝසත් කසුප් බුදුන් සස්නෙහි බැසගත් නියාම ඇතියේ පිරූ බ්‍රම්සරවස් ඇතියේ වී ද?
ප. පටිඤ්ඤා: එසේ යැ. (ලබ්ධියෙහි සිට කළ ප්‍රතිඥා යි.)
ස. අනු: බෝසත් කසුප් බුදුන්ගේ සව්වෙක් වී ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: බෝසත් කසුප් බුදුන්ගේ සව්වෙක් වී ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සවු වැ සිට බුදු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ … (බෝසත්හුගේ පශ්චිමභවය සඳහා කළ ප්‍රතික්‍ෂේප යි.)
3. ස. පු: සවු වැ සිට බුදු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ. (ජෝතිපාල කාලය සඳහා කළ ප්‍රතිඥා යි.)
ස. අනු: අනුශ්‍රවයෙන් (ශ්‍රාවක වශයෙන්) ප්‍රතිවේධ කළ ධර්‍ම ඇතියේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ … (පශ්චිමභවය සඳහා ප්‍රතික්‍ෂේප යි.)
4. ස. පු: අනුශ්‍රවයෙන් ප්‍රතිවේධ කළ ධර්‍ම ඇතියේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ. (ජෝතිපාල කාලයෙහි අනුශ්‍රව සඳහා කළ පිළින යි.)
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ ස්වයම්භූ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ස්වයම්භූ වෙත් නම්,
අනු. පා: අනුශ්‍රවික යැ යනු නො කියැයුතු මැ යැ.
5. ස. පු: බෝසත් කසුප් බුදුන්ගේ සස්නෙහි බැසගත් නියාම ඇතියේ සැරූ බඹසරවස් ඇතියේ වී ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් බෝධිමූලයෙහි (විදුරසුන්හි දී) ත්‍රිවිධ ශ්‍රාමණ්‍යඵලයෝ මැ ප්‍රතිවේධ කරන ලද්දාහු වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් බෝධිමූලයෙහි දී සතර ශ්‍රාමණ්‍යඵලයෝ අවබෝධ කරන ලද්දාහු නො ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් බෝධිමූලයෙහි දී සතර ශ්‍රාමණ්‍යඵලයෝ අවබෝධ කරන ලද්දාහු වෙත් නම්,
අනු. පා: භවත, ‘බෝසත් කසුප් බුදුන් සස්නෙහි බැසගත් නියාම ඇතියේ සැරූ බඹසරවස් ඇතියේ වී’ යයි නො කියැයුතු මැ යැ …
6. ස. පු: බෝසත් කසුප් බුදුන්ගේ සස්නෙහි බැසගත් නියාම ඇතියේ සැරූ බඹසරවස් ඇතියේ වී ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: බෝසත් දුෂ්කරක්‍රියා කෙළේ වී ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දර්‍ශනසම්පන්න පුද්ගල දුෂ්කරක්‍රියා කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: බෝසත් පරපරිතාපනානුයෝග නො කෙළේ අන් ශාස්තෘවක්හු උදෙසා විසී ද?
ප. පටිඤ්ඤා: එසේ යැ. (ආලාර – රාමපුත්‍රයන් සඳහා පිළින යි.)
ස. අනු: දර්‍ශනසම්පන්න පුද්ගල අන් ශාස්තෘවක්හු උදෙසා වසන්නට නිසි වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ අප බුදුන්ගේ සස්නෙහි බැසගත් නියාම ඇත්තාහු සැරු බඹසරවස් ඇත්තාහු වෙති. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ අප බුදුන්ගේ ශ්‍රාවක වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.