23. 2.
අරහන්තවණ්ණ කථා
[සමෘද්ධ ඉරියව් ඇති සමෘද්ධ ආකල්ප ඇති පාපභික්‍ෂූන් දැක රහත්වෙසින් සිට අමනුෂ්‍යයෝ මෛථුනධර්‍මසේවන කෙරෙති’යි සමහර උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අරහන්තවණ්ණ කථා’ එයි]
1. ස. පු: රහත්වනින් (රහත් වෙසින්) අමනුෂ්‍යයෝ මෛථුනධර්‍මසේවන කෙරෙත්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රහත්වතින් අමනුෂ්‍යයෝ ප්‍රාණඝාත කෙරෙත් ද … අයිනාදන් කෙරෙත් ද … මුසවා බෙණෙත් ද පිසුනුබස් බෙණෙත් ද … පරොස්බස් බෙණෙත් ද … පලප් බෙණෙත් ද … සන්‍ධිච්ඡේද කෙරෙත් ද … තිල්ලෝපහරණ (මහාවිලෝප) කෙරෙත් ද … එක් ගෙයක් පැහැරගන්නා කම් කෙරෙත් ද … කඩපලාසොරකම් කෙරෙත් ද … විරඹු සොරකම් කෙරෙත් ද … ගම්පහරනා කම් කෙරෙත් ද … නියම්ගම්පහරනා කම් කෙරෙත් ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
අරහන්තවණ්ණ කථා නිමි.
23. 3.
ඉස්සරියකාමකාරිතා කථා
[“බෝසත් ඡද්දන්තජාතකාදියෙහි පෙණෙන පරිදි ඓශ්චර්‍ය්‍යකාමකාරී බව (කර්‍මබලය නොව සිය කැමැත්තෙන් ක්‍රියා කිරීම) හේතුකොට ගෙන තිරිසන් ගත වෙයි, විනිපාතයට යෙයි, ගර්‍භශය්‍යාවට බැසගනී, දුෂ්කරක්‍රියා කෙළේ යැ. මෙරමා නො තවනු කෙළේ යැ. අන්‍යශාස්තෘවක්හු උදෙසී”යයි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ඉස්සරියකාමකාරිතා කථා’ එයි.]
1. ස. පු: බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා (අදහස ඉටුකිරීමට සිය කැමැත්තෙන් ක්‍රියා කිරීම්) හේතුවින් විනිපාතයට (නිරයට වුවත්) යන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් නිරයට යන්නේ වේ ද … සඤ්‍ජවමහනිරයට යන්නේ වේ ද … කාලසූත්‍රමහනිරයට යන්නේ වේ ද … තාපමහනිරයට යන්නේ වේ ද … ප්‍රතාපමහනිරයට යන්නේ වේ ද ... සඞ්ඝාත මහනිරයට යන්නේ වේ ද … රෞරව මහනිරයට යන්නේ වේ ද … අවීචිමහනිරයට යන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් විනිපාතයට යන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් විනිපාතයට යෙති’යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ප. පටි: නැත.
ස. ඨ: ඉදින් ‘බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් විනිපාතයට යෙති’යි වදාළ සූත්‍රාන්තයෙක් නැත්තේ මැ වී නම්,
ස. පා: භවත, ‘බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් විනිපාතයට යෙති’ යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් ගර්‍භශය්‍යාවට (ගැබහොවීමට) වදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් නිරයෙහි උපදනේ වේ ද … තිරිසන්යොන්හි උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...