17. 9.
න වත්තබ්බං සඞ්ඝස්ස දින්නං මහප්ඵලන්ති කථා
[“මාර්ගඵලයෝ මැ සඞ්ඝ නම් වෙති. මාර්ගඵලයනට කිසිවක් දිය නො හැක්ක. පිළිගන්නට ද නො හැක්ක. ඉන් කිසි උපකාරයෙක් මාර්ගඵලයනට නැත. එයින් මාර්ගඵලයනට දුන් දැය මහත්ඵල වෙතී’ නො කියැයුතු යැ” යි වෛතුල්යවාදීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘න වත්තබ්බං සඞ්ඝස්ස දින්නං මහප්ඵලන්ති කථා’ එයි.]
1. ස. පු: ‘සඟනට දුන් දැය මහත්ඵල වෙතී’ නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සඞ්ඝයා ආහුනනයට නිසි, පාහුනනයට නිසි, දක්ෂිණාවට නිසි, අඤ්ජලිකරණයට නිසි වූයේ ලොවට අනුත්තර පුණ්යක්ෂේත්ර නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් සඞ්ඝයා ආහුනනයට නිසි ... ලොවට අනුත්තර පුණ්යක්ෂේත්ර වී නම්,
ස. පා: භවත, එකරුණින් සඟනට දුන් දැය මහත්ඵල වේ මැ යැ.
2. ස. පු: ‘සඟනට දුන් දැය මහත්ඵල වෙතී’ නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘සතර පුරුෂයුග වූ අෂ්ට ආර්ය්යපුද්ගලයෝ දක්ෂිණාර්හයහ’ යි භාග්යවතුන් වහන්සේ විසින් වදාරනලද නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් ‘සතර පුරුෂයුග වූ අෂ්ට ආර්ය්යපුද්ගලයෝ දක්ෂිණාර්හයහ’ යි භාග්යවතුන් වහන්සේ විසින් වදාරනලද වේ නම්,
ස. පා: භවත, එකරුණින් ‘සඟනට දුන් දැය මහත්ඵල වෙතී’ කියැයුතු මැ යි.
3. ස. පු: ‘සඟනට දුන් දැය මහත්ඵල වෙතී’ නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “ගෝතමිය, සඟනට දෙව, තොප විසින් සඟුන් කෙරෙහි දුන් කල්හි මම ද පුදනලදුයෙම් වෙමි. සඞ්ඝයා ද පුදන ලද වේ” යයි වදාළ සූත්රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පා: එකරුණින් සඟනට දුන් දැය මහත්ඵල වෙයි.
4. ස. පු: ‘සඟනට දුන් දැය මහත්ඵල වෙතී’ නො කියැ යුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සක්දෙව්රජ භාග්යවතුන් වහන්සේට තෙල කීයේ නො?
“යාග කරන මිනිසුන් විසින්, පින් ලබනු කැමැති ප්රාණීන් විසින්, උපධිසම්පත් පිණිස පින් කරනුවන් විසින් කොහි දෙනලද්ද මහත්ඵල වේ දැ? යි.
මඟට පිළිපන්නාහු සතර දෙනෙක, ඵලයෙහි සිටියාහු සතර දෙනෙක, තෙල සඞ්ඝ තෙම, ඍජු වූයේ ප්රඥාශීල දෙකින් සමාහිත වෙයි.
යාග කරන මිනිසුන් විසින්, පින් කැමැති ප්රාණීන් විසින්, උපධි සම්පත් පිණිස පවත්නා පින් කරනුවන් විසින් සඟුන් කෙරෙහි දුන් දැය මහත්ඵල වෙයි.
තෙල සඞ්ඝ තෙමේ විපුල වූයේ මහද්ගත වූයේ වෙයි. තෙල සඞ්ඝ තෙමේ උද්ධ සඞ්ඛ්යාත සාගරය සෙයින් අප්රමේය වෙයි. නරවීර ශ්රාවක වූ ලොව නැණින් එළි කරන තෙල ශ්රේෂ්ඨ සඟහු දහම වදාරති.
යම් කෙනෙක් සඟුන් උදෙසා දන් දෙත් ද, ඔවුන් විසින් මොනොවට දෙන ලදි, මොනොවට පුදන ලදි, මොනොවට යාග කරන ලදී. සඞ්ඝගත වැ පිහිටි ඒ දක්ෂිණාව මහත්ඵල යයි බුදුන් විසින් වර්ණනා කරන ලදු.
මේ බඳු යාග සිහි කරන යම් කෙනෙක් උපන් තුෂ්ටි ඇති වැ ලෝකයෙහි වාස කෙරෙත් ද, ඔහු මසුරුමල සමූල කොට උදුරාපියා අනින්දිත වැ ස්වර්ගභූමියට පැමිණෙති” යි
වදාළ සූත්රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පා: එකරුණින් සඟනට දුන් දැය මහත්ඵල වෙයි.
න වත්තබ්බං සඞ්ඝස්ස දින්නං මහප්ඵලන්ති කථා නිමි.