17. 5.
ඨපෙත්වා අරියමග්ගන්ති කථා
[‘ආර්ය්යමාර්ගය දුඃඛනිරෝධගාමිනීප්රතිපදා යැයි කියනලද සෙයින් ආර්ය්යමාර්ගය තබා අවශේෂ සංස්කාරයෝ දුඃඛයහ’යි හේතුවාදීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ඨපෙත්වා අරියමග්ගන්ති කථා’ එයි.]
1. ස. පු: ආර්ය්යමාර්ගය තබා අවශේෂ සංස්කාරයෝ දුඃඛ වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දුඃඛසමුදයත් දුඃඛ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: දුඃඛසමුදයත් දුඃඛ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ආර්ය්යසත්යයෝ තිදෙනෙක් මැ වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: ආර්ය්යසත්යයෝ තිදෙනෙක් මැ වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්යවතුන් වහන්සේ විසින් “දුඃඛ යැ දුඃඛසමුදය යැ දුඃඛනිරෝධ යැ දුඃඛනිරෝධගාමිනීප්රතිපදා යැ” යි සතර සත්ය කෙනෙක් වදාරන ලද්දාහු නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් භාග්යවතුන් වහන්සේ විසින් “දුඃඛ යැ දුඃඛසමුදය යැ දුඃඛනිරෝධ යැ දුඃඛනිරෝධගාමිනීප්රතිපදා යැ” යි සතර සත්ය කෙනෙක් මැ වදාරන ලද වෙත් නම්,
ස. පා: භවත ‘ආර්ය්යසත්යයෝ තිදෙනෙක් මැ වෙතී’ යි නො කියැයුතු මැ යැ.
4. ස. පු: දුඃඛසමුදයත් මැ දුඃඛ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: කවර අරුතින් වේ ද?
ප. වි: අනිත්යාර්ත්ථයෙන් වෙයි.
ස. අනු: ආර්ය්යමාර්ගය අනිත්ය වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ආර්ය්යමාර්ගය දුඃඛ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: ආර්ය්යමාර්ගය අනිත්ය වේ ද, එ ද දුඃඛ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දුඃඛසමුදය අනිත්ය වේ ද, එ ද දුඃඛ නො වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: දුඃඛසමුදය අනිත්ය වේ ද, එ ද දුඃඛ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ආර්ය්යමාර්ගය අනිත්ය වේ ද, එ ද දුඃඛ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ප. පු: ‘ආර්ය්යමාර්ගය තබා අවශේෂ සංස්කාරයෝ දුඃඛයහ’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: එ දුඃඛනිරෝධගාමිනීප්රතිපදා නො?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. ඨ: ඉදින් එ දුඃඛනිරෝධගාමිනීප්රතිපදා වූ නම්,
ප. පා: භවත, එකරුණින් ‘ආර්ය්යමාර්ගය තබා අවශේෂ සංස්කාරයෝ දුඃඛයහ’ යි කියැයුතු මැ යැ.
ඨපෙත්වා අරියමග්ගන්ති කථා නිමි.