14. 1.
කුසලාකුසලපටිසන්‍දහනකථා
[කුශලය අකුශලයට අනතුරු වැ හෝ අකුශලය කුශලයට අනතුරු වැ හෝ ඉපදීමක් නැති හෙයින් උනුන්ගේ අන්‍යෝන්‍ය ප්‍රතිසන්‍ධාන නො යෙදේ. එහෙත් ‘එක් මැ වස්තුයෙහි රජ්ජන විරජ්ජන වශයෙන් කුශලාකුශලයන්ගේ ප්‍රතිසන්‍ධාන ඇති’යි මහා සඞ්ඝිකයන් සෙයින් ලබ්ධි ගත්තාහු වෙද් ද ඔවුන්ගේ වාද බිඳුනට ‘කුසලාකුසල පටිසන්‍දහනකථා’ එයි.]
1. ස. පු: අකුශලමූලය කුශලමූලය ප්‍රතිසන්‍ධාන (එකිනෙක ගැලපීම) කෙරේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අකුශලයාගේ උත්පාදය පිණිස යම් ආවර්‍ජනායෙක් ... ප්‍රණිධියෙක් ඇද්ද, ඕ මැ කුශලයාගේ උත්පාදය පිණිස ආවර්‍ජනා ... ප්‍රණිධි වේ ද,
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: අකුශලමූලය කුශලමූලය ප්‍රතිසන්‍ධාන කෙරේ ද, අකුශලයාගේ උත්පාදය පිණිස යම් ආවර්‍ජනා ... ප්‍රණිධි ඇද්ද, ඒ මැ කුශලයාගේ උත්පාදය පිණිස ආවර්‍ජනා ... ප්‍රණිධි වේ යයි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කුශලය ආවර්‍ජනා නො කරන්නහුට උපදනේ වේ ද, ... ප්‍රණිධි නො කරන්නහුට උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: කුශලය ආවර්‍ජනා කරන්නහුට උපදනේ වේ ද? ... ප්‍රණිධි කරන්නහුට උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් කුශලය ආවර්‍ජනා කරන්නහුට උපදනේ වේ නම් .... ප්‍රණිධි කරන්නහුට උපදනේ වේ නම්,
අනු. පා: භවත, ‘අකුශලමූලය කුශලමූලය ප්‍රතිසන්‍ධාන කෙරේ’යයි නො කියැයුතු මැ යැ.
3. ස. පු: අකුශලමූලය කුශලමූලය ප්‍රතිසන්‍ධාන කෙරේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අකුශලය අයෝනිසෝමනසිකාර කරන්නහුට උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ
ස. අනු: කුශලය අයෝනිසෝමනසිකාර කරන්නහුට උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: කුශලය යෝනිසෝමනසිකාර කරන්නහුට උපදනේ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් කුශලය යෝනිසෝමනසිකාර කරන්නහුට උපදනේ වේ නම්,
අනු. පා: භවත ‘අකුශලමූලය කුශලමූලය ප්‍රතිසන්‍ධාන කෙරේ’යයි නො කියැයුතු මැ යැ.
4. ස. පු: අකුශලමූලය කුශලමූලය ප්‍රතිසන්‍ධාන කෙරේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කාමසංඥාවට අනතුරු වැ නිෂ්කාමසංඥාව උපදනේ වේ ද? ව්‍යාපාදසංඥාවට අනතුරු වැ අව්‍යාපාදසංඥාව උපදනේ වේ ද? විහිංසාසංඥාවට අනතුරුව අවිහිංසාසංඥාව උපදනේ වේ ද? බ්‍යාපාදයට අනතුරු වැ මෛත්‍රිය උපදනේ වේ ද? විහිංසාවට අනතුරු වැ කරුණාව උපදනේ වේ ද? අරතියට අනතුරු වැ මුදිතාව උපදනේ වේ ද? ප්‍රතිඝයට අනතුරු වැ උපේක්‍ෂාව උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: කුශලමූලය අකුශලමූලය ප්‍රතිසන්‍ධාන කෙරේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කුශලෝත්පාදය පිණිස යම් ආවර්‍තනායෙක් ... ප්‍රණිධියෙක් ඇද්ද? ඒ මැ අකුශලොත්පාදයට ආවර්‍තනායෙක් ... ප්‍රණිධියෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: කුශලමූලය අකුශලමූලය ප්‍රතිසන්‍ධාන කෙරේ, කුශලෝත්පාදය පිණිස යම් ආවර්‍තනායෙක් ... ප්‍රණිධියෙක් ඇද්ද, ඒ මැ අකුශලොත්පාදයට ආවර්‍තනා ... ප්‍රණිධි වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අකුශලය ආවර්‍තන නො කරන්නහුට උපදනේ වේ ද ... ප්‍රණිධාන නො කරන්නහුට උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...